ආර්ථික අර්බුදය උග්‍ර වී ආදිවාසී දරුවන්ගේ බඩගෙඩි ලබුගෙඩි වෙලා!

255

බොන්න වතුරත් නෑ – කුලී වැඩත් නෑ අපට ජීවත් වෙන්න
හොඳටම අමාරුයි උදව් කරන්න
– ඌරුවරිගයේ වන්නිලඇත්තෝ ජනතාවගෙන් ඉල්ලයි

“අද මගේ ගෙදරට ආවා මහඔය පොල්ලේ බැද්ද ආදිවාසී ගම්මානයේ පිරිසක්. ඒ අය කියන්නේ ඒ අයට ජීවත් වෙන්න මේ වෙලාවේ හොඳටම අමාරුයි. ඒ පවුල්වල දරුවන්ගේ බඩවල් ලබු ගෙඩි වගේ එල්ලෙනවා, ඇඟ කෙට්ටු වෙච්ච දරුවෝ ගොඩක් ඉන්නවා. ඇයි කියලා දන්නේ නෑ. හැබැයි දැන් ඒ දරුවන්ට “මන්දපෝෂණය“ කියලා කියන ලෙඩේ හැදිලා ඇති කියලා විශ්වාස කරනවා කියලා ඒ අය කියනවා. ඒ ගම්වල බීමට ජලය පවා මුදලට ගන්න වෙලා. ස්ථිර රැකියා හා ආදායම් මාර්ග නොමැතිකම නිසා, රටේ ආර්ථික අර්බුදයත් එක්ක, ආදිවාසී පරපුරේ පවුල්වලට ජීවත්වීම අසීරු වෙලා.

මම නායකයෙක් වෙලා අවුරුදු 26ක් වෙනවා. මගේ පරම්පරාවේ අය ගැන හොයලා බලන එක මගේ වගකීමක්. ඒත් ඒ අයට මේ වෙලාවේ උදව් කරන්න මට ආර්ථික හැකියාවක් නෑ. ඒ නිසා රජයේ මැදිහත් වීමක් තුළින් රටේ ආදිවාසී ගම්මානවල ආදිවාසී පවුල්වලට පිළිසරණක් වෙන්න යම් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි මේ අසීරු වෙලාවේ” යැයි දඹාන ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

ආදිවාසී නායක වන්නිලා ඇත්තන් වැඩිදුරටත් අදහස් දක්වමින් “රට අද වනවිට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයන් හමුවේ මුළු රටේම ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක, ආදිවාසී පරම්පරාවේ පවුල්ද එම පීඩාවලින් දැඩි ලෙස බැටකන තත්ත්වයකට අද පත්වෙලා. විශේෂයෙන් ආදිවාසී පවුල්වල දරුවන්ගේ තත්ත්වය බොහොම නරකයි.

රට පුරා ආදිවාසී පවුල් ජීවත් වන ගම්මාන රැසක් තියෙනවා. දඹාන, පොල්ලේබැද්ද, වාකරේ, රතුගල, හේනානිගල, දළුකාන, සොරබොර, වටවන, මකුළු ගොල්ල, සේරාන, විජයපුර, බෙලගන්වැව, අගලඔය ආදී ගම්මාන රැසක ජීවත් වෙන්නේ අපේ පරම්පරාවේ මිනිස්සු. ඒ හැමෝටම අද රටේ පවතින අර්බුදයත් එක්ක, කඩේකට ගිහින් කුලී වැඩ කරලා හවසට ගන්න මුදල මදිවෙලා තියෙනවා ගෙදර දොර අවශ්‍යතා ටික මිලදී ගන්න.

දරුවන් කිහිප දෙනෙක් ඉන්න පවුලකට කොහොමත්ම ඒ මුදලින් අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මම ඒක අත් වින්දා පසුගිය දවස්වල මහියංගණයේ පැවති පෙරහැරට ගිය වෙලාවේ කඩේකින් තේ එකක් බොන්න ගිය අවස්ථාවේ.

අද මා හමුවෙන්න ආපු පොල්ලේ බැද්දේ මගේ ජනතාවත් කියන්නේම ඒ ටික. ඒ අයට ජීවත් වෙන්න ආදායම් මාර්ග නෑ. රස්සා නෑ. කැලේට ගිහින් ඖෂධ ටිකක් මී පැණි ටිකක් එකතු කර ගන්න යන්න බෑ. ඒකත් තහනම්. ගමේ කුලියක් කරලා කීයක් හරි හම්බ කර ගත්තොත් තමයි. ඒකත් හැන්දෑවට කඩේට ගියාම මදි ගෙදර කන බොන දේවල් ගන්න. ගොවිතැනක් කර ගන්න ඉඩම් නෑ. බොන වතුර ටිකත් සල්ලි දීලා ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේ දුක් කන්දරාවකින් ජීවත් වෙන මිනිස්සු තමයි ආදිවාසී පරම්පරාවේ අය. මේ නිසා ආදිවාසී පවුල්වල දරුවන්ට ලොකු බලපෑමක් ඇති වෙලා කියලා ඒ අයගේ දුක් ගැනවිල්ල කියන්නයි අද එයාලා මාව හොයාගෙන ආවේ.

නායකයා කියලා මම හිටියාට ඒ අයට උදව් කරන්න ආර්ථික ශක්තියක් මට නෑනේ. මමත් ඒ අය වගේම ජීවත් වෙන කෙනෙක්. වෙන නායකයෝ වගේ නෙවෙයි.

මිනිසුන්ගේ දුකේදී කරදරයේදී උදව් උපකාර කරන මිනිස්සු මේ රටේ ජිවත් වෙනවා ඕන තරම්. දැන් අවස්ථාවක් තියෙනවා අපේ පරපුරේ මිනිසුන්ට හා පවුල්වලට උදව් කරන්න. මම ඒ අයගෙන්ද ඉල්ලීමක් කරනවා අපේ පවුල්වල ඇතිවෙලා තියෙන තත්ත්වයන් හමුවේ ඒ අයට පිහිට වෙන්න කියලා.

ඒ වගේම මම රජයෙන් ඉල්ලීමක් කරනවා ආදිවාසී පරම්පරාවල මිනිස්සු ජීවත් වෙන ගම්වලට ගිහින් ඒ ඒ අය ජීවත් වෙන්න විඳින දුක දෑසින් බලලා, ආදිවාසී ගම්මානවල ආදිවාසී පවුල්වලට පිළිසරණක් වෙන්න කියලා මම රජයෙනුත් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා“ යැයි ප්‍රකාශ කර සිටියේය.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment