ආර්ථික අර්බුදයට වගකිවයුත්තෝ

414

ඕනෑම රටක රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුව හෝ ඊට සමාන ව්‍යවස්ථාදායක සභාවක් ආධාරයෙන් ආණ්ඩුව පවත්වා ගත්තද විවිධ අමාත්‍යාංශ හරහා රජයේ හා ජනතාවගෙ යහ පැවැත්ම උදෙසා ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා කොමිෂන් සභා හා වෙනත් විවිධ ආයතන අනුසාරයෙනි. මෙම ආයතනික ව්‍යුහය යම් හෙයකින් අකාර්යක්‍ෂම වේද, රාජ්‍ය තන්ත්‍රය බිඳවැටීම වළක්වාලිය නොහැකි වේ. අද අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට මෙම තත්ත්වය හේතුවේ දැයි සොයා බැලීම ඉතා කාලෝචිත කරුණකි.

ශ්‍රී ලාංකික ආධතනික ව්‍යුහය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඉන් පළමුවැන්න යම් ආකාරයක වෙළෙඳාමක යෙදෙන ආයතනයන් වේ. උදාහරණ ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා පෙට්‍රොලියම් සංස්ථාව, ජාතික ජල සම්පාදන මණ්ඩලය, ලංකා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා පොහොර සමාගම, ගෑස් සමාගම, වී අලෙවි මණ්ඩලය ආදිය මෙයට උදාහරණ කීපයකි. මේවා මගින්

පාරිභෝගික ජනතාවට සේවා සැපයීම සිදුකරන අතරම ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වේ. එහෙත් මෙම ආයතන කිසිවක් අද වනවිට ලාභ නොලබන හෝ පාඩු ලබන තත්ත්වයට ඇඳවැටී ඇත. එම පාඩුව වාර්ෂිකව රුපියල් මිලියන ගණනකි.

දෙවන කොටසට අයත්වන්නේ හුදෙක් සේවා සැපයීම අරමුණුකර ගත් ආයතන යන්ය. උදාහරණ ලෙස අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, සාමය හා අරක්‍ෂාව, කෘෂිකර්මය හා ආහාර සැපයුම, සංස්කෘතිය, ආගමික කටයුතු, වන සංරක්‍ෂණය, පරිසර සංරක්‍ෂණය, ලාංකික උරුමය වැනි රටක පැවැත්ම හා එහි ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සේවාවන් සපයන දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන මීට ඇතුළත්ය. උදාහරණ ලෙස මෙම ලැයිස්තුවේ මුලටම එන අධ්‍යාපනය, සෞඛ්‍යය. ආරක්‍ෂාව හා කෘෂිකර්මය යන ක්‍ෂේත්‍ර වෙනුවෙන් ලංකාව 2019 වසරේ වෙන් කළ මුදල රු. බිලියන 754 කි. මේ අතුරෙන් සැලකිය යුතු ආදායමක් රැස්කරණුයේ දඩ මුදල් එක්රැස් කරණ පොලිස් දෙපාර්තමේන්තුව පමණි. එහෙයින් මෙම ඛාණ්ඩය යටතේ පෙළගැසී ඇති අන් සියලුම අමාත්‍යාංශ හා ආයතන අති විශාල මහජන මුදල් සම්භාරයක් වාර්ෂිකව වැයකරන්නේ එම ක්‍ෂේත්‍ර හරහා දියුණුවන මානව හා භෞතික සම්පත් සෘජුවම රටේ සංවර්ධනයට දායක වේ යැයි ඇති බලාපොරොත්තුවෙනි. එමගින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා ලාභ ලබන සේවා දියුණුවී විවිධ බදු හා බදු නොවන රාජ්‍ය ආදායම් වර්ධනයවී මෙම පිරිවැය වක්‍රාකාරයෙන් නැවත රාජ්‍ය
භාණඩාගාරයට ලැබේ යැයි බලාපොරොත්තු වෙති.

එතරම් විශාල නොවුනද තෙවන කාණඩයේ ආයතන පද්ධතියක් මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන වි්‍යුහය පවත්වා ගැනීමත්, අවැසි තාක්‍ෂණය ජනනය කිරීමත් ජනතාව තුළ නිෂ්පාදන හා සේවා අංශ සඳහා අවැසි පුහුණුව ලබාදීත් සිදු කෙරේ. උදාහරණ ලෙස ජනාධිපති සේවය, පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය හා අමාත්‍ය කාර්යාල, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදිය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති තානාපති කාර්යාල ආදිය මින් ප්‍රධාන කොටසයි. තවද මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය, පර්යේෂණ ආයතන, රැකියා පුහුණු කිරීමේ ආයතන ආදියද මෙම කාර්ය සඳහා දායක වේ. මේ සඳහා දරන පිරිවැයද දෙවන කොටසේදී මෙන්ම රටේ සංවර්ධනයට වක්‍රව දායකත්වය ලබාදීම තුළින් ජාතික ආදායම හෝ රටේ දළ දේශීය නිෂ්පාදිතය, ආර්ථික වර්ධන වේගය හෝ විදේශ ආදායම් වර්ධනය ආදී අංශ හරහා ප්‍රතිඋත්පාදනය වේ යැයි උපකල්පනය කළ හැක.

මෙම ආයතනික වියදම් තුළ අතිමහත් වියදම වනුයේ සේවක වැටුප්, දීමනා හා සුභ සාධනයන්ය. මීළඟ කොටස වනුයේ ආයතනික නඩත්තුවයි. එනම් ගොඩනැගිලි උපකරණ හා වාහන, අලුතෙන් ඉදිකිරීම ආනයනය හා ඒවායේ නඩත්තු කටයුතු ආදිය වේ. තෙවනුව විදුලිය, ජලය, ඉන්ධන, ලිපි ද්‍රව්‍ය, මුද්‍රණ ද්‍රව්‍ය, රසායනාගාර සේවා, පර්යේෂණ වියදම්, ගොවිපළ නඩත්තුව හා කාර්මික සේවා යනාදි වාර්ෂික හෝ මාසික වැය ශීර්ෂ පවත්වා ගැනීමද සැලකිය යුතු පිරිවැයක් වේ. මෙම තත්ත්වය යටතේ දිගින් දිගටම සිදුවන සේවක මණ්ඩලවල ප්‍රසාරණය හා භෞතික සම්පත්වල වර්ධනය මෙන්ම ආයතන කළමනාකරණය පිළිබඳ අත්තනෝමතික තීරණ හේතුවෙන් මෙම ආයතනික පද්ධතියේ සමස්ත පිරිවැය වාර්ෂිකව රාජ්‍ය තන්ත්‍රය වෙත අතිමහත් භාරයක් එකතු කෙරෙමින් පවතී.

එමෙන්ම රාජ්‍ය අංශයේ පවත්නා විවිධාකාර දුර්වලතා හේතුවෙන් පසුබා ඇති ආයතනික කළමනාකරණය හේතුවෙන් ඒවායේ ඵලදායීතාව (Productivity) පුද්ගලික අංශයට සාපේක්‍ෂව ඉතා පහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය තුළ මානව හ භෞතික සම්පත් යම් කාලරාමුවක් තුළ නිසි ලෙස කලමනාකරණය සිදු නොවේ. මෙය ඒ ඒ ආයතනයේ අකාර්යක්‍ෂමතාවය ලෙස හුවා දැක්විය හැක. අවසානයේදී අධික පිරිවැයක් දරමින් පවත්වාගෙන යන මෙම ආයතනික පද්ධතියෙන් ජාතිය බලාපොරොත්තු වන ජාතික සංවර්ධනයට ලැබෙන දායකත්වය, දියුණු රටවල්වලට සාපේක්‍ෂව පමණක් නොව, දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂවද ඉතා අයහපත් අඩියක පවතී.

සෘජු හා වක්‍ර ප්‍රථිපල – දේශීය ආදායමට දායක වීම

ඉහත කී ආයතන ඛාණ්ඩ තුනෙන් පළමුවන කොටසට අයත් බොහෝ ආයතන පසුගිය දශක දෙකක කාලය තුළ මහජන සේවය වෙනුවෙන් කැපවීම හෝ වගවීම අතින් සැලකිය යුතු ප්‍රගතියක් දක්වා ඇත. ජල, විදුලිබල, ගෑස් හා සන්නිවේදන සේවා සැපයුම් මෙන්ම බැංකු, මූල්‍යමය හා රක්‍ෂණ සේවා ආදිය මින් ප්‍රධාන වේ. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ තොරතුරු තාක්‍ෂණය (IT) යොදා ගැනීමයි. දෙවනුව විවෘත ආර්ථික ක්‍රමය තුළ ඔවුන් මුහුණදෙන පුද්ගලික අංශයේ තරගකාරී භාවයට හැඩ ගැසීමයි. එහෙත් මෙම ආයතනවල මූල්‍ය කළමනාකරණය හා ඵළදායිතාව පිළිබඳ විගණන වාර්තාවලට හා වාර්ෂික වාර්තාවලට අනුව ආයතනික කළමනාකරණයේ දුර්වලතා හා අක්‍රමවත් බව හේතුවෙන් රාජ්‍ය ආදායම් සඳහා එම ආයතනවල දායකත්වය පසුගිය වකවානුව තුළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් දායක වන මෙරට සංචාරක කර්මාන්තය හා විදේශ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය තබා විධිමත්ව පවත්වා ගැනීමට වත් අවශ්‍ය වටපිටාව පිළිබඳ උනන්දුවක් නොදක්වන එම ආයතන මෙන්ම වක්‍රව සේවා සපයන පරිසර, ආරක්‍ෂක, ගමනා ගමන, සංස්කෘතික, ක්‍රීඩා, වෙළෙඳ, සෞඛ්‍ය, අධ්‍යාපන, ආගමික හා සමාජසේවා ආදී ආයතන එම සත්කාරයෙහි ලා ඔවුනගේ කාර්යභාරය පිළිබඳව මනා අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

සෘජුව හා වක්‍ර ප්‍රථිපල – මානව සම්පත් වර්ධනය

සම්පත් හිඟයට හා වසංගත තත්ත්වයට මුහුණ දුන් පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙළෙඳ ප්‍රජාව, මහජන නියෝජිතයින්, රාජ්‍ය සේවකයින්, මගින් පුද්ගලික අංශයේ සේවා ආයතන ආදිය හැසිරුණ සාරධර්ම විරෝධී හා ආත්මාර්ථකාමී ස්වභාවය සහ ක්‍රියාත්මක කළ ගර්ජන, වර්ජන, උද්ඝෝෂණ ආදිය දෙස බැලූවිට මේ සා විශාල ධනස් ඛණ්ඩයක් වැයකොට පවත්වාගෙන යන අප අධ්‍යාපන ක්‍රමය, ආගමික වටපිටාව හා සමාජ පද්ධතිය දියුණු රටවලට සාපේක්‍ෂව කෙතරම් අඩු ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත්දැයි මොනවට පැහැදිලි වේ. දශක හතරක පමණ කලක සිට ක්‍රමයෙන් පහත වැටෙන කිරි ආශ්‍රිත ආහාර, සීනී, පැනි හකුරු, වෙනත් ධාන්‍ය වර්ග, මිරිස් ඇතුළු සෙසු කුළුබඩු, මුං කව්පි වැනි මාංශ බෝග, ළුෑණු හා අර්තාපල්, දේශීය අලවර්ග, පලතුරු මෙන්ම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ශාකමය මද්‍යසාර හා කපුනූල් ආදි නිෂ්පාදන මෙන්ම වියට්නාමය, බංගලාදේශය, කෙන්යාව, ඉන්දියාව වැනි රටවලට සාපේක්‍ෂව එකතැන පල්වන (Stagnating) තේ, රබර්, පොල්, කුළුබඩු කැපූ මල් හා විසිතුරු පැළ සැකසූ එළවළු හා පලතුරු ආදි නිෂ්පාදනවල අපනයන ආදායම මෙන්ම, 30 -40 පමණ වන උද්‍යාන විද්‍යා‍යාත්මක බෝග වර්ගවල සිදුවන පසු අස්වනු හානිය සැලකූ කල මෙරට කෘෂිකාර්මික හා ආහාරමය මෙන්ම වැවිලි කර්මාන්ත මහවැලි හා අපනයන සංවර්ධන කටයුතු භාර අමාත්‍යාංශවල වාර්ෂික වැය ශීර්ෂ සාම්ප්‍රදායිකව පාරිභෝජනය කරණ උසස් අධ්‍යාපනය ලැබූ මානව සම්පත් පිළිබඳව ඇතිවිය හැකි ජනතා විරෝධයට පිළිතුරු සැපයීය හැකි වේද? තවද එම අමාත්‍යාංශ යටතේ පවත්නා පර්යේෂණ හා නිෂ්පාදන ආයතන ප්‍රථිලාභ ලබන මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉහළම සාමාර්ථ ලැබූ මානව සම්පත ශත වර්ෂයක පමණ කාලයක් තුළ මහජන මුදලින් යැපුනද ගොවිතැනට අවශ්‍ය කෘෂි මෙවලම් (බීජ, යන්ත්‍රෝපකරණ හා කෘෂි රසායන ආදිය) සම්බන්ධව ලාංකීය ගොවියා ආනයන සමාගම්වල යකඩ සපත්තුවට පෑගි සිටීම දෙස උපේක්‍ෂාවෙන් බලා සිටීම සාධාරණීය කළ හැකිද?

එමෙන්ම මෙරට ඉංජිනේරු, තාක්‍ෂණ හා නව නිපැයුම් වෙනුවෙන් පවත්නා ආයතනික පද්ධතියට වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන යාන වාහන යන්ත්‍රෝපකරණ පරිගණකමය මෙවලම් ඇතුළු කාර්මික නිෂ්පාදන මෙන්ම ඉන්ධන ඇතුළු ආහාරමය නොවන අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සඳහා වැයවන විදේශ විනිමය සම්භාරය ආත්ම ලැජ්ජාවකින් තොරව අනුමත කළ හැකිද?

මානව සම්පත් වර්ධනයේදී තෙවන ඛාණ්ඩයට අයත් උසස් හා තාක්‍ෂණික අධ්‍යාපන ආයතනවල සෘජු දායකත්වය ඉතා වැදගත් වේ. එහෙත් එම ආයතනවල වාර්ෂික උපාධිධාරී හෝ ඩිප්ලෝමා ලාභී පිරිස පසුගිය වකවානුව තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතත්, රට හැරයෑම වෙනත් ක්‍ෂේත්‍රවල රැකියා ආක්‍රමණය, ඌණ රැකියා නියුක්තිය (under-employment) අකාර්යක්‍ෂම හා අදූරදර්ශී සේවය ආදිය හේතුවෙන්, නිදහස් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව වෙනුවෙන් එම ආයතනික වි්‍යුහය ආයෝජනය කළ මහජන මුදල්වලින් බහුතරය, දියුණු රටවල මානව සම්පත් සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජනවලට සාපේක්‍ෂව අප රටට ඉතා අල්ප දායකත්වයක් ලබාදී ඇති බව පෙනේ.

මෙරට දෙවන ඛාණ්ඩයට අයත් අනෙකුත් ප්‍රධාන ආයතනික වි්‍යුහය තුළ පවත්නා සෞඛ්‍ය ගමනා ගමන හා ආරක්‍ෂක ආදී අංශවල විශිෂ්ට කාර්යභාරය මෙරට පසුගිය ව්‍යසනකාරී කාල වකවානුවලදී මොනවට පැහැදිලි වුවද වර්තමානයේ දියුණු රටක රෝගියෙකු මගියකු හා සාමාන්‍ය වැසියකුට ලැබෙන පහසුකම් හෝ ආවරණයෙන් අඩක්වත් අප වැසියන් හට නොලැබේ නම් මහජන මුදලින් එම ආයතන හෝ සේවා නඩත්තුව අප ආර්ථිකයට සෘජුව හෝ වක්‍රව ප්‍රථිඵලදායී වේද එවන් ආයතනවලින් ජීවිත කාලය පුරාම වැටුප් හා වරප්‍රසාද ලබන විවිධ මට්ටම්වල ශ්‍රමික ප්‍රජාව රටේ සංවර්ධනයට අවශ්‍ය මහජන සේවා ලබාදීම අතින් තම කාර්ය භාරය කොතෙක් දුරට ඉටුකර අත්තේ දැයි සිතා බැලිය යුතුව ඇත.

සෘජු හා වක්‍ර ප්‍රථිඵල -ගෙවුම් ශේෂය

ගෙවුම් ශේෂය පුළුල්වීම රටක ආර්ථිකයට කෙතරම් බලපානු ඇති දැයි පසුගිය මාස කීපය තුළ ඉන්ධන ඖෂධ හා අත්‍යාවශ්‍ය ආහාර ආනයන ගැටලුවට මුහුණදුන් ශ්‍රී ලාංකික බව හොඳින් අවබෝධ කරගෙන ඇතැයි සිතිය හැක. මීට ප්‍රධානම හේතුව අපනයන හා විදේශීය සේවා සැපයුම්වලට සාපේක්‍ෂව ආනයන හා විදේශීය සේවා ලබා ගැනීම් වැඩිවීමයි. මෙය 1980 දශකයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකීය ආර්ථිකය මුහුණ දෙන ගැටලුවකි. මීට හේතුව ප්‍රධාන ආනයන අපනයන හා සේවා සැපයුම් භාර ආයතනික ව්‍යුහයන් කීපයටම බැරකළ හැකිය.

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහ බැංකුව හා එහි අධීක්‍ෂණය යටතේ පවත්නා බැංකු හා මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරීත්වයද රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී විශේෂ කාර්යභාරයන් දරන මහා භාණ්ඩාගාරය ඇතුළු සෙසු රාජ්‍ය ආයතනද දේශපාලන බලපෑම්වලින් ස්වාධීනව, එමෙන්ම වෙනත් රටවල මෙන් විෂයානුබද්ධ විශේෂඥයන්ගේ විශේෂඥ උපදෙස් මත පිහිටුවා ශ්‍රී ලංකා ආර්ථිකය ගෙන ගියේ නම් මෙවන් ඝෘණ ගෙවුම් ශේෂයක් මෙපමණ කලක් වසරින් වසර වර්ධනයවී 2022 වනවිට රටේ ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයට පත් නොවනු ඇත. එබැවින් වසරක් පාසා විවිධ අමාත්‍යාංශ හරහා ආයතනික පද්ධතිය වෙන අය වැය කළමනාකරණයේදී ඉහතකී මූල්‍යායතන තම වගකීම ඉටුකර නැති බව ඉතා පැහැදිලිය. මේ සම්බන්ධ වගකීම විගණකාධිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා වෙතද යොමු වේ.

දෙවනුව මෙරට ගෙවුම් ශේෂයේ හිඟයට දායක වන ආනයන අපනයන කටයුතු ප්‍රවර්ධනය හා අධීක්‍ෂණය කරන ආයතන සියල්ලද සංචාරක කර්මාන්තය හා විදේශ රැකියා නියුක්තිය වැනි ප්‍රධාන සේවා සැපයුම් මෙහෙයවන රාජ්‍ය අමාත්‍යාංශ හා ආයතනද, එමෙන්ම විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන විදේශ ණය මත යැපුණු ව්‍යාපෘති (සංවර්ධන හා අධ්‍යයන) ද මෙම තත්ත්වයට වගකිව යුතු වේ.

පාලිත වීරක්කොඩි
(ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

advertistmentadvertistment
advertistmentadvertistment