ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙනයා හැකි එකම නායකයා රනිල් – අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි

44

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යෑමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (27 දා) කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලීය.

ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මෙහිදී මහා නායක හිමිපාණන් වහන්සේව දැනුවත් කළ ජනාධිපතිවරයා නැවත රට එවන් අගාධයකට ඇද නොවැටීමට නම් රට නව මඟකට ගෙන යා යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළ කැපවී කටයුතු කරන බවත් සඳහන් කළේය.

රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය භාරගන්නා ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ කළ ආරාධනය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට එදා තමා අධිෂ්ඨාන කරගත් බවත්, රට වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමත්ත පළ කළ සියලුදෙනාගේම සහාය ලබාගනිමින් ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමන්ට හැකිවූ බවත් සඳහන් කළේය. මෙය මෙවැනි අර්බුදයකට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රණයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අසාධාරණ ඉල්ලීම් මත පදනම්ව ගුරු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.

කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය පැලවත්තේ පුණ්‍යරතන ස්වාමීන් වහන්සේ සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment