ආයෝජන හිතකාමී පරිසරයක් තුළින් ආර්ථික ස්ථායීතාව ඇති කරනවා – ජනපති රනිල් වික්‍රමසිංහ

99

හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
ආයෝජනය වැඩි වුණොත් ණය ගැනීමේ විෂම චක්‍රයෙන් ඉවත් වෙන්න පුළුවන්

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඉකුත් 20 වැනිදා පෙරවරුවේ එක් වෙමිනි.

මහ කොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබූ නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්. පී. ටාඕ මහතාට සහ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුණේ 1994 වසරේ මම අගමැති ධුරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මිය යෑමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණගැසීමට මට අවස්ථාව ලැබුණා.

ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැඳී සිටින බව ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

ආයෝජන හිතකාමී පරිසරයක් තුළින් ආර්ථික ස්ථායීතාව ඇති කරනවා - ජනපති රනිල් වික්‍රමසිංහ

2003 නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු එස්. පී. ටාඕ මහත්මයා මට මුණගැසුණා. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්‍යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්‍රදේශයක් ලෙස. ඒ නිසා අපි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා.

මේ ප්‍රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදි මෝල ක්‍රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදි මෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතැනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්‍රීවරයාව සිටියදී 1975 වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්‍රකාශ කළා. ඒ වනවිට මේ ස්ථානය මට හුරුපුරුදු තැනක් බවට පත්ව තිබුණා.

මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්ත ශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැකබලා ගන්නා ලෙස මම එස්. පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටුකළා.

මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්‍රදේශය වගේම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා. අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණී නානායක්කාර මහත්මිය මෙම ව්‍යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්. පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.

මෙම ව්‍යාපෘතිය දියත් කළ සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි, මෙය එස්. පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදුකළ යුතුයි.

විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්‍යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්‍රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මේ වනවිට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් බව කිවයුතුයි.

ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදුකළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ.

ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමටත් අපට සිදුවේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකාව ආයෝජනයට මිත්‍ර රටක් බවට පත් කිරීම සඳහා. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමග ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායමද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණය ගැනීම් විෂම චක්‍රයෙන් ඉවත් වීමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විදිය නොහැකියි. එමනිසා ආයෝජන ප්‍රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිදීමට අපි සැලසුම් සහගතව කටයුතු කරමු.

එස්. පී. ටාඕ මහත්මයාට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂි භාවයක් තිබුණා. ඔහු විවිධ අධ්‍යයනයන් සිදුකර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්‍යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment