ආරම්භය හොඳ වූ නිසා අවසානයේ ජයග්‍රහණය උදා වුණා

389

භානුක රාජපක්ෂ ජයග්‍රහණයේ සාධක ගැන කියයි

ඉනිම ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ අගයක පවත්වා ගෙන යෑමට හැකි වීම බංග්ලාදේශයට එරෙහිව පෙරේදා (02 වෙනිදා) පැවැති තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වීමට ප්‍රබල සාධකයක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලෙස බංග්ලාදේශය සමග පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගත් අතර බංග්ලාදේශය පළමුව ලකුණු රැස් කර ලබා ගත් ලකුණු 183 කඩුලු 8ක් දැවී පන්දු වාර 19.2කදී ඉක්මවා යෑමට සමත් විය.

ඒ සමගම ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් අතරටද ප්‍රවේශ වීමට වරම් උදාකර ගත්තේය.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කර දුන් බවත් අංක 11 වනතුරුම කණ්ඩායමේ ක්‍රීඩකයන් හැම දෙනාටම ලකුණු රැස් කිරීමේ වුවමනාවක් ඇති වීම ධනාත්මක කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

අසිත ප්‍රනාන්දු අංක 10 පිතිකරු ලෙස පිටියට පැමිණ ලබාගත් ලකුණු 10 සුවිශේෂී වටිනා ඉනිමක් බවද ඔහු පැවසීය.

‘සැලසුම් කළ හැම දෙයක්ම ඒ විදිහට වුණේ නැහැ. හැබැයි අපිට ඕනෑ වුණේ කොක්කෙන් හෝ කෙක්කෙන් මේ තරගය ජය ගැනීමටයි. කොහොමත් තරගයක සැලසුම් සියල්ල සාර්ථක වෙන්නෙ කලාතුරකින්. මේ තරගය පැරදුණොත් ඉවතට යන බව කණ්ඩායම් දෙකම දැනගෙන හිටියා. ඒ වගේම අපි එක්සත් අරාබි එමීර්වල ක්‍රීඩා කළේ වසරකට පමණ පසුවයි. තරගාවලිය සඳහා අපිට දවස් දෙකයි මෙහෙ පුහුණුවීම් කරන්නට ලැබුණේ. අනෙක් කණ්ඩායම් ඊට දවස් හත අටකට පෙර මෙහෙට ඇවිත් පුහුණුවීම් ආරම්භ කර තිබුණා’ යැයි ද භානුක පවසා සිටියේය.

මෙතරම් ඉහළ ලකුණු හඹා යෑමක් සාර්ථක වීම සම්බන්ධයෙන් අප සතුටට පත් විය යුතු බවද පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකාව ලකුණු 170-180 සීමාවට පැමිණි බවද භානුක සිහිපත් කළේය.

‘තණතීරුව හොඳ නම් අපි ලොකු සංඛ්‍යාවන්ට ගිහින් තිබෙනවා. ලංකාවෙන් පිටතදී ඒ දස්කම අපි බොහෝ වේලාවට පෙන්නුම් කර තිබෙනවා. පන්දු යවන්නන් පස් දෙනෙක් එක්ක අපි තරගයට ආවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් කීප දෙනෙක් අපේ කණ්ඩායම සතුව සිටිනවා. දසුන්, ධනුෂ්ක සහ චරිත් අද පන්දු යැව්වෙ නැති වුණත් ඔවුන් ගේ සහාය අපට අවශ්‍ය අවස්ථාවන්වලදී ලබා ගන්න පුළුවන්.’

පසුගිය ඇෆ්ගනිස්තානය සමග තරගයේ දී භානුක රාජපක්ෂ ලකුණු 35ක් ලබා ගත් අතර ඊට අමතරව මෙම තරග දෙක පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු අංශය ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අතර බංග්ලාදේශය සමග තරගය සියයට 90කටත් වඩා දකුණත් පිතිකරුවන්ගේ දායකත්වය මත ජයග්‍රහණය කළ තරගයක් විය. ඒ පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් භානුක මෙසේ පවසා සිටියේය.

‘එක් එක් තරගයේදී පිතිකරුවන්ට එක් එක් ආකාරයට වාසි අවාසි තත්ත්වයන් උදා වෙනවා. අද තරගයේදී ප්‍රතිවාදී බංග්ලාදේශ පන්දු යවන්නන් යොමු කළ පන්දු දකුණත් පිතිකරුවන් තුළට ඇදී ආවා. ඒ නිසා ඔවුන්ට යම් වාසිදායක තත්ත්වයක් උදා වුණා. වමත් පිතිකරුවන්ට තවමත් ලොකු ඉනිමකට යෑමට නොහැකි වුණත් ඉදිරියේ දී ඒ අඩුවත් සම්පූර්ණ වේවි.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment