ආරක්ෂක මණ්ඩලය රැස්වීමට පැය කීපයකට පෙර රුසියාව යුක්රේන ආක‍්‍රමණය අරඹයි…

628

තෙවන ලෝක යුද්ධයක අඳුරු සේයා නැගෙයි

රුසියාව ඊයේ (24 දා) පූර්ණ වශයෙන් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව රුසියානු සහ යුක්රේන දේශසීමාව අසල රඳවා සිටි රුසියානු හමුදා භටයෝ යුක්රේනයේ අගනුවර වන කිව් නගරය ඇතුළු රටපුරා පිහිටි නගරවලට ඊයේ උදෑසන සිට ගුවන් සහ ගොඩබිම් ප‍්‍රහාර එල්ල කරමින් ඇතුළු වී සිටිති.
යුක්රේනයට ඇතුළු වී සිටින රුසියානු හමුදා භටයෝ එරට නගරවලට මිසයිල හා ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙම ප‍්‍රහාර ආරම්භ කිරීමත් සමගම යුක්රේනයේ අගනුවර වන කිව් නගරයෙන් සයිරන් නළා හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කිව් නගරයේ ගුවන් තොටුපළ දෙසින් ද වෙඩි ප‍්‍රහාර හා පිපිරීම් හඬ ඇසී ඇත. ගුවන් තොටුපළේ පිහිටි යුද හමුදා මධ්‍යස්ථානයෙන් කළු පැහැති දුමාරයක් නිකුත් වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

නැගෙනහිර යුක්රේනයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින බෙදුම්වාදීන් ආරක්ෂා කිරීම සඳහා රුසියානු හමුදා යුක්රේනය පූර්ණ වශයෙන් ආක‍්‍රමණය කළ බව මෙම ආක‍්‍රමණය ආරම්භ කර සුළු වේලාවකට පසු රුසියානු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. මෙහිදී විදෙස් රටවල් යුක්රේනයේ කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් ද අනතුරු අඟවා ඇති රුසියානු ජනාධිපතිවරයා යුක්රේනය නිරායුධ කිරීම සහ එරට රජයේ නායකයන් නීතිය හමුවට ගෙන ඒම තම ඉලක්කය බව පවසා ඇත.

සති ගණනාවක් තිස්සේ යුක්රේන දේශසීමාව අසල රඳවා සිටි රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙර යුක්රේන ජනාධිපති වොලොඞ්මියර් සෙලෙන්ස්කි මහතා රුසියාවෙන් හැඟුම්බරව ආයාචනයක් කරමින් පවසා ඇත්තේ යුරෝපය නැවත වරක් ප‍්‍රධාන පෙළේ යුද්ධයකට තල්ලූ කිරීමට සහාය නොදෙන ලෙසය. රුසියාවේ ජනතාවට යුක්රේනය ගැන වැරදි තොරතුරු සපයා ඇති බවත් යුරෝපයේ යුද්ධයක් ඇතිවීම හෝ නොවීම ඇත්තේ රුසියාව අතේ බවත් රුසියානු භාෂාවෙන් ආයාචනා කරමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

වසර අටක කාලයක් තිස්සේ නැගෙනහිර යුක්රේනයේ ලූහාන්ස් හා ඩොනෙට්ස්ක් යන කලාපවල බලය අල්ලා ගැනීම සඳහා යුක්රේන හමුදා සමග සටන් වැද සිටින බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් සිටි රුසියාව එම කලාපයන් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළි ගත්තේය.

රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම කලාප දෙක ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (24 දා) උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා තිබුණි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවනු ලැබීය. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කරන ලද්දේ මෙම රැස්වීම ආරම්භ වීමට පැය කිහිපයකට පෙරදීය.

යුක්රේනය ආක‍්‍රමණය කිරීමට රුසියානු හමුදා ගත් පියවර දැඩි ලෙස හෙළා දැක ඇති ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙය යුක්ති සහගත නොවන සෘජුව පිළිගත නොහැකි කි‍්‍රයාවක් බව පවසා ඇත. ලෝකයා විසින් රුසියාවේ මෙම කි‍්‍රයා කලාපයට නිසි ප‍්‍රතිචාර දක්වනු ඇතැයි ද පවසා තිබේ.

මේ අතර යුක්රේනය ආක‍්‍රමණය කළ රුසියානු හමුදාවන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීම සඳහා අවි ආයුධ සපයන බවට ද ප‍්‍රතිඥා දී ඇති ඇමරිකාව නැගෙනහිර යුරෝපයේ රඳවා සිටින නේටෝ හමුදාවන් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු හමුදා භටයින් යුරෝපයට යවන බව ද සඳහන් කර තිබේ.

රුසියානු හමුදාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමග ඊයේ (24 දා) රැස් වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් ඉදිරි දින 30 ක කාලය සඳහා එරට තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබාදී ඇත.

රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාව ආර්ථික සම්බාධක පනවා ඇති අතර බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය ද රුසියානු කි‍්‍රයාකලාපයට එරෙහිව සම්බාධක පැනවීමට එකඟතාව පළ කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment