ආර්ථික අර්බුදයෙන් මිදීමට රට පළමුව සිතා කටයුතු කරමු

266

ගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල හමුවෙන් පසු මහ බැංකුව තීරණය කළේ දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව එලෙසම පවත්වාගෙන යෑමටයි. දේශීය හා ගෝලීය ආර්ථිකයේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බැලීමෙන් අනතුරුව මේ තීරණය ගත් බව මහ බැංකුව පවසයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති

රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 ඉලක්කගත මට්ටම දක්වා මෙහෙයවීම සඳහා උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂා වර්ධනය කිරීමට තවදුරටත් සහාය වෙමින් ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩනයන් පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇත. මෙසේ පොලී අනුපාත එලෙස පවත්වාගෙන ගියත් කලින් අපේක්ෂා කළ පරිදිම උද්ධමනය උපරිම මට්ටම්වලට වැඩි වීමෙන් පසුව ඔක්තෝබර් මස උද්ධමනය අඩු වීමට පටන් ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් පසුගිය නොවැම්බර් 24 දින නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘සමස්ත මුදල් වෙළෙඳපොළ තත්ත්වයන්හි මෑතකාලීන වර්ධනයන් හමුවේ වුව ද වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් තැන්පතු පොලී අනුපාතික සහ කෙටිකාලීන ණය පොලී අනුපාතික අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එමගින් ව්‍යාපාරික හා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි වන අහිතකර බලපෑම් පිළිබඳව මුදල් මණ්ඩලය දැඩි ලෙස අවධානය යොමු කරන ලදි. පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට අනුකූලව ඉතා ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලියට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාතික සුදුසු පරිදි පහළ යෑමක් සිදු නොවන්නේ නම්, වෙළඳපොළ පොලී අනුපාතික අනිසි ලෙස ඉහළ යෑම වැළැක්වීම සඳහා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට සිදුවනු ඇත.’

මේ තොරතුරු මහ බැංකුව විසින් නොවැම්බර් 24 දින මාධ්‍ය හමුවක් පවත්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මේ අනුව ඉදිරි කාලයේ දී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් වෙමින් පොලී අනුපාතික ක්‍රමයෙන් අඩුවනු ඇතැයි සිතිය හැකිය. මේ ගැන සලකා බලමින් බැංකු ස්ථාවර තැන්පතු ගිණුම්වල මුදල් තැන්පත් කිරීම ඇතුළු සිය මුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීමට මුදල් තැන්පත්කරුවන්ට සහ වෙනත් ආයෝජකයන්ට පුළුවන.

● රජයට නිසි සැලසුමක් නොමැතිවීම

ගිය සතියේ පැවති මෙම මහ බැංකු මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ අදහස්වලට පුළුල් මාධ්‍ය අවධානයක් යොමුව තිබිණි. විශේෂයෙන් ඔහුගේ වැටුප ගැන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔහුට විශ්‍රාම වැටුපක් ලැබීම ගැන වූ පුළුල් ප්‍රචාරයන් සම්බන්ධයෙන් මේ ලියුම්කරු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එහි සත්‍ය තත්ත්වය ප්‍රකාශ කරන ලදි. මේ ගැන ඇතැම් මහජන නියෝජිතයන් පවා ප්‍රසිද්ධියේ පච ප්‍රචාරය කර තිබිණි. ඔවුන් ඒවා හිතාමතා දේශපාලන න්‍යායපත්‍ර අනුව කරනවා ද නොඑසේ නම් කව්රුන් හෝ ලබාදෙන වැරදි තොරතුරු සත්‍ය බව සිතා කරනවා ද යන්න අප හරිහැටි දන්නේ නැත. කෙසේ වෙතත් මහජනයාට මේ සම්බන්ධයෙන් යම් කුකුසක් ඇතිව තිබුණා නම් ඒ සියල්ලට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ පිළිතුර ප්‍රමාණවත් වන්නට ඇත. ඇත්ත වශයෙන්ම අවශ්‍ය කරන්නේ මේ වෙලාවේ රට සහ වැටී ඇති ආර්ථිකය යම් මට්ටමකට ඔසවා තැබීමේ ක්‍රියාවලියට සහාය ලබා දීමයි. එහිදී එම ක්‍රියාවලියේ මෙන්ම පොදුවේ රජයේ සහ මහ බැංකුවේ වැරදි සහ අඩුපාඩු පෙන්වා දීම වෙනම දෙයකි. මේ අනුව අප මීට පෙර ද කියා සිටි පරිදි මේ උග්‍ර විනිමය අර්බුදය හමුවේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති කරුණු රජය විසින් ක්‍රියාත්මක කරනවා හැරෙන්නට, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජයට වෙනම පුළුල් වැඩපිළිවෙළක් සහ සැලසුම් තිබෙන බවක් නම් අපට පෙනෙන්නට නැත. එය බලවත් අඩුපාඩුවකි. අනිත් ආර්ථික සැලසුම් මෙන්ම විශේෂයෙන්ම විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ( උදා – සංචාරක ප්‍රවර්ධන සැලසුම් සහ අපනයන වර්ධනය කිරීම ගැන සැලසුම්) හෝ අපට වෙනම සැලසුම් තිබිය යුතු වේ. එය අයිඑම්එෆ් එක සමග කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ද සහයක් වනු ඇත. මෙතෙක් අප ගිය මාර්ගය වැරදි නිසා අපට පසුගිය කාලයේ විඳීමට සිදු වූ දුක් ගැහැට අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. ඒ නිසා අප ආර්ථිමය වශයෙන් බලවත් විපතකට වැටුණු බව නම් අපට පැහැදිලිය. දැනට අප රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳී නැති වුවත් (ඒ සඳහා වසර තුනක්වත් අවශ්‍ය වනු ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි.) මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවරත්වයක් රටේ ඇතිකරගෙන ඇති බව අපි අත්දකිමින් සිටිමු. ඒ අනුව දැන් අවශ්‍ය කරන්නේ රට මෙතැන් සිට අයිඑම්එෆ් වැඩසටහනට ඇතුළත් වීම වේගවත් කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමයි. ඒ නිසා මේ බලවත් ආර්ථික අර්බුදයෙන් මිදීමට රට පළමුව සිතා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. නැතහොත් වනු ඇත්තේ අප සියලු දෙනා, විශේෂයෙන්ම සාමාන්‍ය මහජනයා පීඩාවට පත්වීම සහ ඔවුන් දුක් විඳින කාලය තවත් දීර්ඝ වීමයි.

● ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයකු හමුවට යෑම හා සමාන බවත් ඒ නිසා එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවත් හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා ඇත. පෙරේදා (29) කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පවසා ඇත. ලෙඩේ උත්සන්න වී ඇති නිසා තිත්ත බෙහෙත් බීමට සිදුවෙන බවත් එය වෙදාගේ වරදක් නොවන බවත් අප මීට පෙරද සඳහන් කර ඇත. එම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු එහිදී සඳහන් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සහනාධාර වැඩපිළිවෙළවල් ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට එක් හේතුවක් වූ බව සහ මෙම සහනාධාර වැඩපිළිවෙළ සඳහා අධික මුදලක් වැයකිරීම හේතුවෙන් අයවැය හිඟය තව තවත් ඉහළ නැංවුණු බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දී තිබිණි. අපත් සිතන්නේ රජයේ සහනාධාර වැඩසටහන් නිසි ලෙස ඉලක්ක කිරීමක් නොවීම සහ දේශපාලනීකරණය වීම මත විශාල මහජන මුදල් නාස්තියක් වූ බවයි. ඒ නිසා අප කියා සිටින්නේ අදාළ සහන ලැබිය යුතු සුදුස්සන්ටම ලැබෙන බවට සහතික කර ගැනීම මෙවැනි මොහොතක තවත් ඉතාමත් වැදගත් වේ.

පවතින ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහය ලබා දෙන බවට මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සඳහන් කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන් අවධානයෙන් පසුවන බව ද අමෙරිකානු තානාපතිනිය මෙහිදී ඇමැතිවරයාට පවසා ඇත. මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමග පැවැති හමුවක දී චන්ග් මහත්මිය මේ බව සඳහන් කළ බව මුදල් අමාත්‍යංශයේ නිවේදනයක සඳහන්ව තිබිණි. මෙම හමුව ඇමෙරිකානු තානාපතිනිගේ නිල නිවසේ දී පැවැත්විණි. අපට දැනගන්නට ඇති පරිදි වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය සහ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් අක්‍රමිකතාවලින් තොරව තාක්ෂණය උපයෝගි කරගෙන පුළුල් කීරීම පිළිබඳව මෙහි දී තානාපතිවරිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඇත්තවශයෙන්ම දැන් අප බලා සිටින්නේ අපගේ මූල්‍ය පහසුකමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබී අපට එම අරමුදලේ ණය වාරික ලැබීම ආරම්භ වෙනතෙක්ය. අනෙකුත් විදේශීය සහාය ලැබෙනු ඇත්තේ ද ඒ මතය. එම අනුමැතිය දෙසැම්බර් මස ලබාගත නොහැකි වුවහොත් 2023 වසරේ ජනවාරි තෙක් එය කල් ඇදී යනු ඇත. ඒ දක්වා විදේශ විනිමය අර්බුදය හමුවේ ගත කිරීමට සිදුවන කාලය නම් ඉතා දුෂ්කර එකකි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අපේ කැමැත්තට පමණක් වෙන දෙයක් නෙවෙයි

ආර්ථික අර්බුදයෙන් මිදීමට රට පළමුව සිතා කටයුතු කරමු

ආචාර්ය නන්දලාල් වීරසිංහ – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණය යම් කිසි ක්‍රියාවලියක්. ඒක පළමු වතාවට තමයි අපි කරන්නේ. අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට ආවේ සැප්තැම්බර් මාසේදි . එතකොට ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක ඇතුළත දී සියලුම විශේෂයෙන් ද්විපාර්ශ්වික ණය ලබාගන්න ඉන්දියාව, චීනය සහ ජපානය වගේ පැරිස් සමාජය සමග සාකච්ඡා කරලා යම් කිසි ආකාරයකට අපි කියන්නේ මූල්‍ය ආරක්ෂණය ලබා ගන්න පුළුවන් වෙයි කියන අපේ යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් තිබුණ. ඒ මත තමයි දෙසැම්බර් වන විට අයිඑම්එෆ් එකට යන්න පුළුවන් වෙයි කියල හිතුවේ ඒ සාකච්ඡාවට. නමුත් දැනට කරගෙන යන ක්‍රියාවලිය විශේෂයෙන්ම අපි පළමුවෙනි වතාවට මේ වැඩේ කරන්නේ. එතකොට අපිත් මේක කරන ආකාරය ගැන කිසියම් අධ්‍යනයක්, දැනීමක් ගන්න ගමන් අපේ උපදේශකයන් සහ අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරගෙන යනවිට ඒ වෙනුවෙන්ම යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් තියෙන්නේ. එතනදී මේක අපේ කැමැත්තට විතරක් නෙවෙයි ණය දීපු කෙනාත් එකඟ වෙන්න ඕන. අපිට පෙන්වන්න ඕන යම් කිසි ආකාරයකට අපිත් මේ සඳහා විශේෂයෙන් ලොකු උනන්දුවක් තියෙනවා, මේක තමයි අපේ දායකත්වය, ඒ අනුව ඔයාලගේ සහාය දෙන්න කියල. මේ වන විට එම ක්‍රියාවලියේ ලොකු ප්‍රගතියක් තියෙනවා. අපිට ඒ බව පැහැදිලිව කියන්න පුළුවන්. ඒ අනුව තාමත් අපට යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් තිබුණත් දෙසැම්බර් මාසේ පුළුවන් වෙයි කියල ඒක අර මම කියපු විදියට යම්කිසි ආකාරයකට ටයිට් ටාගට් එකක් වෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් මීළඟ සති කිහිපය ඇතුළත අපට පුළුවන් වුණොත් විශේෂයෙන්ම සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කැමැත්ත ලබාගන්න, ඊළඟ ජනවාරි මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීමක දී අපට මෙය පුළුවන් වෙයි කියල දැන් බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේ රඳා පවතින්නේ අපි සහ අපිත් සමග සාකච්ඡා කරන ද්විපාර්ශ්වීය පාර්ශ්වල එකඟතාව මතයි. ඒ නිසා තමයි යම් කිසි ආකාරයක ප්‍රමාදයක් වෙලා තියන්නේ. මම හිතන්නේ අප කරන සාකච්ඡාවල ප්‍රගතිය අනුව අපි බලාපොරොත්තු වනවා මේක හැකි ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි කියල.

දේශීය කර්මාන්තකරුවන්ගේ අමුද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුම් දෙන්න

ආර්ථික අර්බුදයෙන් මිදීමට රට පළමුව සිතා කටයුතු කරමු

ධම්මික සමරවික්‍රම

කර්මාන්ත අමාත්‍යාංශයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික අංශයේ උපදේශක කමිටු සභාපති සහ කොළඹ විදුලි උපකරණ වෙළෙඳ සංගමයේ සභාපති

විනිමය අර්බුදය හමුවේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලියට ගොඩක් ප්‍රශ්න ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න අපහසුවක් තියෙනවා. අපනයන කරන කර්මාන්තකරුවන්ට බොහෝ දුරට මේ ප්‍රශ්නය නැහැ. මේ නිසා DA ක්‍රමයට මෙන්ම DP ක්‍රමයට අපට අමුද්‍රව්‍ය ගේන්න අවස්ථාව දෙන්න කියල අපි ඉල්ලනවා. එතකොට ණයට ගෙනත් යම් දින ගණනකින් පසුව අපට ගෙවීම් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය ගන්න පුළුවන්. මෙහෙම අවස්ථාවක් දුන්නොත් අපට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වෙලාවේ බේරා ගන්න පුළුවන්. මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය අදාළ සිද්ධියෙන් සිද්ධිය බලල සුදුසු ඒවා නිර්දේශ කරලා එසේ නිර්දේශ කරන ඒවාට බැංකු මගින් ගෙවීම් ක්‍රමවේදය සලසා දෙනවා නම් ලොකු පහසුවක් වෙනවා. මේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත DA ක්‍රමයට මෙන්ම
DP ක්‍රමයට ගෙවීම් කිරීමට මහ බැංකුව විසින් මාර්ගෝපදේශයක් දුන්නොත් එය ලොකු සහනයක් කුඩා කර්මාන්තකරුවන්ට. මේ ගැන අවධානය යොමු කරන ලෙස අපි රජයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment