ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තේ කර්මාන්තයට ඔක්සිජන් දෙන්න

630

තේ යනු හුදෙක්ම වාණිජ බෝගයක් ලෙස බි්‍රතාන්‍යයන් විසින් හඳුන්වා දුන්න ද අද වන විට එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්ගෙන් එක් සුවිශේෂී අංගයක් බවට පත්වී ඇත. තේ යනු ලංකාවේ ඉතා වැදගත් අපනයනයන්ගෙන් එකකි. මේ නිසා සෑම වසරකම මැයි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර තේ දිනයද ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වේ. සමස්තයක් ලෙස ගත් කල රසායනික පොහොර තහනම් කිරීම හා රට තුළ පවතින දැවැන්ත ආර්ථික බිඳවැටීම හමුවේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇත. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් තත්ත්වය සහ අනාගතයේ දී කර්මාන්තයට මුහුණ දීමට සිදුවන අභියෝගයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රවීණ කෘෂි පාරිසරික වනවගා උපදේශක ආචාර්ය ප්‍රසාද් ධර්මසේන මහතා පහත සම්මුඛ සාකච්ජාව සඳහා අප සම්බන්ධ කර ගන්නා ලදි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තේ කර්මාන්තයට ඔක්සිජන් දෙන්න

ලෝක තේ වෙළෙඳපළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය කොයිවගේද?

ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන විශාලතම තේ නිෂ්පාදකයා. දත්තවලට අනුව, වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 2,400 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන චීනය, තේ නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇති අතර, දළ වශයෙන් වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 900 ක් නිෂ්පාදනය කරන ඉන්දියාව දෙවන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 305ක් නිපදවන කෙන්යාව, වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිපදවන ශ්‍රී ලංකාව අභිබවා එනම් තේ කිලෝග්‍රෑම් මිලියන 5ක සුළු වැඩිවීමක් සමග තෙවැනි ස්ථානයට පත්ව සිටිනවා. ශ්‍රී ලංකාව ලොව විශාලතම තේ නිෂ්පාදකයා නොවුණ ද නුවරඑළිය, දිඹුල, ඌව, සබරගමුව, මහනුවර, රුහුණු, උඩපුස්සැල්ලාව යන ලෝක පූජිත කෘෂි පාරිසරික කලාප හත සමඟ ප්‍රමිතිය අතින් ගත් කල තවමත් ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කරනු ලබනවා.

ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ වර්තමාන තත්ත්වය කුමක් ද?

දළ වශයෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 300 න් ඉහළ ප්‍රතිශතයක් ඉරානය, ඉරාකය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), රුසියාව සහ තවත් බොහෝ රටවලට අපනයනය කර ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න මුදලක් උපයන අතර එය විශාල මුදලක් ලෙස පෙනුණත් මින් පෙර ශ්‍රී ලංකාව තේ අපනයනය හරහා එම ප්‍රමාණයට වඩා විශාල මුදලක් උපයා තිබෙනවා. ශ්‍රී ලංකාව වරක් ලෝකයේ තුන්වන විශාලතම තේ නිෂ්පාදකයාව සිටියා. 2013 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 340 ක් පමණ නිෂ්පාදනය කළ අතර 2020 වසරේ දී 1997 සිට වාර්තා කළ අඩුම තේ නිෂ්පාදනය සිදුකළ අතර එය කිලෝග්‍රෑම් මිලියන 278 ක් පමණි. 2021 වසරේ තේ කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් සුළු ප්‍රකෘතිමත් වීමක් සිදු වුවත්, ප්‍රධාන වශයෙන් රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපොහොසත් වී සිටිනවා. ශ්‍රී ලංකා තේ කර්මාන්තය තවමත් අගතිය කරා ගමන් කිරීමෙන් මිදී නොමැති අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 පළමු කාර්තුවේ මෙතෙක් වාර්තා වී ඇති තේ නිෂ්පාදනය සහ අපනයනය සම්බන්ධයෙන් අඩු කාර්ය සාධනයක් පෙන්නුම් කරනවා. 2022 ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 63.70 ක් අපනයනය කර ඇති අතර 2021 දී කිලෝග්‍රෑම් මිලියනයක් අපනයනය කර තිබෙනවා. තේ නිෂ්පාදනයේ මෙම පහත වැටීමට පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟයන් මෙන්ම පවතින දේශපාලන අස්ථාවරත්වය ද දැවැන්ත ලෙස බලපානු ලබනවා. එමෙන්ම මේ සඳහා බලපානු ලබන වෙනත් සාධක තියනවා. රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් රුසියාව විසින් කරනු ලබන ආනයනයන්හි විශාල පහත වැටීමක් සිදු වී තිබෙනවා. ඉරානය, අසර්බයිජානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සැලකිය යුතු ලෙස ශ්‍රී ලාංකික තේ ආනයනය වැඩි කර ඇති අතර ලිබියාව, සෞදි අරාබිය සහ ජර්මනිය වැනි අනෙකුත් රටවල් ඔවුන්ගේ ආනයන සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. තේ කර්මාන්තයේ මෙම වසරෙහි නිෂ්පාදනය පිළිබඳ සතුටුදායක පුරෝකථනයක් සිදු කර නොහැකි අතර තේ වගාව සඳහා හිතකර දේශගුණික තත්ත්වයන් දිගටම පවතින්නේනම් අපට බොහෝ දුරට උපරිම කිලෝග්‍රෑම් මිලියන 290 ක ඉලක්කයක් සාක්ෂාත් කරගත හැකියි. එය පෙර වසරේ තේ නිෂ්පාදනය හා සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 10ක පහත වැටීමක්. නමුත් අප රසායනික පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළහොත් වසර අවසන් වන විට තේ නිෂ්පාදනය වැඩිකිරීමට හැකි වනු ඇති.

රට තුළ පවතින අස්ථාවරත්වය සමඟ තේ කිලෝග්‍රෑම් මිලියන 300 ක් නිෂ්පාදනය කළත් එය ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි නමුත් මෙම ප්‍රමාණය ගෝලීය තේ සැපයුම්කරුවෙකු වශයෙන් රට තුළ සිදුකළ යුතු නිෂ්පාදන ධාරිතාව අතින් ගත් කල ප්‍රමාණවත් නෑ. තේ සඳහා ඇති ඉල්ලුම 2% කින් වර්ධනය වනු ඇතැයි ගණනය කර ඇති හෙයින් අපගේ ප්‍රධාන තරගකරුවා වන කෙන්යාව ලෝක වෙළෙඳපළ වාසිය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි. එම වැඩිවූ ඉල්ලුමට විසඳුම් සෙවීමට අපට හැකියාවක් නැහැ. නමුත් කෙන්යාව ලෝක තේ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. මෙය අඛණ්ඩව සිදුවුවහොත් කෙන්යානු තේ කර්මාන්තය ලෝක වෙළෙඳපොළෙහි ඇති එම රික්තය පිරවීමට බොහෝ දුරට ඉඩ ඇත.

තේ ක්ෂේත්‍රයේ බිඳවැටීම ජන ජීවිතයට බලපෑම් කරන ආකාරය කොයිවගේද?

අපේක්ෂිත තේ නිෂ්පාදනයේ අඩුවීම සඳහා මූලිකම හේතුව වූයේ ප්‍රමාණවත් රසායනික පොහොර සහ වෙනත් අවශ්‍ය කෘෂි රසායන හිඟකම යි. එමෙන්ම තේ කර්මාන්තය හරහා සිය ජීවනෝපාය උපයන පවුල් දහස් ගණනකට නිෂ්පාදනයේ පහත වැටීම විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයෙන් 30% ක් පමණ වන කුඩා කොටසක් පමණක් ප්‍රධාන වැවිලි සමාගම් විසින් දායකත්වය සපයන අතර තේ කර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනා කුඩා වතු හිමියන් වෙනවා. කුඩා තේ වතු හිමියන් 500,000 කට අධික සංඛ්‍යාවක් රට තුළ ඇති අතර රටේ තේ නිෂ්පාදනයෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයකට ඔවුන් දායක වෙනවා. තේ කර්මාන්තය හරහා මිලියන 1.5කට ආසන්න පිරිසක් සිය ජීවනෝපාය උපයා ගන්නා අතර, පසුගිය වසරේ තේ කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමෙන් ඔවුන් සෘජුවම පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය, සෞඛ්‍ය ප්‍රතිලාභ සහ තවත් බොහෝ දේ අඩාල වෙලා.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මෙන්ම පොසිල ඉන්ධන සඳහා ඇති විශාල ඉල්ලුම හා දේශගුණික විපර්යාස ක්ෂේත්‍රය මුහුණ දෙනු ලබන අභියෝගයන් හේතුවෙන් කෘෂිකාර්මික අංශය ඉතා දැඩි ලෙස දේශගුණික විපර්යාස නිසා බලපෑමට ලක්වන අතර විශේෂයෙන්ම අප දූපතක් වීම දේශගුණික විපර්යාස වඩාත් තීව්‍ර කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ අවදානම් දර්ශකය දෙගුණයක් වී තියනවා. 2020 වසර මේ සඳහා හොඳම උදාහරණයක් වන අතර අධික වර්ෂාපතනය හා අයහපත් කාලගුණය හේතුවෙන් 1997 සිට අත්විඳින ලද අඩුම තේ අස්වැන්න 2020 දී වාර්තා වුණා. 2000 සිට දේශගුණික විපර්යාස හේතුවෙන් අප රටේ තේ කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු වෙමින් පවතිනවා.

එමෙන්ම තේ වගා කරන්නන් විසින් සිදුකරන තිරසාර නොවන ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ පස ශීඝ්‍රයෙන් හායනයට ලක්ව ඇත. ඉන්දියාව වැනි රටවල තේ වගා භූමිවල පාංශු කාබන් ප්‍රමාණය 3% – 4% අතර ප්‍රමාණයක් ඇතත් ශ්‍රී ලංකාවේ තේ වතුවල පාංශු කාබන් ප්‍රමාණය 1% ට වඩා අඩු ය. අපගේ පස කෙතරම් හායනයට ලක්ව ඇත්ද යන්න මෙමඟින් සනාථ වේ.

වැවිලි ක්ෂේත්‍රය හා සම්බන්ධ මානව සම්පත සංවර්ධනය කිරීමේ ක්‍රමවේද මොනවා ද?

තේ කර්මාන්තයේ දියුණුව සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකය වී ඇත්තේ මානව සම්පතයි. 70% කට වඩා වැඩි ප්‍රමාණයක් තේ වගා කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් වන අතර නිපුණතාව හා දැනුම සමඟ ඔවුන්ව නිසි ලෙස දැනුවත් මඟින් පසෙහි ගුණාත්මකබව ආරක්ෂා කර ගැනීම හරහා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දෙන බොහෝ ගැටලු විසඳීමට හැකියි.

එමෙන්ම අතීතයේ වැවිලිකරුවන් විසින් අනුගමනය කරන ලද විවිධ භාවිතයන් අත්හදා බැලීමට කුඩා වැවිලිකරුවන් දිරිගැන්විය හැකි ය. උදාහරණයක් ලෙස අතීතයේ කුඩා තේ වතුවල කුඹුක්, මී සහ අනෙකුත් ප්‍රයෝජනවත් ශාක බොහෝ වගා කර තිබුණා. එමෙන්ම නයිට්‍රජන්වලින් පොහොසත් වන ග්ලිරිසීඩියා ශාක වැවූ අතර වැසි කාලවල දී පහත ඇති අතු කපා පස පොහොසත් කිරීම සඳහා ඒවා බිම අතුරනු ලැබුවා. එය පාංශු තත්ත්වයේ ගුණාත්මකභාවයට ධනාත්මකව බලපෑවා.

වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනයට ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් සිදුවන කාර්ය භාරය කුමක් ද?

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යනු වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවයට සෘජුව දායකවන ආයතනයක්. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙහි කාර්යභාරයට අනුව වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ මානව සම්පතෙහි ධාරිතාව සංවර්ධනය කිරීම එම ආයතනයෙහි මූලික අරමුණයි. වැවිලි ක්ෂේත්‍රය සඳහා වඩාත් එලදායී ලෙස දායකවීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික වැඩසටහන් සැපයීම සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සෘජුව දායක වී සිටිනවා.

සිදු කළ යුතු මූලිකම දේ වනුයේ කුඩා වතුහිමියන්ව ව්‍යවසායකයන් ලෙස නඟා සිටුවීමයි. තමන්ගේ ඉඩමේ පර්චස් කීපයක හෝ තේ වගා කරන කුඩා පරිමාණ වගාකරුවන්ගේ පවා ව්‍යාපාරික මානසිකත්වය වර්ධනය කිරීම හරහා සාමූහිකව ගත් කල වැවිලි හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය නඟා සිටුවිය හැකියි. කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ කොටස්කරුවන් වීමට අපේක්ෂිත අනාගත වැවිලි පරම්පරාවේ කුසලතා වර්ධනය කිරීමට මෙන්ම විදේශ රටවල සිටින සිසුන්ට ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය පිළිබඳ ඉගෙනීම සඳහා අවශ්‍ය අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනය විසින් උපාධි ගණනාවක් සැලසුම් කරමින් පවතිනවා.

තේ කර්මාන්තය හා ඒ සම්බන්ධ පාර්ශ්වයන්ගේ කුසලතා හා නිපුණතාවන් සංවර්ධනය සඳහා තවමත් ශ්‍රී ලංකාව තුළ හැකියාවක් පවතින අතර ජාතික වැවිලි කළමනාකරණ ආයතනය වැනි ආයතන හෙට දින වැවිලි ක්ෂේත්‍රයේ අනාගතය ගොඩ නැගීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. මේ වසරේ තේ ක්ෂේත්‍රයේ මන්දගාමී බවක් දක්නට තිබුණ ද, වැවිලි තාක්ෂණය හා පර්යේෂණ කටයුතු දියුණු කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති බැවින් අනාගතයේ නිසි වැවිලි අධ්‍යාපනය තුළින් යහපත් වැවිලි ක්ෂේත්‍රයක් ඇති වේ යැයි අපේක්ෂා කරනවා.

සාකච්ඡාව – ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment