ආර්ථිකය හැකිලී ආදායම අඩු වීමෙන් ජනතාවට ජීවත්වීමේ මාර්ග නැති වෙනවා  – ජනපති රනිල් වික්‍රමසිංහ

101

ආහාර සුරක්ෂිතතාව සහ  පෝෂණය සහතික කිරීමට  ජාතික සැලැස්මක් අවශ්‍යයි

 ශ්‍රී ලංකාවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල  ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමිනි.

 වැඩසටහන පෙරේදා (13දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂි කර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

 හැම කෙනාටම ජීවත්වෙන්න අවශ්‍ය ආහාර අප ලබාදිය යුතුයි. අපේ ආර්ථිකය 7%ක සෘණ මට්ටමක තිබෙන්නේ. ආර්ථිකය හැකිලුනු විට ජනතාවගේ ආදායම අඩු වෙනවා. ජනතාවගේ ආදායම අඩුවිට ඒ අයට ජීවත් වෙන්න  මාර්ගයක් නැති වෙනවා.

 අපි බැලුවොත් අද ඉදිකිරීම් අංශයේ විශාල විරැකියාවක් තිබෙනවා. ආණ්ඩුව නැවත මුදල් ලබාගෙන ඉදිරියට එනකන් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.

 අද රටේ කොටසක් ඉන්නවා ආහාර නැතිව. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම නැති වෙලා. කාගෙන්වත් ඉල්ලන්න කැමති නෑ, ඔවුන් ලැජ්ජයි. මෙම තත්ත්වය තවත් උග්‍ර වෙලා තිබෙන්නේ අද ලෝකයේ තිබෙන ආහාර අර්බුදය නිසා.

 යුක්‍රේනයේ යුද්ධය නිසා අපට අවශ්‍ය තිරිඟු ලැබෙන්නේ නැහැ. සමහර විට ඔස්ටේ්‍රලියාවේ මෙවර අස්වැන්න හොඳ වෙන්න පුළුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ.

 දැන් ඉන්දියාව ආහාර අපනයනය කරන එක නවත්තලා. චීනයත් අඩු කරලා තිබෙන්නේ. මේ තත්ත්වය මේ දෙසැම්බර් මාසයේ දී අවසන් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි කාලයක් තිබෙනවා. එය අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්.

 මේ ප්‍රශ්න දෙක නිසා විශාල ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ එක්කම තෙල් මිල දැන් අඩු වුණාට සීත කාලය ආ විට වැඩි වෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එම නිසා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සියලුදෙනාට ආහාර ලැබිය යුතුයි. ඒ ආහාර අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ.

 දැන් අපි කටයුතු කරමින් සිටින්නේ ඉන්ධන ලබා  ගැනීමට. සමහර තැන්වල බීජ හිඟයක් තිබෙනවා. තායිලන්තය වැනි රටවලින් අවශ්‍ය බීජ ලබා ගැනීමට අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා කරගෙන යනවා. අපි මේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕනෑ. නිකන් වගා ව්‍යාපාරයක් ආරම්භ කරලා වැඩක් නැහැ.

 ග්‍රාම නිලධාරී මට්ටමින් නිලධාරීන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනා එක් කර ගන්න, අවශ්‍ය නම් විදුහල්පතිවරුනුත් එක් කර ගන්න පුළුවන්. මේ සියලුදෙනා එක් කර ගනිමින් වගා ව්‍යාපාරයට යන්න. සැලැස්ම අනුව මොකක්ද කරන්නේ, කොතැනද කරන්නේ කියලා තීරණය කරන්න.

 අපි ඉතා සාර්ථක මහ කන්නයක් කළොත් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න එය එක මාර්ගයක් වෙනවා. සාර්ථක යල කන්නයක් ඊළඟට තිබෙනවා නම් ලබන වසරේ ආර්ථික නිෂ්පාදනය වැඩි වෙනවා.

 අද මේ රටේ කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේත් කඩා වැටීමක් තිබෙනවා. බැංකු ණය ගෙවා ගන්න බැරිව විශාල ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. බිම් මට්ටමේ සිට මොකක්ද සිදු වී තිබෙන්නේ කියලා බලලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රශ්න විසඳන්නේ නැත්නම් විශාල කැළඹීමක් ඇති වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment