ආයෝජකයන් මෙරටට පැමිණීමට අල්ලස දූෂණය හා  වංචාව මුළුමනින්ම තුරන් කළ යුතුයි

102

ඉරාන් වික්‍රමරත්න (සජබ)

දූෂණයට එරෙහිව පෞද්ගලිකවම පනතක් ගේනවා

මෙරට තුළ පවතින දූෂණයට තිත තැබීමට හැකිවුවහොත් රටට වෙළඳපොළ ආයෝජකයන් ගලාගෙන එන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ 26 දා පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වත්මන් ජනාධිපති පාර්ලිමේන්තුවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කළා. අද රට අපි මුහුණ දෙන විශාලම ගැටළුව ආර්ථික ප්‍රශ්නයක්. එය රට පැත්තෙන් ගත්තොත් බංකොළොත් ණය ගෙවා ගන්න සල්ලි නැහැ. ඩොලර්, රුපියල් දෙකම නැහැ. හුඟක් අය හිතනවා ඩොලර් නැති ප්‍රශ්නය විතරයි කියලා. එහෙම නෙමෙයි රුපියලුත් නැහැ. ඒ නිසා තමයි පසුගිය වසරේ මුදල් අච්චු ගැහැව්වෙ. ඒ තුළින් වුණේ අපේ තියෙන වටිනාකම් සියල්ලක්ම අඩුවුණ එක. ආහාර උද්ධමනය 100%කට ආසන්න ඉහළ

ගිහින් වටිනාකම භාගයක් වූ නිසා ලක්ෂයක් බැංකුවක තැන්පත් කරලා තිබුණා නම් ඒකෙන් ආහාර කිලෝ 25ක් ගන්න පුළුවන් වුණා නම් දැන් ගන්න පුළුවන් කිලෝ 12 හමාරයි ඒකයි වටිනාකම අඩුයි කියලා කියන්නේ.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ඒ තුළින් එකඟතාවයකට පැමිණෙන්න කටයුතු කර තිබෙනවා. එසේ එකඟතාවකට ආවොත් රටට අවුරුදු හතරකට ඩොලර් බිලියන 2.9ක් ලැබෙනවා. මුදල එච්චර ලොකු ප්‍රමාණයක් නොවුනත් ඒකෙන් පණිවිඩයක් යනවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට. ශ්‍රී ලංකාව හරි ආර්ථික මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරනව කියලා. එහි මුල් අදියර තමයි නිලධාරීන් සමග තියෙන එකඟතාව. ඒකෙදී සඳහන් වෙලා තියෙන එක දෙයක් තමයි ලංකාවේ මූල්‍ය දූෂණය තියෙනවා කියන එක. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පළවෙනි වතාවට සඳහන් වෙලා තියෙනවා අපේ ආර්ථික දූෂණ තියෙනවා කියලා. මීට පෙර ඒක සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ කරලා විතරක් නෙමෙයි ආර්ථික දූෂණ තියෙන රටක් බවට සඳහන් වෙලා තියෙනවා. එය බොහොම

ගැඹුරු ප්‍රශ්නයක්.

අපි මේ දූෂණයට තිත තියන්න අවශ්‍යයි. තිත තිබ්බොත් මේ රටට වෙළෙඳපොළ ආයෝජකයන් ගලාගෙන එයි. මේ රට ආසියාවේ පහත මට්ටමේ රටක් බවට පත්වෙන්න ඕන නැහැ. ආදායම් ඉහළ මට්ටමේ රටක් වෙන්න පුළුවන්. මම ආවෙත් ලංකාවේ ප්‍රධාන බැංකුවක විධායක නිලධාරීන් කෙනෙක් හැටියට ඉඳලා. මම ඔබට කියන්න ඕන නැහැ කොයි ඇමතිතුමාට ද, කොයි ඇමතිතුමාගේ සගයට ද, කාටද කොයි නිලධාරීයටද, කොච්චර ප්‍රමාණයක් ගෙවන්න වුනාද කියලා.

ජනාධිපතිතුමාගේ ළඟදී තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔහු මෙහෙම සඳහන් කළා ‘අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීමත් අනිවාර්ය කාරණයක්’ අල්ලස් හා දූෂණ මැඬලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා මේ සම්බන්ධයෙන් නව නීතිරීති හා අණපනත් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතිනවා ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දූෂණ මැඬලීම පිළිබඳ එකඟතාවකට එළඹෙනවා කියලා’

වත්මන් ජනාධිපතිතුමාගේ මෙම කියමනට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. දැන් මේකෙ සඳහන් කර තියෙන්නේ දූෂණය නැති කරනවා නීතිරීති ගේනවා අධිකරණ අමාත්‍යාංශයට මේක බාර දීලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට එළැඹෙනවා කියලා ලංකාවෙන් දූෂණයට තිත තියන්න. මම අද කතා කරන්නේ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට යොදවන්න වෙලාව ඇවිල්ලා. මේක අපි ක්‍රියාවට යෙදෙව්වේ නැත්නම් අපිට කවදාවත් හරියට නැගිටින්න බැරි වෙනවා. අපි වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් නැගිටින්න බැරි වෙනවා. ඒ නිසා මම දැන් බලාගෙන හිටියා මට කිව්වා ඔව් පනතක් ගේනවා කිව්වා. ඒ පනතෙන් කිව්වා වත්කම් ප්‍රසිද්ධ කරනවා කිව්වා. ඒ වගේම දූෂණයට එරෙහිව තියෙන කොමිෂන් සභාව ස්වාධීන කරනවා කියලා කිව්වා. නමුත් තවම පනත ගෙනල්ලා නැහැ.ඒ නිසා මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනතක් හැටියට. මේක වහාම කළ යුතුයි. එතකොට මම රජයෙන් ඉල්ලනවා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න. නැත්නම් ඔබතුමන්ලාගේ පනත තියෙනවා නම් එය වහාම ගේන්න ඕන. කවුද ගේන්නේ කියන එක නොවෙයි වැදගත්, අරමුණයි වැදගත්.

අපේක්ෂකයෙක් මැතිවරණයකට ඉල්ලන්න යනකොට අද වත්කම් බැරකම් ප්‍රකාශ ගන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ යම්කිසි කාලසීමාවක් තුළ එක එවන්න පුළුවන්. මේ පනතේ කියනවා මැතිවරණ අපේක්ෂකයන් නාමයෝජනා සමඟ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බව. මේක පාරදෘෂ්‍යභාවය වැඩි කිරීමට තමයි තියෙන්නේ. නාම යෝජනාවට ගිහින් එනකොට වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් දුන්නොත් එක ප්‍රසිද්ධ කරන්න පුළුවන්.

එතකොට ශක්තිමත් වෙන්නෙ පුරවැසියා. එහිදී ඡන්දදායකයා දන්නවා පුද්ගලයා ගැන වැඩි විස්තර සහ පෞද්ගලිකත්වය ගැන. එතකොට ජනතාව දන්නවා දේශපාලන ගමන පටන් ගන්නකොට මොනවද මෙතුමාට තිබුණේ කියන එක. ඡන්දේ දෙන ජනතාවට දැනගන්න පුළුවන් හොරකම් කරල ලබා ගත්ත දේවල්. මේ පනත රටේ ජනාධිපතිතුමාටත් අදාලයි වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතුයි. උඩින් උදාහරණය තිබුණේ නැත්නම් යට අය කරන්නේ නැහැ.

ඒ වගේ මේ වත්කම් බැරකම් කාටද දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නම් කතානායකතුමාට දෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලයේ සභිකයෙක් නම් කතානායකට නෙමෙයි දෙන්නේ. ඒක දෙන්නේ ජනාධිපතිතුමාට. එහිදී ජනාධිපතිතුමාට එය ලබා දුන්නම රටේ ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. එය අස්වීමේ ලියුම දෙනවා වගේ ජනාධිපතිතුමාගේ සාක්කුවේ තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා විතරයි දන්නේ පුද්ගලයා හොරෙක් ද නැද්ද කියලා. ඕනවට වැඩිය කතා කළොත් මාත් එක්ක එකට වැඩ කළේ නැත්නම් වත්කම් බැරකම් මගේ තියෙනවා අස්වීමේ ලියුම වගේ ඒකට ඉඩ නැහැ. ඒ නිසා මේ වත්කම් බැරකම් ප්‍රකාශ දේශපාලඥයෙකුට නෙමෙයි ස්වාධීන කොමිසමකට දෙන්න ඕන. ඒ නිසා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට මේක දිය යුතුයි කියන එකයි සඳහන් කරල තියෙන්නේ. මේක ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය මන්ත්‍රීවරු විතරක් නෙමෙයි ඉහළ තලයේ නිලධාරීන්ටත් මේක බලපානවා. මේ පනතින් අදහස් වන්නේ රාජ්‍ය සේවයට පැමිණි පසු නිලධාරීන්ට රහසේ විශාල ධනස්කන්ධයක් රැස් කළ නොහැකි බව. ඒ නිසා තමයි මේ පනත වැදගත් වන්නේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment