ආරවුලක් නිසා පියා රෝහල්ගතව සිටියදී ආබාධිත දියණිය වගා ළිඳට වැටුණාද දැම්මාද?

223

මිහින්තලේ පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ වගා ළිඳක තිබී, සැක කටයුතු ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන තරුණියකගේ මළසිරුරක් පෙරේදා (15 දා) පස්වරුවේ සොයාගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිප්පුකුලම, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි නිශ්ශංකගේ සන්දීපනී දිල්රුක්ෂිකා කාරියවසම් නමැති 23 හැවිරිදි තරුණියක් බව පොලිසිය කියයි.

සහෝදර සහෝදරියන් සිවුදෙනකුගෙන් යුතු පවුලක වැඩිමහල් සහෝදරිය වන මරණකාරිය ආබාධිත තත්ත්වයෙන් පසුවූ තරුණියක බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය. මරණකාරියගේ පියා සහ අසල්වැසියකු අතර පෙර දිනයේ ඇතිවූ ආරවුලක් ගැටුමක් දක්වා දුරදිග ගොස් එම දෙදෙනා රෝහල් ගතකර ඇති බවත් ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ

පියා බැලීම සඳහා මව රෝහලට ගිය අතරතුර මෙම දියේ ගිලීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සිදුවූ අවස්ථාවේදී වයස අවුරුදු 9ක් වන මල්ලී සහ වයස අවුරුදු 7 ක් වන නැගණිය නිවසේ රූපවාහිනිය නැරැඹීමට සලස්වා 17 හැවිරිදි දැරිය විසින් ආබාධ සහිත තම වැඩිමහල් සොහොයුරිය (මරණකාරිය) නිවසේ පුටුවක හිඳුවා ගවයන්ට ජලය දීමට නිවස අසල කුඹුරට ගොස් තිබූ බවද පොලිසිය කියයි. විනාඩි දහයකින් පමණ එම දැරිය යළි නිවසට පැමිණි අවස්ථාවේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොසිටීම හේතුවෙන් වහා ගම්වාසීන් දැනුවත් කර සොයා බැලීමේදී නිවස ආසන්නයේ පිහිටි වගා ළිඳ තුළ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment