ආර්ථික අර්බුදයෙන් මිදීම – ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ

642

ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර තත්ත්වයට ගෙන ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගැඹුරු ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තීරණාත්මක බව පසුගියදා ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් විය. ‘South Asia Economic Focus, Coping with Shocks :Migrati|n and the Road to Resilience’ මැයෙන් ඉකුත් ඔක්තෝබර් 6 දින නිකුත් කළ ලෝක බැංකු වාර්තාවේ මේ බව සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමින් දැනට අප වෙත එකඟ වී ඇති මූල්‍ය පහසුකම ලබා ගැනීමට නම් මේ කියන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඇතැම් අය මේ ආයතන යකෙක් රකුසෙක් ලෙස දැක්කත් අප මුහුණ දී සිටින බලවත් ආර්ථික අගාධයට වැඩි වශයෙන් වගකිව යුත්තේ මේ ආයතන නොව අපමය. කොරෝනා වසංගතය ද මේ සඳහා සැලකිය යුතු බලපෑමක් කළ බව අපි පිළිගනිමු. එහෙත් මේ ආර්ථික ව්‍යසනයට දිගුකාලීන හේතු මෙන්ම ආසන්න හේතු ඇති බව අප දැනටමත් පසුගිය ලිපි මගින් පෙන්වා දී ඇත. අද අපට මේ ආයතනවල සහ විදේශ රටවල පිහිට පැතීමට සිදුව ඇත්තේ ද අපගේ ආර්ථික කළමනාකරණයේ ඇති බලවත් අඩුපාඩු නිසා බව ද කිව යුතුය. විදේශ ණය ගෙවිය යුතු වන්නේ විදේශ විනිමයෙන්මය. එහෙත් අප විසින් අපගේ විදේශ ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමෙන් තොරව ඇති තරම් විදේශ රටවලට ණය වී ඒවා ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. රජය විසින් මහ බැංකුවේ ද නිර්දේශ අනුව තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීමට පසුගිය අප්‍රේල් 12 දින පියවර ගත්තේ මේ අනුවය. එසේ නම් දැන් අපට ලෝක බැංකුව මේ කියන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමට සිදු වේ.

අපගේම වරදින් අපගේ ලෙඩේ බොහෝ අමාරු තත්ත්වයට පත්ව ඇති නිසා තිත්ත බේත් බීමට සිදුවන බව අප මීට පෙරද සඳහන් කර ඇත. බෙහෙත් තිත්ත වුවත් එයට වෙද මහත්තයාට දොස් කියා පලක් නැත. මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දොස් කීමත් හරියට බෙහෙත් තිත්ත නිසා වෙද මහත්තයාට දොස් කීම වැනි දෙයකි. රෝග ලක්ෂණ කෙතරම් කලින් මතු වුවත් අපගේ ලෙඩේ නොසැලකිල්ලෙන් අප විසින්ම හොඳටම උත්සන්න වනතුරු සිටි නිසා එය සුවපත් කර ගැනීම ද පහසු නැත.

මේ අනුව ඇතැම් අය මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට දොස් කියනු පෙනේ. එහෙත් අප මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු තත්ත්වයට ආර්ථිකය පත්කර ගත්තේ අප විසින්මය. ඔවුන් අපට බලෙන් පැමිණ සහය දෙන්නේ නැත. ඒ සඳහා සාමාජික රටකින් නිල ඉල්ලීමක් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් විය යුතු වේ. දැන් අප කැමති වුවත් නැතත් මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඒ ගමන් මගේ ගමන් කරමින් සිටිමු.

දැන් මේ ක්‍රියාවලිය අප විසින් ආරම්භ කර ඇති අතර ඒ අනුව එහි ආර්ථික බලපෑම් (විපාකවලට) ජනයාට මුහුණ දීමට සිදුව ඇත. බදු වැඩි කිරීම් මෙන්ම ඒ අනුව සිදුවන බඩු මිල වැඩිවීම් ද මේ අනුව සිදු වන්නකි. ඉදිරි කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන අතරම බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ ද සිදු කිරීමට අපට තවදුරටත් සිදුවනු ඇත. ඒ අනුව ඒවායේ පීඩාකාරී බලපෑම්වලට මුහුණ දීමට අපට සිදුවෙනු ඇති අතර වඩාත්ම බලපෑමට ලක්වෙනු ඇත්තේ දුප්පත් සහ අඩු ආදායම්ලාභී ජනකොටස්ය. ඒ නිසා අදාළ කිසිවෙක් අත්නොහැරෙන පරිදි සමාජ ආරක්ෂණ වැඩසටහන් ද දියත් කිරීමෙන් එම අහිතකර බලපෑම්වල පීඩාවන් සැලකිය යුතු දුරකට සමනය කරගත හැකි වනු ඇත.

අප තවමත් මේ ආර්ථික අගාධයේ පතුල දැක තිබේ ද යන්න නොදනිමු. පසුගිය කාලයේ තෙල් පෝලිම්, ඒ නිසාම මුහුණ දුන් දැඩි ප්‍රවාහන දුෂ්කරතා සහ ගෑස් පෝලිම් වැනි දේවල් ඇතුළු අහිතකර තත්ත්වයන් මේ වන විට නැති නිසා දැනට නම් ජනයාගේ සාමාන්‍ය ජනජීවිතය ගෙන යෑමට හැකිව තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ නම් සඳහන් වන්නේ කොවිඩ් 19 වසංගතයෙන් ඇතිවූ අයහපත් බලපෑමට අමතරව තිරසාර නොවන ලෙස ණය බර ඉහළ යාම සහ ගෙවුම් ශේෂයේ පැවැති බරපතළ අසමතුලිතතාවන් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථීකයේ ගැඹුරු ප්‍රතිසංශෝධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම ආර්ථීකය ස්ථාවර තත්ත්වයට ගෙන ඒම සඳහා අතිශයින් වැදගත් වන බව ලෝක බැංකුව විසින් වසරකට දෙවතාවක් නිකුත් කරන මෙම වාර්තාවේ සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව නංවාගැනීමේ වැදගත්කම ද මෙහි අවධාරණය කර තිබේ.

මෙම නවතම ලෝක බැංකු වාර්තාවට අනුව මෙම වසරේ (2022) දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයේ සාමාන්‍යය 5.8්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙය ජූනි මාසයේදී සිදුකරන ලද පූරෝකථනයට වඩා 1්‍ර පහළ යාමකි. මෙය 2021 වසරේදී බොහොමයක් රටවල් වසංගත තත්ත්වයෙන් ඇතිවූ පසුබෑමෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේ ඇති වූ 7.8්‍ර ක වර්ධනයට සාපේක්ෂව අඩු අගයක් වේ. ආර්ථික පීඩනය සියලුම දකුණු ආසියානු රටවලට බලපෑමක් ඇතිකරමින් පවතින අතර සමහර රටවල් අනෙකුත් රටවල්වලට වඩා හොඳින් මෙම තත්ත්වය කළමනාකරණය කරගනිමින් සිටියි. කලාපයේ විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ අපනයන සහ සේවා අංශ ලෝකයේ සාමාන්‍යයට වඩා ශක්තිමත් අන්දමින් යථා තත්ත්වයට පත්වී ඇති අතර විදේශ සම්පත් ප්‍රමාණාත්මකව පැවතීම බාහිර කම්පනයන්ට මුහුණ දීමට උපකාර වී ඇත. සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වීම මාලදිවයිනේ සහ යම් මට්ටමකට නේපාලයේ ද ආර්ථික වර්ධනයට හේතු වූ බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

‘කොවිඩ් 19 මගින් ඇති කරනු ලැබූ බලපෑම සහ යුක්රේනයේ පවත්නා යුද්ධය නිසා භාණ්ඩවල මිල ගණන් වාර්තාගත අන්දමින් ඉහළ යෑම ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති කළ අතර මෙම තත්ත්වය ණය මගින් ඇතිවී තිබෙන පීඩනය වැඩි කිරීමටත් විදේශ විනිමය සම්පත් අඩු කිරීමටත් හේතු විය. මෙතෙක් කල් වාර්තා වූ දරුණුතම ආර්ථීක අර්බුදයට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේදී දී 9.2% ප්‍රතිශතයකින් සහ 2023 දී 4.2%ප්‍රතිශතයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.’

මේ අනුව අප මුලින් සිතුවාට වඩා අපගේ ආර්ථික පසුබෑම උග්‍ර තත්ත්වයට පත්වෙනු ඇති බව ලෝක බැංකු පුරෝකථන අනුව පැහැදිලි වේ. මේ වාර්තාව සමගම නිකුත් කරන ලද Sri Lanka Development Update October 2022 Edition මගින් ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතාවයට සහ අවදානමට ලක්විය හැකි ජනගහනයට ඇතිවී තිබෙන බලපෑම සහ මෙම අවස්ථාවේ සමාජ ආරක්ෂණයේ වැදගත්කම අවධාරණය කර ඇත. අප ද මීට පෙර සඳහන් කළේ අයිඑම්එෆ් ගමන්මගේ යාමේ දී දිළිඳු සහ අඩු ආදායම්ලාභීන් බොහෝ පීඩාවට පත්වනු ඇති බවයි. ඒ අනුව සමාජ ආරක්ෂණයේ අවශ්‍යතාව ද ලෝක බැංකුව මෙසේ අවධාරණය කරයි.

‘ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට කඩිනම් ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදුකරනු ලබන මෙම අවස්ථාවේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම අන්ත දිළිඳු සහ දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීමට ඉතා කඩිනම් විසඳුම් ලබා දීම අවශ්‍ය බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වෝස් මහතා විසින් පැවසීය. “ආර්ථීක අර්බුදය හමුවේ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය මිලියන 2.7 කින් වැඩි වූ අතර 2021 වසරේ දී 13.1% වූ දරිද්‍රතාවය 2022 වසරේ සියයට 25.6% දක්වා දෙගුණයකින් වැඩිවන බවට ඇස්තමේන්තු කර තිබේ.

අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට සහ ජනතාවට ඒ සඳහා මුහුණ දීමේ දිගුකාලීන හැකියාව වර්ධනය කිරීම සඳහා කර්මාන්ත හා සේවාවල රැකියා අවස්ථා පුළුල් කරමින් මූර්ත ආදායම නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට සහ අවදානමට ලක්වූවන්ට සහය වීමට සම්බන්ධීකරණ කරන ලද ප්‍රවේශයක අවශ්‍යතාවය හඩාඩ්-සර්වෝස් මහතා තවදුරටත් අවධාරණය කරයි.’

මේ සියලුම කරුණු අනුව ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ එනම් ඉතාම සරලව කියන්නේ නම් ආර්ථිකයේ බලවත් වෙනස්කම් සිදු කර ගැනීමට අපට අනිවාර්යෙන්ම සිදුවේ. එහෙත් මෙහිදී මහජනයාගෙන් බදු අය කරගෙන රජය කටයුතු කරන ආකාරය හරි ද? මේ නිසා රාජ්‍ය ආදායම් වැඩි කරගන්නා අතරම රජයේ වියදම් තවදුරටත් අඩු කිරීමට පියවර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. එසේම කරන වියදම් ද අත්‍යවශ්‍ය මෙන්ම මහජනයාට වඩාත් වැදගත් වන තීරණාත්මක ක්ෂේත්‍ර සඳහා වැය කිරීමට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වේ. යෝජිත බදු ඉහළ නැංවීමත් සමගම ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම සහ රජයේ වියදම් පිළිබඳ ඉහළ විනයක් අවශ්‍ය බව ලංකා වාණිජ මණ්ඩලය රජයට කියන්නේ ද මේ නිසාය. ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සඳහා විසඳුම් ලබා දීම සහ පොදුවේ ආර්ථිකයේ මෙන්ම විශේෂයෙන්ම ආර්ථිකයේ විදේශ අංශයේ, බාහිර බලපෑම්වලට සහ අනාගත බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට හා තවත් වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. එසේම අනාගත ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිසි ශක්තිමත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ද අවශ්‍ය වේ.

● ෆිච් රේටින්ග්ස් වාර්තාව

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ දීර්ඝ කාලයක් පැවතියහොත් පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම, බලශක්ති උත්පාදනය සහ නිවාස ගොඩනැගීම යන අංශ වඩාත්ම බලපෑමට ලක් වනු ඇති බව ත්‍සඑජය ඍ්එසබටි ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. ඉල්ලුමට සහ ලාභයට බලපාන සැලකිය යුතු පිරිවැය උද්ධමනය, මෙහෙයුම් කටයුතුවලට බාධා කරන ආනයන සීමා කිරීම් සහ ඉහළ පොලී අනුපාත ඉදිරි මාස 12-18 තුළ දේශීය සමාගම් මුහුණ දෙන ප්‍රධාන අවදානම් වනු ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

● 2023 – අයවැය

සාමාන්‍යයෙන් සෑම වසරකම නොවැම්බර් මාසයේ එළඹෙන වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලබයි. එය හඳුන්වන්නේ අයවැය දෙවන වර කියවීම ලෙසයි. ඊට පෙර විවිධ අමාත්‍යාංශ සඳහා වියදම් වෙන් කර ඇති ආකාරය දක්වමින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පෙරේදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. මෙය හැඳින්වෙන්නේ අයවැය පළමුවර කියවීම ලෙසය. ලබන වසරට අයවැය යෝජනා ඇතුළත් අයවැය කතාව නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

● වාණිජ සමුළුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළෙඳපොළක් සඳහා ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාදීමට කටයුතු යොදා තිබේ. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළෙඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පවසයි.

“දැන් දිනෙන් දින රට ඉදිරියට යනවා. සංචාරක මාර්ගෝපදේශ ඉවත් කර තිබෙනවා වගේම රටේ ඉන්ධනත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආශ්චර්යයන් අත්විඳීමට නැවත සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට අපට කාලය උදාවෙලා තියෙනවා.”

මෙම සමුළුව ශ්‍රී ලංකන් ජාලය පුරා සිටින සංචාරක වෙළඳ නියෝජිතයන් ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ලෙස පිරිනමන සේවාව කෙරෙහි අවධානය යොමු කිරීමක් මෙන්ම ඔවුනොවුන් අතර ඇති සහෝදරත්වය වර්ධනය කිරීමක් වනු ඇති බවත් මේ සඳහා පැමිණෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරක අභිලාෂයන්, ගුවන් සමාගමේ වාණිජ දැක්ම පිළිබඳව දැනුවත් කෙරෙන අතර, ඕනෑම වර්ගයක සංචාරකයකුට සත්කාරකත්වය සැපයීමට දිවයිනේ සූදානම සහතික කිරීම සඳහා අත්දැකීම් ලබා දෙනු ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ජාතික ගුවන් සේවය රට මුහුණ දෙන මෑත කාලීන අභියෝග හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා ලබාදෙන සහාය අගය කළ යුතු අතර ආර්ථික අර්බුදය ජය ගැනීමේදී සංචාරක කර්මාන්තයේ විභවතාව ගැන රජය මීට වඩා අවධානය යොමු කර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment