ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීම අත්‍යවශ්‍යම දෙයක් බව මා දැන සිටියේ නෑ

955

පාස්කු නඩු තීන්දුව ගැන නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස් කිරීම හදිසි තත්ත්වයක් පැවතියදී පමණක් සිදුකළ යුත්තක් මෙන්ම හදිසි තත්ත්වයක් නොමැති විටදී නෛතික ව්‍යුහයක් වශයෙන් එය සක්‍රීය නොවන්නේ යැයි යන්න මගේ අවබෝධය වී යයි පාස්කු ප්‍රහාරයට පෙර ආරක්‍ෂක මණ්ඩල රැස්වීම නොපැවැත්වීම ගැන ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන සඳහන් කරමින් ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එහි මෙසේද සඳහන් වේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් මා පීඩාවට පත් වූ තවත් සිදුවීමක් මගේ ජීවිතයේ නොමැත. ඒ ප්‍රහාරයන් සමඟ උද්ගත වූ සමාජ ආර්ථික දේශපාලනික හා නෛතික ප්‍රතිඵල හේතුවෙන් මම තවදුරටත් කම්පනයට පත්වෙමින් සිටිමි. මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙම අවාසනාවන්ත ප්‍රහාරය සිදුවීම සම්බන්ධයෙන් මා තුළ ඇති කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා වචන නැත.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී සහරාන් හෂීම් හා ඔහුගේ සහචරයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යම් බුද්ධි තොරතුරු ආරක්‍ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී තිබූ බව අවධාරණය විය. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ආරක්‍ෂක අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා ලෙස ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කිසිදු තොරතුරක් මා වෙත වාර්තා නොවිණි. එම තොරතුරු මා වෙත වාර්තා නොවූ බව මේ සම්බන්ධයෙන් නිකුත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ.

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් කාර්යක්‍ෂමවත්, ඵලදායීවත් තම වගකීම් ඉටුකරනු ඇතැයි සහ අත්‍යවශ්‍ය අවස්ථාවකදී ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් මා වෙත දැනුම් දෙනු ඇතැයි ද මම අපේක්‍ෂා කළෙමු. එහෙත් ඉතා කනගාටුදායක ලෙස එය එසේ සිදු වී නොමැති අතර සුවිශේෂී නීති මූලධර්මයක් උපයුක්ත කර ගැනීමෙන් අදාළ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම මා වෙත පැවරී තිබේ.

නිතිපතා ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් නොපැවැත්වීම සම්බන්ධයෙන් ද මට චෝදනා එල්ල වී ඇත. ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස්කිරීම හදිසි තත්ත්වයක් පැවතියදී පමණක් සිදුකළ යුත්තක් මෙන්ම හදිසි තත්ත්වයක් නොමැති විටදී නෛතික ව්‍යුහයක් වශයෙන් එය සක්‍රීය වීම අත්‍යවශ්‍ය නොවන්නේ යැයි යන්න මාගේ අවබෝධය විය. ආරක්‍ෂක මණ්ඩලය තත්කාර්ය (අවශ්‍යතාව පරිදි) රැස්කළ අතර, එය ව්‍යවස්ථානුකූල/ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් ද නොවීය.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් ආරක්‍ෂක අමාත්‍යවරයාගේ හා විධායක ජනාධිපතිවරයාගේ වගකීම් වඩවඩාත් පැහැදිලි කරදීම මම විශේෂයෙන් අගය කරමි. එසේම මෙම නඩු තීන්දුව අනාගත අමාත්‍යවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ නියාමන කාර්යයන් හා විධායක බලතල සම්බන්ධයෙන් වඩාත් හොඳ ස්ථාවරයක් ගොඩනඟන බවට කිසිදු සැකයක් නැත.

කර්තෘ සටහන

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳව අර්ථකථන දැක්වීම අධිකරණයෙන් බැහැරව සිදු කිරීම සදාචාරාත්මක නොවන හා ගැටලු පැනනගින්නක් වන හෙයින් හිටපු ජනාධිපතිවරයාගේ ලිපියේ බොහෝ කොටස් අප පළ කිරීමෙන් වැළකී සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment