ආර්ථික අගාධයට ගෝඨා මහින්ද බැසිල් වගඋත්තරකරුවන් කළ පෙත්සම්වලට අවසර

237

ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්රාල්, ජයසුන්දර, ආටිගල ඇතුළු මුළු වගඋත්තරකරුවන් ගණන 39 ක්
කලින් අයි.එම්.එෆ්. නොගිය හේතු හා බැඳුම්කර ගැනත් අසයි
රනිල්ගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරයි
ප්‍රශ්න සහගත ගනුදෙනු ගැන විගණන වාර්තාවකුත් ඉල්ලයි

රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්තේ යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අගමැතිවරයකු මෙන්ම මුදල් අමාත්‍යවරයකු ද වූ මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ හා අලි සබ්රි,හිටපු මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් ඇතුළු 39 දෙනකු වගඋත්තරකරුවන් කරමින්

ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (7 දා) අවසර දුන්නේය.

අක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් අප රටේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට හා එකී විමර්ශනයේදී අනාවරණය වන ආර්ථික ඝාතකයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට බලකරන නියෝගයක් කරනා ලෙසට ද ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ යන මහත්වරුන් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ල එම අවසරය දුන්හ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්‍ද්‍රා ජයරත්න, ලෝක පිහිනුම් ශූර ජූලියන් බෝලින්, ජෙහාන් කනගරත්න, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා ලංකා විවෘත විශ්වවිiාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් එම පෙත්සම් ගොනුකර තිබිණි.

ඒ අනුව පෙර කී වගඋත්තරකරුවන්ට අමතරව වර්තමාන කැබිනට් මණ්ඩලය හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන්, හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, වර්තමාන මූල්‍ය මණ්ඩල නියෝජිතයන් වන එස්. එස්. ඩබ්ලිව් කුමාරසිංහ යන පිරිසට එරෙහිව එකී මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙනු ඇත. එයට අමතරව ප්‍රශ්න සහගත තීන්දු තීරණ ගත් සමයේ මහ බැංකු මූල්‍ය මණ්ඩලය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හා රාණි ජයමහ යන දෙදෙනා වගඋත්තරකාර ලේඛනයට ඇතුළත් කිරීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. ප්‍රශ්න සහගත ගනුදෙනු සම්බන්ධයෙන් විගණන වාර්තාවක් ලබන නොවැම්බර් 30 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද එහිදී විගණකාධිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට එවකට සිටි බලධාරීන් හා වගකිවයුත්තන් අපොහොසත්වීම, 2022 ජනවාරි 18 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරී ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වැයකිරීම යන කරුණු සම්බන්ධයෙන් ද එකී විගණන වාර්තාවට ඇතුළත් විය යුතු බවට ද නියෝග කළේය.

පෙර කී ගෙවීම් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වී ඇති මූල්‍ය පාඩුව හා අලාභය සම්බන්ධයෙන් සිය විගණන වාර්තාවට ඇතුළත් කළ යුතු බවට ද එහිදී විගණකාධිකාරිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, කැබිනට් මණ්ඩලය, මූල්‍ය මණ්ඩලය හා වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරුන්, මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල විසින් 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන නිර්දේශ හා දැනුම්දීම් පිළිබඳ පිටපත් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට නියෝග කළේය.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනා මහ බැංකු මූල්‍ය මණ්ඩල පනතේ 64 සහ 68 වගන්ති යටතේ 2022.11.30 වන දින හෝ ඊට පෙර මූල්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද විනිසුරු මඬුල්ල මහ බැංකු මූල්‍ය මණ්ඩලයට එහිදී නියෝග කළහ.

ඇමරිකානු ඩොලරයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 203 ක අගයක ස්ථාවරව තබා ගැනීම සම්බන්ධයෙන් ද සිය විගණන වාර්තාව මගින් කරුණු අනාවරණය කරනා ලෙසට ද එහිදී විගණකාධිපතිවරයාට නියෝග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජනවාරි 9 වැනිදා යළි කැඳවීමට දින නියම කළහ. නීතිඥ චින්තක ප්‍රනාන්දු, එස්. ඒ. වේලින්, සයුරි ලියනසූරීය සහ මහීෂා දිසානායක යන නීතිඥ මඬුල්ල සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ චින්තක ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

මේ අතර එම පෙත්සම් දෙකේම වගඋත්තරකරුවකු ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නම්කර තිබූ නමුත් ඔහු ඒ වන විට රටේ විධායක ජනාධිපති ධුරයේ කටයුතු කිරීම නිසා ඔහුගේ නම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබිණි.

ඒ සම්බන්ධයෙන් පළමුවෙන්ම ගොනුකර තිබූ අංක 195 2022 අංක දරන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, එස්. එම්. චන්‍ද්‍රසේන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, සී. බී. රත්නායක, පවිත්‍රා දේවි වන්නිආරච්චි, විමල් වීරවංශ, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන පිරිසට එරෙහිව ද එකී පෙත්සම් විභාගය පැවැත්වෙනු ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment