ආර්ථික අර්බුදයෙන් ජාතිය ගලවා ගත හැකි නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නව වසර හයටත් අධිපති ලෙස  පත් කරන්න

857

මහ බැංකුවේ විශ්‍රාමික විධායක නිලධාරීහු ජනපතිගෙන් ඉල්ලති

වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ හා සම්පත්දායක පෞරුෂයන් මේ මොහොතේ ජාතියට අවශ්‍ය වන බව ද, එම අභියෝගය භාර ගැනීමට නිර්භීතව තම ආත්ම විශ්වාසය හා දක්ෂතාව ප්‍රදර්ශනය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2022 ජුලි 01 වැනිදා සිට ආරම්භ වන මහ බැංකුවේ නව වසර හයක කාලසීමාව සඳහා නැවත මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලෙස ද මහ බැංකුවේ විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
මුදල් නීති පනතට අනුව මහ බැංකු අධිපති ධුරයේ එක් වාරයක් වසර හයකට සමාන වේ. වත්මන් වසර හයක නිල කාලය අවසන් වන්නේ 2022 ජුනි 30 වන දිනටය. ආචාර්ය වීරසිංහ මහතා අධිපති තනතුරට පත් කරනු ලැබුවේ හිටපු මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉතිරි කාලය සඳහා 2022 අප්‍රේල් 07 වැනිදාය. මේ අනුව 2022 ජුලි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ වන මහ බැංකුවේ නව වසර හයක කාලසීමාව සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට නැවත පත් කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද එම සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් වේ.

එම සංගමයේ සභාපති ඒ.එම්.ආර්.කේ. අත්තනායක සහ ලේකම් පී.ඒ. විජේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් දැරීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට ඉදිරි දැක්මක් ඇතිව ගත් තීරණයට ප්‍රථමයෙන් ඔබට අපගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමු. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් කාර්ය මණ්ඩලය විසින් මෙන්ම වෘත්තිකයන්, බැංකුකරුවන්, මූල්‍ය වෙළෙඳපොළවල ක්‍රියාකාරීන්, විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව බොහෝ දුරට පිළිගනු ලැබූහ. ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනකාරී අභියෝග සහිත මේ අර්බුදය වෘත්තීයමය නිපුණතාවෙන් හසුරුවමින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ජාතිය ගලවා ගැනීමට ඔහුට හැකි බවට සාමාන්‍ය ජනතාව තුළ ද විශ්වාසයක් ඇතිව තිබේ.

අපි මේ ලිපිය ලියන්නේ මහ බැංකු විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ සංගමයේ සියලුම සාමාජිකයන් වෙනුවෙනි. අප සංගමය දේශපාලන නොවන සංවිධානයක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම කාණ්ඩවල විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර මහ බැංකු අධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අතිරේක දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ විධායකය, අනෙකුත් විධායක ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් අප සංගමය සමන්විත වේ.

අප මෙය ඔබට ලියන්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඔබතුමාගේ කැමැත්තෙන් තොරව ඉවත් කිරීමට උත්සාහ දරන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමටයි. ඔබ සහ මුළු ජාතියම ව්‍යසනකාරී තත්ත්වයකට පත් කරන මෙවැනි ප්‍රයත්නයන් වැළැක්වීමට ජනාධිපතිවරයා ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටින අතර තත්ත්වය බරපතළ බැවින් මෙය අත්හදා බැලීම් කිරීමට කාලයක් නොවේ. ජාතියම අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ බියකින් පෙළෙන බහුවිධ අංශයන්ගෙන් පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේම නාමයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු.

  1. අද අප මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම පාහේ පදනම් වී ඇති මුල්ම ප්‍රමුඛතාව ලෙස ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ හා සම්පත්දායක පෞරුෂයන් මේ මොහොතේ ජාතියට අවශ්‍ය වේ. අර්බුදයේ විශාලත්වය සහ සංකීර්ණත්වය සහ ඒවා ආශ්‍රිතව ඇති විය හැකි ව්‍යසනකාරී ගැටලු කෙතරම් බරපතළද යත්, එම තත්ත්වය පාලනය කර ප්‍රතිඵල ලබාදීමට තරම් ආත්ම ශක්තියක් නැති කිසිවකු ඉතා ඉහළ අවදානමක් යටතේ වගකීම භාර ගැනීමට එඩිතර නොවනු ඇත. තත්ත්වය හසුරුවා ගැනීමටත් අපේක්ෂිත ප්‍රතිඵල ජාතියට ලබාදීමටත් ඔහු අපොහොසත් වුවහොත් ඔහුට සිදු විය හැකිවන්නේ ආපසු හැරවිය නොහැකි හානියකි. එම අභියෝගය භාර ගැනීමට තරම් නිර්භීතව ආචාර්ය වීරසිංහ තම ආත්ම විශ්වාසය හා දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය. පුරවැසියන් ලෙස අපි ඔහුව අගය කළ යුතු අතර ඔහුට කෘතඥ විය යුතුය.
  2. සාර්ව ආර්ථික කළමනාකරණයේ සියලුම ප්‍රධාන ක්ෂේත්‍ර හැසිරවීමට දීර්ඝ කාලීන ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇති දැනට සිටින ඉහළම දක්ෂ මහ බැංකුකරු ආචාර්ය වීරසිංහ මහතා වේ.
  3. ආචාර්ය වීරසිංහ මහතා නව අධිපති ලෙස රාජකාරි ආරම්භ කළ විගසම තත්ත්වය පාලනය කිරීමට දැඩි පියවර ගත් අතර ඉතා ඉහළ මට්ටමේ වෘත්තීයභාවයද ප්‍රදර්ශනය කළේය. එසේම ආරම්භයේදීම වත්මන් මහ බැංකු කාර්ය මණ්ඩලයේ කොන්දේසි විරහිත සහයෝගය තහවුරු කිරීමට ඔහුට හැකි විය. අර්බුදය ජයගැනීමේ අභියෝගයට මුහුණදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඔහු විසින් මෙහෙයවනු ලබන මහ බැංකුවේ කණ්ඩායමට හැකියාව ඇති බවට ඔවුන් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකිව ඇත. අපේක්ෂිත ප්‍රතිඵල ලබාදීම සඳහා ආචාර්ය වීරසිංහගේ නිපුණතාව ගැන වෙළෙඳපොළවල්, බැංකුකරුවන්, වෘත්තීයවේදීන් සහ ජාත්‍යන්තර සංවිධාන තම විශ්වාසය පළ කර ඇත. අපේ ජාතිය ගත කරන තීරණාත්මක කාලපරිච්ඡේදයේදී කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය. විශ්වසනීයත්වය යනු මේ මොහොතේ අවශ්‍යම දෙයක් වන අතර ඔහු එයත් ජයග්‍රහණය කර ඇත.
  4. මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන යන ගෞරවණීය සහ ක්‍රියාකාරී ආර්ථික විද්‍යාඥයින් ද ආචාර්ය වීරසිංහගේ ක්‍රියාකලාපය පැසසුමට ලක් කර ඇත. අපේක්ෂිත ප්‍රතිඵල ජාතියට ලබාදීමට වත්මන් මහ බැංකු අධිපතිගේ දක්ෂතාව සහ කැපවීම පිළිබඳව ඔවුන් විශ්වාසය පළ කර ඇත.
  5. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස අපගේ අත්දැකීමෙන් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලයේ මනා දැනුමක් සහ පරිචයක් නොමැතිව මහ බැංකු අධිපති ලෙස පත්කළ පුද්ගලයන් නිසා මහ බැංකුකරණය අසාර්ථක වූ අතර මෙම කීර්තිමත් ආයතනයේ ප්‍රතිරූපයට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු වූ බවයි.
  6. ඉහත සඳහන් කළ කරුණු අනුව මේ තීරණාත්මක මොහොතේ අපි ආචාර්ය වීරසිංහට ස්වාධීන වෘත්තිකයකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි ඇති විශ්වාසය යළි ස්ථාපිත කිරීමට ඇති හැකියාව සහ කැපවීම ගැන උපරිම විශ්වාසය තබමු.

මේ තත්ත්වයන් තේරුම් ගෙන ඒ අනුව ඥානාන්විත ලෙස කටයුතු කිරීමට ඔබට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment