ආරක්‍ෂක සේවා සංගමය ජයග්‍රහණය කරයි – 59 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ හොකී තරගාවලිය

130

කණ්ඩායම් 17 ක සහභාගිත්වයෙන් කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු  59 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරක්ෂක සේවා හොකී සංගමය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ආරක්‍ෂක සේවා සංගමය ජයග්‍රහණය කරයි - 59 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ හොකී තරගාවලිය

මෙවර අනුශූරතාව තහවුරු කර ගැනීමට වෙළෙඳ සේවා හොකී සංගමය සමත් වන අතර වාරයේ රාජ්‍ය සේවා හොකී සංගමයට දෙවන අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ප්‍රබල ආරක්ෂක සේවා සංගමය සහ වෙළෙඳ සේවා සංගමය අතර ඊයේ (25දා) සවස ක්‍රියාත්මක වූ තීරණාත්මක අවසාන තරගයේ දී ගෝල් 04 – 00 විශිෂ්ට ජයග්‍රහණය සටහන් කර  ගනිමින් ජ්‍යෙෂ්ඨ ශූරයන් සඳහා පිරිනැමෙන “ඒ. ඒ. වෛරසිංහ අභියෝග කුසලානය” ට හිමිකම් කියන්නට ආරක්ෂක සේවා ක්‍රීඩකයන්හට හැකි වූහ. වර්ෂ 1996 සිට තම අපරාජිත බව සටහන් කර ගෙන සිටින ආරක්ෂක සේවා පිල මෙවර තරගාවලියේ දී ද ශූරතාව පහසුවෙන් තහවුරු කර ගැනීමට සමත්වීම ඒ අතරේ කැපී පෙනුණි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් සපිරි ජාත්‍යන්තර ක්‍රීඩකයන් පිරිවරා ගත් ආරක්ෂක සේවා පිල හමුවේ ප්‍රබල උත්සාහයක නිරත වන්නට වෙළෙඳ සේවා සංගමය සමත් වුවද එය ජයග්‍රහණයකින් නිමා කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

තරගය ඇරඹී ප්‍රථම කාර්තුවේදී ගෝල් 03 – 00 ක් ලෙස පෙරමුණ ගත් ආරක්ෂක සේවා පිල එම තත්ත්වය දෙවන කාර්තුව අවසානය දක්වාම පත්වා ගැනීමට සමත් විය.

තෙවන කාර්තුව තුළ තවත් ගෝලයක් රැස් කර ගැනීමට ආරක්ෂක සේවා පිල සමත් වෙමින්  04 – 00 ක් ලෙස ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නට හැකියාව ලැබිණ.

සිව්වන කාර්තුවේ දී එකදු ගෝලයක් හෝ වාර්තා නොවූයෙන් ආරක්ෂක සේවා පිලට ගෝල් 04 – 00 ක ජයග්‍රහණයක් හිමි විය.

ආරක්ෂක සේවා ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ අනුරාධ සුරේෂ් 01, කුසල් තිලකසිරි 01, උදයශාන් ප්‍රනාන්දු 01 සහ ඊනියා වීරසූරිය 01 බැගින් ගෝල් වාර්තා කළහ.

මෙවර දෙවන අනුශූරතාවය සඳහා පැවති තරගයේ දී කොළඹ හොකී සංගමය අභිබවා යමින් ගෝල් 03 – 01 ක ජයග්‍රහණයක් සටන් කර ගැනීමට රාජ්‍ය සේවා පිලට හැකි විය.

අවසන් පූර්ව වටයේ දී රාජ්‍ය සේවා පිල දඬුවම් පහර ආශ්‍රිතව ගෝල් 03 – 01 ක් ලෙස පරාජය කරමින් වෙළෙද සේවා පිල ද කොළඹ පිල ගෝල් 03 – 00 ක් ලෙස පරාජය කරමින් ආරක්ෂක සේවා පිලත් තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට සමත් විය.

අර්ධ අවසාන පූර්ව වටයේ දී රාජ්‍ය සේවා පිල හමුවේ වෙන්නප්පුව පිල ද කොළඹ පිල හමුවේ මහනුවර පිල ද වෙළෙඳ සේවා පිල හමුවේ ගාල්ල පිල ද පරාජය ලැබීය. මාතලේ සංගමය අර්ධ අවසාන පූර්ව තරගය සඳහා වාර්තා කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ආරක්ෂක සේවා සංගමයට නිතරග ජයග්‍රහණයක් හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment