ආරම්භක පිතිකරුවෝ ලයන්ස්ට එරෙහිව නැගී සිටිති

161

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඕෂධ ප්‍රනාන්දු සහ නිශාන් මධුශ්කගේ ද්විත්ව ශතක සම්බන්ධතාවයේ ශක්තියෙන් තම දෙවැනි ඉනිමට මනා අත්තිවාරමක් දමාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 331ක දැවැන්ත ලකුණු පරතරය ලකුණු 103ක් දක්වා අඩු කර ගැනීමට ඊයේ (01 වැනිදා) සවස සමත්ව තිබුණි.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයට තරගය නිමා වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 228ක් රැස් කරගෙන සිටියේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට ඕෂධ ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු ලකුණු 134 ක් ලබා ගත්තේය. හතරේ පහර 18ක් තම ඉනිමට එකතු කරගත් ඕෂධ අනෙක් ආරම්භක පිතිකරු නිශාන්ට වඩා ප්‍රවේගකාරී ඉනිමක නිරත වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 203ක් ලෙස සටහන් වනවිට ඕෂධ ලියාම් පැටර්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර නිශාන් මධුශ්ක දිනය නිමා වන විට නොදැවී ලකුණු 91ක් ලබා සිටියේය.

පන්දු 126කට මුහුණ දුන් නිශාන්ගේ ඉනිම හතරේ පහර 13කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වී තිබුණි.

පළමු ඉනිමේ ලකුණු 136 කට දැවී ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව ලකුණු 467ක විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට එංගලන්ත පිතිකරුවෝ ඊයේ සමත් වූහ.

පෙරේදා දිනයට තරගය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණ249ක් රැස්කරගෙන සිටි සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ඉතිරි කඩුලු 7සඳහා තවත් ලකුණු 218ක් රැස් කිරීමට ඊයේ සමත් වූහ.

එහිදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට ටොම් හේන්ස් සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු පහක් ලකුණු 34කට දවාලූ මැතිව් ෆිශර් පිතිහරඹයෙන් ද ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙමින් පන්දු 46 කදී ලකුණු 53 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය සහ අම්ශි ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගත් අතර ලක්ෂිත මානසිංහ කඩුලු දෙකක් දවා ගත්තේය.

ඇඹුල්දෙනිය සිය කඩුලු 3 දවා ගැනීම සඳහා ලකුණු 158ක් ලබා දී තිබුණු අතර පන්දුවාර අසූ අටක් වූ එංගලන්ත ලයන්ස් ඉනිම පුරාවට දුනිත් වෙල්ලාලගේ පන්දු වාර පහක් පමණක් ක්‍රියාත්මක කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment