ආර්ථික අර්බුදයක් මැද වුවත් තෙල් සංස්ථාවේ ණය ඩොලර් මිලියන 355 ට බස්සවා ගත්තා – බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

184

මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ වුවද පසුගිය රජය ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවේ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 355 දක්වා අඩු කරගැනීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) ප‍්‍රකාශ කළේය.

වර්තමානයේ පවතින තත්ත්වයන්ට අනුගත වෙමින් සියල්ල නිවැරදිව කළමනාකරණය කරන බවත් විදේශ විනිමය අර්බුදය රටේ ප‍්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් නොවන බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

සටන් පාඨ පුවරු ඔසවමින් විරෝධය දක්වනවා වෙනුවට මේ සඳහා විසඳුම් ඉදිරිපත් කළ යුතු බව කී ඇමැතිවරයා, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පරිණත නායකයකු බවද, පාඨලී චම්පික අමාත්‍යවරයා ඊට විසඳුම් ඉදිරිපත් කළ බව ද පැවසීය.

මේ වනවිට මෙරට පෙට‍්‍රල් තොග, ඔක්ටේන් 92 දින 10කටත්, ඔක්ටේන් 95 දින 40කට සහ ඔටෝ ඞීසල් දින 8 කටත්, සුපර් ඞීසල් දින 08 කටත් ප‍්‍රමාණවත් බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී අවශ්‍ය ඉන්ධන තොග ලැබීමට නියමිත බවද කීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස ගත කළ මාස 18ක කාලය විදේශ විනිමය අර්බුදයේ උග‍්‍රතම අවස්ථාව වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 2020 වසර ආරම්භයේදීම ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙක සඳහා වූ ණය ප‍්‍රමාණයන් ප‍්‍රතිමූල ණය කිරීමේ පහසුකමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව කී අමාත්‍යවරයා, වර්තමානයේදී රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප‍්‍රමාණය 2019.12.31ට සාපේක්ෂව වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 256කින් පමණක් බවද පෙන්වා දුන්නේය.

මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ වුවද පසුගිය රජය ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවෙන් රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 355 දක්වා අඩු කර ගැනීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය.

පාස්කු ප‍්‍රහාරය නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් වූ බවත් එම බලපෑම වියැකී යෑමටත් පෙර 2020 වසරේ සිට ඇති වූ කොවිඞ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 4ක ප‍්‍රමාණය අහිමි වීම සහ විදේශ පේ‍්‍රෂණ පහත වැටීම නිසා විදේශ විනිමය අර්බුදයක් ඇති වූ බවද පැවසීය.

අද මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී තමා කළ ප‍්‍රකාශය සත්‍ය බවත් අද මේ වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 101 දක්වා ඉහළ ගොස් ඇතැයිද කීය. ඉදිරි මාස 03 සඳහා ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 1285.50ක් අවශ්‍ය අතර ඩොලර් මිලියන 500ක් ඉන්දියානු ණය පහසුකම් යටතේ ලබා ගැනීමට හා අනෙකුත් ණය ලබා ගැනීම් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ගම්මන්පිල මහතා පැවසීය.

1978 වර්ෂයේ සිට අපනයන ආදායම ඉක්මවා ආනයන වියදමක් දැරීමත්, දැවැන්ත ලෙස විදේශ ණය ලබා ගැනීමත් හේතුවෙන් වර්තමාන විදේශ විනිමය අර්බුදය ඇති වී තිබෙන බවත් ඒ සඳහා විපක්ෂය ඇතුළුව 1978 සිට මේ දක්වා පැවති සෑම රජයක්ම වගකිව යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘දුකක් තිබේ නම් දුකට හේතුව සොයා බැලිය යුතුයි. ප‍්‍රතිකාර කළ යුත්තේ එම හේතුවටයි. දුකට හේතුව විදේශ විනිමය අර්බුදයයි. විපක්ෂ නායකවරයා විවාදයක් ඉල්ලිය යුත්තේ මෙම විදේශ විනිමය අර්බුදයෙන් ජාතියක් වශයෙන් ගොඩ යා යුත්තේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමටයි. වැටුණොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව නොවේ අපි හැමෝමයි.’’

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment