ආර්ථිකය කෑවේ කවුද දින 7ක විවාදයකට එනු! – සජිත්ගෙන් බන්දුලට අභියෝගයක්

45

දවස් 7ක් නෙවෙයි පැය 3ක් ඇති – බන්දුල ප්‍රතිචාර දක්වයි

රටේ ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් දින හතක විශේෂ විවාදයක් පැවැත්වීමට එන්නැයි විපක්ෂ නායන සජිත් ප්‍රේමදාස මහතා ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) අභියෝග කළේය.

බදු ආදායම අඩුකොට රාජ්‍ය ආදායම සියයට 11 සිට සියයට 08 දක්වා අඩු කිරීමට බන්දුල ගුණවර්ධන මහතා ද වගකිවයුත්තකු බවට විපක්ෂ නායක එහිදී චෝදනා කර සිටියේය.

විපක්ෂ නායකයා මෙම අභියෝගය කරනු ලැබුවේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ආර්ථිකය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

“රටේ ආර්ථික මහ මොළකරු යැයි සිතාගෙන සිටින බන්දුල ගුණවර්ධන මහතා සමග මට සිංහල, ඉංග්‍රීසි සහ අවශ්‍ය නම් දෙමළ භාෂාවෙන් වුවද මෙම විවාදය කළ හැකියි” යැයි ද ප්‍රේමදාස මහතා එහිදී කීය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමන්ට රාජ්‍ය මූල්‍ය පිළිබඳ විවාදය සිංහල භාෂාවෙන් රූපවාහිනි නාලිකාවක සිදු කිරීමට සූදානම් බවත් ඊට දවස් 07ක් නොව පැය 03ක් ප්‍රමාණවත් බවත් ය.

මෙහිදී සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එම විවාදයට විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක් වූයේය. රටේ ආර්ථිකය පරිහානියට ලක්වූයේ රාජපක්ෂ පාලනය නිසා යැයි ඔහු ද චෝදනා කළේය.

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය සමයේදී නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කර හේතුවෙන් රට ආර්ථික පරිහානියට ලක්වීම ආරම්භ වූ බවය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment