ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වන – දැවැන්ත රාජ්‍ය අංශයට අයවැයෙන් අලුතින් තවත් ආයතන 11 ක් එකතු කරලා

115

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල

ලංකාවේ ආර්ථික අර්බුදයට එක් ප්‍රධානම හේතුවක් වන්නේ ලෝකයේ දැවැන්තම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමයි. එහි ආදීනව පිළිබඳ පසුගිය මාස ගණනාවක් පුරාම පාර්ලිමේන්තුවේ වැදි බණ කියූ ආණ්ඩුව මෙවර අයවැයෙන් නව රාජ්‍ය ආයතන 11ක් බිහිකර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල කියයි.

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මෙසේද කීය.

“ලංකාවේ ආර්ථික අර්බුදයට එක් ප්‍රධානම හේතුවක් වන්නේ ලෝකයේ දැවැන්තම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමයි. එහි ආදීනව පිළිබඳ පසුගිය මාස ගණනාව පුරාම පාර්ලිමේන්තුවේ වැදි බණ කියූ ආණ්ඩුව මෙවර අයවැයෙන් නව රාජ්‍ය ආයතන 11ක් බිහිකර තිබෙනවා. ස්ථිර නොවන කමිටු, ජනාධිපති කොමිෂන් සභා, ජනාධිපති කාර්ය සාධක බළකායන්, පවතින ආයතන ඒකාබද්ධ කර බිහිකරන නව ආයතන මේ 11ට අයිති නෑ.

ඒ අනුව ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සංවර්ධන කමිටුව, උපාධි තත්ත්ව සහතික සහ ප්‍රතීනන මණ්ඩලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, ඉතිහාස පර්යේෂණ ආයතනය, රාජ්‍ය ආදායම් කළමනාකරණය කිරීමේ ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය, ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය කියන නැවුම් ආයතන අර තාවකාලිකව පිහිටුවන කාර්ය සාධක බළකා කොමිෂන් සභාවලට අමතරව පිහිටුවා තිබෙනවා.

නැවුම් ආයතන බිහි කිරීමේදී නව අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු සහය කාර්ය මණ්ඩල අළුතින් පත් කරන්න ඕනෑ වගේම වාහන ඇතුළු අනෙකුත් පහසුකම් ද ලබා දිය යුතුයි. පවතින දැවැන්ත මූල්‍ය අර්බූදය හේතුවෙන් තිබෙන ආයතන වලින් වැඩේ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නිදසුනක් ලෙස උපාධි තත්වය සහතික සහ ප්‍රතීනන මණ්ඩලයෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්ය භාරය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න පුළුවන්. ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියෙන් කර ගැනීමට අපේක්ෂා කරන වැඩේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන්න පුළුවන්.

තිබෙන ආයතනවලින් වැඩේ කර ගන්නේ නැතිව නව ආයතන බිහි කිරීමෙන් වෙන්නේ පවතින අර්බුදය තව උග්‍ර කිරීමක්. බොහෝ මාධ්‍ය වාර්තා කළේ අයවැය හිඟය රුපියල් බිලියන 2,400ක් ලෙසයි. ඒ හරහා ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 2,400ක් ලෙසයි ජනතාවට දැණුනේ. ඇත්තෙන්ම ඒක ඉලක්කම් විජ්ජාවක්. දේශීය සහ විදේශීය ණය ආපසු ගෙවීම් මේ තුළ නෑ. ණය පොලී විතරයි වාර්ෂික වැය තුළ පෙන්වන්නේ. ඇත්තම කියනවා නම් ආණ්ඩුව මේ වසරේ ණය ආපසු ගෙවීම් ලෙස කීයක් ගෙවනවද කියන එක අයවැය කතාවේවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛන කිසිවකවත් සඳහන් වෙන්නෙ නෑ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment