ආයෝජකයන් දිරි ගන්වන සුළු නව පැකේජයක්

91

උපදේශක කාරක සභාව BOI වෙත උපදෙස් දෙයි

පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහ බැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් දිරිගන්වන සුළු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබාදෙන ලදි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී ද ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බැවින් ඉහත සඳහන් කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම පවතින පැකේජය යටතේ ව්‍යාපෘති, ආයෝජන සහ රැකියා කොපමණ ප්‍රමාණයක් ලැබී තිබේ ද යන්න පිළිබඳ දත්ත මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස කමිටුව විසින් ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන ලදි.

මෙහිදී ඊධෂ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී ආයෝජන මණ්ඩලය ලෙස තමන්ට ආයෝජකයන්ට ලබාදිය හැකි සහන අවම මට්ටමක පවතින බවත්, බදු සහන ඉවත්කිරීම නිසා ආයෝජකයන් පැමිණීමේ අඩුවීමක් දැකිය හැකි බවත්ය. ආයෝජන සඳහා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක සහ ගුණතිලක රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment