ආයෙත් හාල් ගණන් යයිද?

181

කුඩා මෝල් හිමියන් අමාරුවේ… මෝල් අතහැර දමන්න යයි

ආණ්ඩුව 75 ක් දෙනකොට මහා පරිමාණ මෝල් හිමියන් 90ක් දෙන්න යයි

අපේ‍්‍රල් වෙනකොට කිලෝව රුපියල් 300 ක් වෙයිද?

අප රටේ වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල ඉතා ඉහළ බැව් දිනකට එක් වේලක් හෝ බත් කන ජනයා හොඳාකාරව දනිති. සහල් කිලෝවෙක අලූත්ම මිල කීයදැයි කෙනකු ඇසුවහොත් ඒ ගැන නිවැරදිවම කියන්නට කිසිවකුටත් හැකියාවක් නොමැති අතර එය දැනගත හැක්කේ සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳසලට ගොඩවැදුණු විට පමණි. අනෙක් සෑම භාණ්ඩයකටම වඩා සහල් කිලෝවේ මිල ඒ තරමටම ඉතා ඉක්මනින් වෙනස් වන තත්ත්වයකට පත්ව තිබෙන බව පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙඳුන්ද කියති. මෙලෙස දැරිය නොහැකි අන්දමට සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරිභෝගියාට ඇත්තේ දුක් මැසිවිල්ලක්ම බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. සහල් කිලෝවේ මිල මේ අන්දමට අහස උසට ඉගිල යන්නට හේතුව රජය විසින් ගනු ලැබූ වැරදි තීරණ තීන්දු බවට පාරිභෝගික ජනතාව චෝදනා නඟති. ඒ අන් කිසි හේතුවක් නොව පසුගිය කාලයේ සහල් මිල පාලනයේ වගකීමෙන් රජය ඉවත්වී එය මුදලාලිගේ කරමතට ඔසවා තැබීම බවද පෙන්වා දෙති. එහිදී මහ මෝල්කරුවන් රටට කී දෙය අල්ලේ පැලැවෙන බොරුවක්වී හමාර යැයිද කියා සිටිති.

දේශීය සහල් අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණ මෙතෙක් සපයන ලද්දේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් බව පැවැසේ. මේ වනවිට එම සහල් මෝල් වලින් බොහෝ සංඛ්‍යාවක් වැසීයෑම නිසා මෙතෙක් වෙළෙඳපොළට සපයන ලද සහල් ප‍්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බව වෙළෙඳපොළ තොරතුරු විමසීමේදී අනාවරණය විය. එම නිසා වෙළෙඳපොළේ දේශීය සහල්වල හිඟයක්ද ඇතිවී තිබෙන බව කියති. එමෙන්ම සහල් නිෂ්පාදනය මහා පරිමාණ සහල් මෝල් කිහිපයකට පමණක් සීමාවීම තවදුරටත් තහවුරුවී සහල් නිෂ්පාදනයේ ඒකාධිකාරියක්ද නිරායාසයෙන්ම නිර්මාණයවී ඇතැයි කියති.

සහල් නිපදවීම සඳහා අවශ්‍ය වී තොග නොමැතිකමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් මේ වනවිට එසේ වැසීගොස් තිබෙන සහල් මෝල් සංඛ්‍යාව 250කට වැඩි බවද අපට දැනගන්නට ලැබිණි. පසුගිය යල කන්නයේ වී අස්වනු නෙළන අවස්ථාවේ එක් රැස්කර ගත් වී තොග අවසන්වී ඇතැයි කියති. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන පරිදි යල කන්නයේ අස්වනු නෙළන අවධියේ පැවැති මිලට වඩා මේ වනවිට වී මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. නමුත් එයින් ගොවියාට සැලසුණු සෙතක් නොමැත. එයට හේතුව එම වී තොග දැන් තිබෙන්නේ ගොවින් ළඟ නොව මුදලාලිලා ළඟය. නැතහොත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතළොස්සක් සතුවය. සහල් මිල තීන්දු කෙරී ඇත්තේ දැන් පවතින ඉහළ වී මිලට සාපේක්ෂවය.

මේ අතර සහල් කිලෝවේ මිල නැවත වතාවක් ඉහළ දැමීමට මහ මෝල් හිමියන් සැරසෙන බවටද ආරංචි පැතිර යමින් තිබේ. එවිට එක වේලක් බත් කෑ එකාට බත් තබා කැඳ උගුරක්වත් බොන්නට ලැබේ දැයි සැක සහිතය. කෙසේ නමුත් සහල් මිල දිනෙන් දින වැඩිවනු විනා අඩුවන සේයාවකුදු පෙනෙන්නට නැත. එයට හේතුව වී කිලෝවේ මිලද දිනෙන් දින ඉහළ යෑම බවයි බොහෝ සහල් මෝල් හිමියන් පෙන්වා දෙන්නේ. එමෙන්ම සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වී සපයා ගැනීමේ විශාල ගැටලූවක් පවතින බවද මෝල් හිමියෝ පවසති. වී තොග නොමැතිකම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් විශාල ප‍්‍රමාණයක් වැසී ගොස් ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

අප මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී බදුල්ල දිස්ත‍්‍රික්කයේ වී සහ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයතිස්ස මහතා ප‍්‍රකාශ කළේ මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමට බලපා ඇත්තේ පැහැදිලිවම සහල් මාෆියාවක් ක‍්‍රියාත්මක වෙමින් තිබීම බවයි. සහල් සඳහා පැවැති රජයේ පාලන මිල ඉවත්කර මෙම තත්ත්වය නිර්මාණය කළේ මේ ආණ්ඩුවම යැයි හෙතෙම කියා සිටී. එහෙයින් එහි අනිවර්ය ප‍්‍රතිපලයක් ලෙස සහල් මිල සීමාවකින් තොරව දිනෙන් දිනම ඉහළයෑම හැර අන් කිසිවක් සිදු නොවන බවත් එය පාලනය කිරීම හෝ නැවැත්වීමට ක‍්‍රියාකරනු වෙනුවට ආණ්ඩුව විසින්ම දොර කවුළු විවෘතකර පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරියක් නිර්මාණය කර තිබෙන බවද කීවේය. එම නිසා අද ඇතිවී තිබෙන සහල් මාෆියාව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ පමණක් නොව ආණ්ඩුවේද නිෂ්පාදනයක් හෙයින් මේ රටේ ජනතාවට සහනයක් ලැබෙන සේයාවකුදු පෙනෙන්නට නොමැති බවද පැවැසීය.

ආයෙත් හාල් ගණන් යයිද?

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේද කීය.‘‘ආණ්ඩුවට යුතුකමක් හා වගකීමක් තිබෙනවා රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත සපයා ගැනීමේ කටයුත්තට මැදිහත්වීම. නමුත් ආණ්ඩුව මේ වෙකොට මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඔඩොක්කුවේ නැළවෙන හුරතලූන් බවට පත්වෙලා හමාරයි. ආණ්ඩුව උදව් දෙන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු අතළොස්සක් ජාවාරම්කාරයන් පිරිසකට සහල් මාෆියාව ක‍්‍රියාත්මක කිරීමට. ඒ සඳහා තමයි මේ ආණ්ඩුව සහල් සඳහා පැවැති පාලන මිල ඉවත් කළේ. සහල් මිල දිනෙන් දින අසීමාන්තිකව ඉහළ යෑමේ ප‍්‍රශ්නය වගේම සහල් නිෂ්පාදන කර්මාන්තය තුළ මේ රටේ විශාල ප‍්‍රශ්න පැන නඟින්නේත් මේ හේතුවෙන් කියන එක ඉතා පැහැදිලියි. ඒ නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පාරිභෝගික ජනතාව සූරා කමින් අත්තනෝමතික ලෙස සහල් මිල ඉහළ දැමීම ආණ්ඩුවේ වරදින් සිදුවන්නක්. ඒ ගැන වගකියන්න ඕන එහෙම පිටින්ම ආණ්ඩුව. වෙන කවුරුවත් නොවෙයි. එම නිසා මේ ප‍්‍රශ්නයට විසඳුම් දෙන්න හැකියාව තියෙන්නේ වගකිවයුතු උදවියටමයි. අපිට පුළුවනි කළයුත්තේ මොකක්ද කියන එක කියන්න, පෙන්වා දෙන්න. අද මේ රටේ සහල් නිෂ්පාදන කර්මාන්තයේ වැඩි බරක් දරාගෙන හිටියේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් මගින්. නමුත් අද වෙනකොට මේ සහල් මෝල් විශාල ප‍්‍රමාණයක් වැහිලා ගිහිල්ලා. ඒකට හේතුව මොකක්ද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නෑ. සහල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වී තොග නැතිකම. මේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් දිරිගැන්වීමේ හෝ ඔවුනට අවශ්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙලක් රජයෙන් දැනට ක‍්‍රියාත්මක වන්නේ නෑ. මේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සැදුම්ලත් සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිති 13ක් රටපුරා ක‍්‍රියාත්මක වුණා. ඇතැම් සමිති අකාර්යක්‍ෂම පරිපාලනය නිසා මූල්‍ය අවභාවිතයන් වංචා ආදිය සිද්ධවෙලා කඩා වැටුණා. නමුත් සාර්ථකව ක‍්‍රියාත්මක වුණු සමූපකාර සමිති බොහොමයක් තිබුණා. ඒවාට රජය මගින් මෙතෙක් ලබා දෙමින් තිබුණු මූල්‍ය ප‍්‍රතිපාදන එහෙම පිටින්ම නවතා දැමුවා. මාස 06කින් නැවත ණය පියවීමේ පදනම මත රජය ඒ මුදල් ලබාදීම නොකඩවා සිදුකළා නම් මේ විදියට කුඩා මෝල් කඩා වැටෙන්නේ නෑ. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට සැලසුම් සහගතව මේ තත්ත්වය ඇති කළා කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි රජයට යෝජනා කරන්නේ පාරිභෝගික ජනතාව මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් බේරාගැනීමට නම් මේ රටේ සහල් නිෂ්පාදනය සුලබ කරන්න ඕන. ඒ සඳහා කළ යුත්තේ සහල් නිෂ්පාදන ඒකාධිකාරිය ශක්තිමත් කිරීම තුළ සහල් මාෆියාවක් ඇති කිරීම නොවෙයි. ජාතික සහල් අවශ්‍යතාවයෙන් සියයට පණහකට වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයන් න`ගාසිටුවීමයි රජය කළයුත්තේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මෙතෙක් වී අලෙවි මණ්ඩලය හරහා හෝ වෙනත් කුමන ආකාරයෙන් ක‍්‍රියාත්මක කළත් ඒ වී තොග සහල් බවට පත්කරලා නැවත රජයට භාරදීම කළේ වැඩිම ප‍්‍රමාණයක් සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන්. එම නිසා දැනට ඒ මෝල් හිමියන්ට එම වී කෙටීම සඳහා ලබාදෙන කුලිය ප‍්‍රමාණවත් නෑ. එම නිසා මෝල් හිමියන් රජයේ වී තොග සහල් කිරීමේ ක‍්‍රියාවලියෙන් පසුගිය කාලයේ ඈත්වෙන තත්ත්වයක් ඇති වුණා. එම නිසා ඒ මෝල් හිමියන්ට ඒ සඳහා සාධාරණ කෙටුම් කුලියක් ලබාදීලා ඒ වගේම සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිවලට ප‍්‍රමාණවත් තරම් ණය පහසුකම් ලබලදීලා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙලක් තුළ මේ අර්බුදය විසඳන්න පුළුවන් කියන විශ්වාසයක් අපි තුළ තිබෙනවා. ඒ හැර මේ ප‍්‍රශ්නයට වෙනත් විසඳුමක් ඇත්තේ නෑ.’’

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදන සමූපකාර සමිතියේ ලේකම් ප‍්‍රසාද් හේමන්ත මහතා වර්තමානයේ සහල් නිෂ්පාදන කර්මාන්තයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ මෙසේයි.

‘‘සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විශාල පිරිසක් මේ දිස්ත‍්‍රික්කයේ සිටිනවා. නමුත් මේ වනවිට ඒ සහල් මෝල් වලින් ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි දැනට ක‍්‍රියාත්මක වෙන්නේ. මෑතක් වන තෙක්ම සහල් නිෂ්පාදනය කළ මෝල් පවා 60ක් 70ක් දැනට වැහිලා. එයට හේතුව සහල් නිෂ්පාදනයට අවශ්‍ය වී නොමැතිකම. දැනට වී තොග දැනට තිබෙන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ළඟ පමණයි. එම නිසා ඔවුන් කිසිම ගැටලූවක් නැතිව තමන්ගේ මෝල් පවත්වාගෙන යනවා. දැන් වී කිලෝ එකක මිල රුපියල් 100කට ආසන්නයි. නමුත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිල තීරණය කරන්නේ ඒ මිලට සාපේක්‍ෂවයි. ඒ කියන්නේ සහල් තොග මිල රුපියල් 170ක් ඉක්මනවා. හෙට අනිද්දා වෙනවිට හාල් කිලෝ එකක් රුපියල් 200ක් විතර වේවි. නමුත් ඔවුන් සහල් නිෂ්පදනය කරන්නේ රුපියල් 50ට වඩා අඩුමිලට ගත්ත වී වලිනුයි. ඒ අනුව හිතාගන්න පුළුවනි මොන තරම් ලාභයක් ඒ අය ලබනවද කියලා. මේ තත්ත්වයට රජය මුළුමනින්ම වග කියන්න ඕන. අපි මේ ගැන මුලින් කරුණු පෙන්නලා දුන්නා. වගකියුතු කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ. දැන් ඇතිවෙලා තිබෙන අවාසනාවන්ත තත්ත්වය තුළ පාරිභෝගික ජනතාවට අස්වැසිල්ලක් ලැබෙන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. ඉදිරි කන්නය වෙනකොට රටේ වී නිෂ්පාදනය සියයට පණහකින් පමණ බැසීමට ඉඩ තිබෙන බව ගොවීන් කියනවා. ඒ අන්දමට වී නිෂ්පාදනය පහළ බැසීමක් සිද්ධ වුණොත් ප‍්‍රශ්නය තව තවත් උග‍්‍රවේවි. කොහොම නමුත් මේ ප‍්‍රශ්නය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් නොවුනොත් සහල් මිල පහළ බැසීමක් සිද්්ධ වෙන්නේ නෑ කියන එක ස්ථිරවම කියන්න පුළුවනි.’’

සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවැසුවේ සහල් මිල පිළිබඳ කාරණයේදී අපේ රට තුළ සංවිධානාත්මක මංකොල්ලයක් පවතින බවයි. පැහැදිලිවම රජය ඊට වගකිවයුතු බවත් සහල් මිල සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමක් නිසි ලෙස නොවීම නිසා මේ තත්ත්වය උද්ගතවී ඇතැයි හෙතෙම පැවැසීය. සහල් පාලන මිලෙන් තොරව පවත්වාගන යෑමට ඉඩදීම සම්බන්ධයෙන් සංගමයේ සභාපතිවරයා ලෙස තමන් මුලසිටම විරුද්ධවූ බවත් වර්තමානයේ මේ අන්දමට සහල් මිල ඉහළ යෑමට බලපා ඇත්තේ එයම බවද රංජිත් මහතා කීය. එම නිසා ප‍්‍රමාදවී හෝ දියයුතු එකම විසඳුම නැවත රජය සහල් පාලන මිල පැනැවීම බවද කීය.

‘‘අපි මුල ඉඳලම දරපු ස්ථාවරය තමයි රජය සහල් පාලන මිල ඉවත් කිරීම වැරදියි කියන එක. අද මේ ඇතිවෙලා තිබෙන සහල් මිල ඉහළ යෑමට ප‍්‍රධාන හේතුව එයයි. අද මේ නිසා පාරිභෝගික ජනතාව විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. දවසින් දවස හාල් මිල වැඩිවෙනවා. මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. මේ සහල් මිල වැඩිවීමට හේතුව දිනෙන් දින වී මිල ඉහළ යෑම. ඒක කරන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙක්. නමුත් ඒ අය සහල් නිෂ්පාදනය කරන්නේ මාස කිහිපයකට පෙර ගොවීන්ගෙන් ඉතා අඩුමිලකට මිලදීගත් වී තොග වලින්. ඒ අයගේ ගබඩාවල රුපියල් කෝටි ගණන් වටිනා වී තොග ගබඩා කරලා තියෙනවා. ඔවුන් අදටත් සහල් නිෂ්පාදනය කරන්නේ එදා රුපියල් 50ට වඩා අඩු මිලට ගත් වී වලින් කියන එක රහසක් නොවෙයි. නමුත් මහජනතාව මේක දන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වී මිල වැඩි නිසා තමයි සහල් මිලත් වැඩියි කියලා. නමුත් ඒක නෙවෙයි ඇත්ත තත්ත්වය. ඒ අය මිල වැඩිකරලා මේ වෙලාවේ වී මිලදී ගන්නවා. එයින් කරන්නේ ඒ මිලට අනුව සහල් මිල තීරණය කිරීම පමණයි. අනෙක් කාරණය සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අඩපණ කිරීම. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට විශාල වී තොග ඇත්තේ නෑ. ඒ අය සහල් නිෂ්පාදනය කරන්නේ එදිනෙදා පවතින මිලට වී අරගෙනයි. මේ අද පවතින මිලට වී අරගෙන සහල් නිෂ්පාදනය කරන්න කුඩා මොල් හිමියන්ට බෑ. අද වෙනකොට නාඩු වී කිලෝ එකක මිල රුපියල් සීයකට ආසන්නයි. ඒ අනුව සහල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 169ක් පමණ වැය වෙනවා. මේකයි ඇත්ත තත්ත්වය. මේ හේතුව නිසා මුළු රටේම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්වෙලා ඉන්නවා. ඒ අයට මේ පවතින මිලට වී අරගෙන සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම දැනට රටේ විශාල වී හිඟයක් තිබෙනවා. ඒ නිසා වී මෝල් විශාල ප‍්‍රමාණයක් මේ වනවිට වැහිලා. මේ රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට පණහක් පමණ වෙළෙඳපොළට සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්. නමුත් මේ අර්බුදයට මුහුණ දෙන්න බැරිව රටපුරාම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 500කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට වැහිලා. රජය සහල් පාලන මිලෙන් ඉවත් වුණු වෙලාවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් පොලොන්නරුවේදී මාධ්‍ය සාකච්ඡා පවත්වලා මුළු රටටම ප‍්‍රසිද්ධියේ කිව්වා පාරිභෝගිකයා අපහසුතාවයට පත්වෙන විදියට සහල් මිල ඉහළ දමන්නේ නෑ කියලා. නමුත් ඒක බොරුවක්, පුස්සක් කියන එක දැන් පැහැදිලියි. අපි ආණ්ඩුවට මුලදිම කිව්වා මේ වැඬේ කරන්න එපා. නැති ප‍්‍රශ්න ඇතිවෙනවා කියලා. දැන් මේ ප‍්‍රශ්නයෙන් පාරිභෝගික ජනතාව දරාගන්න බැරිවිදියට පීඩාවට පත්වෙලා ඉන්නවා. ඒ වගේම සහල් නිෂ්පාදකයන් පිරිසක් හැටියට අපිත් විශාල අර්බුදයකට මැදිවෙලයි ඉන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ ප‍්‍රමාදවෙලා හරි නැවත සහල් සඳහා රජයේ පාලන මිල පනවන්න කියන එකයි. එහෙම නොකළොත් මේ ප‍්‍රශ්න තව තවත් දිග්ගැහෙනවා.ඒක අනිවාර්යයි.’’

මෙරට පාරිභෝගික ජනතාව නඟන චෝදනාවද වනුයේ දැනට මාස කිහිපයෙකට පෙර පැවැති මිලට වඩා බෙහෙවින් අධික මිලක් සහල් කිලෝව වෙනුවෙන් තමන්ට ගෙවන්නට සිදුව ඇත්තේ සහල් සඳහා පැවැති රජයේ පාලන මිල ඉවත් කර ගැනීමේ ක‍්‍රියාමාර්ගය නිසාවෙන් බවයි. එසේ නොවන්නට මේ අන්දමට සහල් මිල ඉහළ යෑමක් කිසිසේත්ම නොවනු ඇති බවද ඔවුහු කියා සිටිති. සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වා දෙන්නේද තම සහල් නිෂ්පාදන කර්මාන්තය මෙවැනි විශාල අර්බුදයකට ලක්වීමට හේතුවූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් හිතුමතේ වී මිල සහ සහල් මිල ඉහළ දැමීමට ක‍්‍රියාකිරීම බවයි. නමුත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් තවමත් සහල් නිෂ්පාදනය කරනු ලබන්නේ අඩු මුදලට ගොවීන්ගෙන් මිලදී ගෙන තම ගබඩාවල ගොඩගසාගෙන තිබෙන වී තොග වලින් යැයිද ඔවුහු පෙන්වා දෙති.

වර්තමානයේ ඇතිවී තිබෙන සහල් මිල ඉහළ යෑම සංවිධානාත්මක මංකොල්ලයක් ලෙස සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ
සංගමයේ සභාපතිවරයා හඳුන්වා දෙයි. සහල් මෝල් මාෆියාවක් පිළිබඳව කරුණු අනාවරණය කරන්නේද තවත් සහල් මෝල් හිමියන්ම පිරිසෙකි. ඒ නිකම්ම නොව කරුණු කාරණාද සහිතවය. මේ රටේ සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් වන ඔවුන් දෙපිරිසම පෙන්වා දෙන එම කරුණු සරල ලෙසින් බැහැර කළ හැකි ඒවාද නොවේ. රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත් පතට වැලි වැටෙනා කාරණය පිටුපස ඇත්තේ සංවිධානාත්මක මංකොල්ලයෙක, මාෆියාවක මෙහෙයවීමක් නම් එය ඉතා භයානක තත්ත්වයෙකි. එහි නිර්මාපකයින් ආණ්ඩුවම යැයි පෙරකී සහල් නිෂ්පාදකයන් විසින් කරනු ලබන හඳුන්වාදීම ඒ බිහිසුණු බව දෙගුණ තෙගුණ කරන ආරංචියක් පමණක් නොව ඉතාමත්ම පිලිකුල්සහගත පුවතක් බැව් නොකියාම බැරිය. එහෙයින් ආණ්ඩුවට එල්ලවන මේ බරපතළ චෝදනාවෙන් නිදහස් වන්නට නම් නොපමාව කළයුත්තේ එකී සහල් මාෆියාව පවත්වාගෙන යන්නට තවදුරටත් උරදීම නොව එය පිටු දැකීමට ක‍්‍රියා කිරීමය. එපමණක් නොව දැනට බිඳවැටී තිබෙන සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් කර්මාන්තය නැවත ගොඩනැ`ගීම සහ ශක්තිමත් කිරීම සඳහා අවැසි පියවර ගැනීමය. ප‍්‍රධාන ආහාරය ලෙස බත් කන ජනයා බහුතරයක් වෙසෙන රටක රජයක වගකීමද එයම වනු ඇත යන්න අපගේද අදහසයි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment