ආර්ථික අර්බුදය පතුලේ අප තවමත් සිරවෙලා…

286

‘ආර්ථික අර්බුදය පතුලේ තවමත් සිරවී සිටින අපි…’ යන්න මේ ලිපියේ මාතෘකාව ලෙස යොදා ගත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අදහසකින් උපුටා ගෙන බව මුලින්ම සඳහන් කළ යුතුය. ඒ පෙරේදා (17) ‘රට කොතැනද?’ යන මැයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ඒකාබද්ධව පැවැත් වූ ඉතා වටිනා සංවාදයේ දී ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ අප තවමත් සිටින්නේ ගැඹුරු සහ පුළුල් ආර්ථික අර්බුදයක බවයි. චමින්ද ගුණරත්න ඉතා සෘජුව ඇසුවේ අයවැයෙන් මුදල් වෙන් කර තිබුණත් මහා භාණ්ඩාගාරයට මේ වෙලාවේ ඡන්දයක් කිරීමට මුදල් තිබෙන්නේ ද යන්නයි. මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්වරයා මේ සඳහා ඉතා පුළුල් සහ පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය. ඒ පිළිතුරෙන් කියා සිටියේ කෙටියෙන්ම මේ වෙලාවේ මැතිවරණයකට මුදල් ලබා දීම ඉතාමත් අසීරු කරුණක් බවයි.

ආර්ථික අර්බුදය පතුලේ අප තවමත් සිරවෙලා…

එම සංවාදයේ දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ සඳහන් කළේය.

“අප ඉතාම ගැඹුරු ආර්ථික අර්බුදයක ඉන්නේ. කියන්න ඕන මේ අර්බුදය ඉතාම පුළුල් සහ ගැඹුරුයි. එය හරිහැටි අවබෝධ කර ගැනීමත් ඉතාම වටිනවා. ගිය වසරේ අප්‍රේල් මාසේ හිටපු තත්ත්වයට වඩා සෑහෙන දුරකට අපි වැඩිදියුණු වීම් ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි අපට මෙතනින් එහාට කළ යුතු වැඩකටයුතු රාශියක් තියෙනවා. අපට විදේශ සංචිත ශක්තිමත් කරගන්න වෙනවා. ඒ සම්බන්ධ කටයුතු රාශියක් කරගෙන යනවා.

අයිඑම්එෆ් එකෙන් අපට ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයත් එක්ක අපට වඩාත් වැදගත් වෙන්නේ ඒකෙන් රට ගැන විශ්වාසය තහවුරු වීමයි. අපි 16 වතාවක් අයිඑම්එෆ් ගිහින් තියෙනවා. මේ 17 වැනි වතාව. ඇයි අපට එහෙම වුණේ? මම පෞද්ගලිකවත් අහනවා. මම රටෙනුත් අහනවා. ඇයි අපට 16 පාරක් ගිහින් 17 වැනි වතාවටත් අයිඑම්එෆ් එකට යන්න වුණේ? අයිඑම්එෆ් එක අප තුළට ආව නෙවෙයි. අපියි අයිඑම්එෆ් සහාය ඉල්ලුවේ. එනම් ආර්ථික තිරසාර මට්ටමින් කළමනාකරණය කරගෙන යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග හරි හැටි අතීතයේදී අරගෙන නැහැ. අප පසුගිය වසර 20, 25 මොකක්ද කරන්න ඕන කියල දැනගෙන හිටිය. අපි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා නැහැ. අපට මේ වන විට ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒ තුළින් අප දිහා බලන් ඉන්න බාහිර පාර්ශ්වයන්ට රට කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවා ද කියල කෙටිකාලීනව පමණක් නොව දිගුකාලීනව ස්ථාවර කරගන්නවාය කියන විශ්වාසය ඇති වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ ඒ ඇතිවෙන විශ්වාසය. ඒ ඇතිවෙන විශ්වාසය උඩ තමයි අපේ රටට ආයෝජකයෝ එන්නේ. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන අපට ණය දෙන්න එන්නේ. ටිකක් කල් යනවිට ද්විපාර්ශ්වික වශයෙනුත් ණය හම්බ වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම මම දකින්නේ ඉදිරියේ දී මේ ණය ගෙවීමට අප අද වන විට සහ ඉදිරියේ දී මැදිකාලීනව සහ දිගුකාලීනව ගන්නා ක්‍රියාමාර්ග සහ ඒ ගන්නා බව ලෝකයට ප්‍රකාශ කිරීම තමයි අයිඑම්එෆ් වැඩසටහන තුළින් වන සුවිශේෂම ක්‍රියාදාමය.’

මේ අදහස් දැක්වීම තුළින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අප සිටිනා ඇත්තම තත්ත්වය රටට පෙන්වා දී ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි. බංකොලොත් වූ රටක්, ඝාතනය වූ ආර්ථිකයක් නැවත යථා තත්ත්වයට ගැනීමේ අභියෝගය ලෙහෙසි පහසු නැත. ඒ අතරින් මේ කාලයේ ආර්ථිකය කළමනාකරණය ඉතාමත්ම දුෂ්කරම කටයුත්ත බව ද පෙනේ. ඒ අභියෝගයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පමණක් නොව මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මුහුණ දී සිටින බව පෙනේ.

● මැතිවරණයට මුදල්

මැතිවරණයක් පැවැත්වීම නීතිමය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. එය කෙසේ හෝ කල් දමා ගැනීමට රජයට අවශ්‍ය වී තිබෙනවා විය හැකිය. ඒ උත්සාහය කවර ලෙස ඉටුකරගනු ඇතිද යන්න අපට ඉදිරි දිනවල දී දැකබලා ගත හැකිය. අයවැය ලේඛනයෙන් මැතිවරණයකට මුදල් වෙන් කර ඇති බව කීවත් ඒ සියල්ල ඇස්තමේන්තු පමණක් බවත් අපි දනිමු. අයවැයක් යනු ඉදිරි වසරක් වෙනුවෙන් කළ ඇස්තමේන්තුවකි. අනිත් අතට සංකෝචනය වන ආර්ථිකයදී ඔය කියන ආදායම් ඉලක්ක කොතෙක් දුරට අපට ඒ අයුරින්ම සපුරාගත හැකිවනු ඇතිද යන ප්‍රශ්නය ද තිබේ. එසේම හිඟයක් පවතින අයවැය ලේඛනයක් නිසා වියදම පියවා ගැනීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවේ. එසේ නම් ඒ හිඟය පියවා ගැනීමට සිදු වන්නේ ණයට ගැනීමෙනි. 2022 අප්‍රේල් 12 දින අප විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති නිසා මේ වන විට අපට විදේශ ණය ලබාගැනීමට ද නොහැක. දේශීය වශයෙන් ණය ගැනීමෙන් මේ රාජ්‍ය වියදම් පියවා ගැනීමේ දී එය සපුරාගත හැකි වන්නේ මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීමෙනි. ඒ රාජ්‍ය වියදම තුළට ඇතුළත් වන මැතිවරණ වියදම සම්බන්ධයෙන් පවතින්නේ ද මේ යථාර්ථයයි.

● සමාජ ආරක්ෂණ වැඩසටහන්

ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ විනිමය අර්බුදයේ තවමත් අපි ඇලී ගැලී සිටිමු. මේ වන විට පෝලිම් තත්ත්වය නැති වී යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණත් අප තවමත් සිටින්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසන පරිදිම ආර්ථික අර්බුදයේ පතුලේය. එම පතුලේ සිට අප මේ උත්සාහ කරන්නේ අයිඑම්එෆ් සහාය ද ලබා ගනිමින් ක්‍රමයෙන් අප වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමටය. ඒ ක්‍රියාවලියේ දී කිරීමට සිදුවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයකි. ඒවා ක්‍රියාත්මක කිරීම රජය විසින් දැනටමත් පටන් ගෙන ඇති අතර ඉදිරියට ද එම ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියට යාමට සිදුවනු ඇත. මෙය පහසු ගමනක් නොව දුෂ්කර සහ වේදනාත්මක ගමනකි. මේ ගමන යාමට මේ සම්බන්ධයෙන් මහජන සහාය ද අවශ්‍ය වනු ඇත. එසේම සමාජයේ අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් වෙන අය වෙනුවෙන් සහන සැලසීමට රජයට සිදුවෙනු ඇත. ඒ සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කිරීමට රජය විසින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ මැදිහත් වීමෙන් සියලු සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් අලුතින් හඳුනා ගැනීමට පියවර ගත්තත් එය සිදු කරන ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ එය මේ වන විට ඇනහිට තිබේ. එයට ද වහාම පිළියමක් යොදමින් සුභසාධක ප්‍රතිලාභ ලබන පිරිස් ඉතා නිවැරදිව හඳුනාගත යුතුව තිබේ.

● ණය ප්‍රතිව්‍යුහගතකරණය

ආර්ථික අගාධයේ සිටින අපගේ මීළඟ ලොකුම අභියෝගය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරගෙන එය අයිඑම්එෆ් එකට දැනුම් දී අපට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලබා ගැනීමයි. දැන් ඒ ක්‍රියාවලියේ අප නිරතව සිටින අතර මේ ගැන පසුගිය ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද කියා සිටියේය.

‘මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මෙම සභාවට ප්‍රකාශ කළ හැකියි.

අපි බලාපොරොත්තු වන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමග මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව. වැටුප් ගෙවීම අපේ ප්‍රධානම කාර්යයක්. දෙවැනි තැන තිබෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ වගේම සමෘද්ධිය ලබාදිය යුතුයි. ඒ සමගම තවත් නව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහාත් අපි මුදල් ලබාදිය යුතුයි.’

ජනාධිපතිවරයා පවසන පරිදි ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට අප කරන සාකච්ඡාවල සාර්ථකත්වයක් තිබේ. එය සතුටට කරුණකි. ඒ අනුව අපට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඉක්මනින් ලැබීම සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂා තබාගත හැකිය. එහෙත් එම ක්‍රියාවලිය සඳහා කෙතරම් කලක් ගතවනු ඇති ද යන්න අප තවමත් නිශ්චිතව දන්නේ නැත. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා ද අප රටට පැමිණ සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සමනය කර ගැනීමට උදව් කිරීමට කැපවන බවට යළි රජයේ බලධාරීන්ට අවධාරණය කර ඇති බවට ආරංචි තිබේ. එහෙත් චීනය පැත්තෙන් මුල්‍යකරණ සහතික කවදා ලැබෙනු ඇතිද යන්න ගැන තවමත් ස්ථිරව කීමට හැකියාවක් නැත. කෙසේ හෝ ඉතා ඉක්මනින් මේ මූල්‍යකරණ සහතික චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන් අපට ලැබුණහොත් අපගේ විස්තීර්ණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලබාගෙන ඉදිරියට ගමන් කළ හැකි වේ. අප දැන් සිටින්නේ එම උත්සාහයේය.

● ඉන්දියාවේ ප්‍රතිචාරය

මේ අතර ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් මහතා අද (19 ) දින ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පතේ පළ වූ වාර්තාවක සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඉන්දීය රජය විසින් සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි. මෙරටට අද (19දා) පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මේ පිළිබඳව අප රජය දැනුවත් කරනු ඇත. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ දෙදින නිල සංචාරයේදී බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, වර්තමාන විනිමය හුවමාරු ණය පහසුකම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙන බව එම පුවත්පතේ සඳහන්ව තිබේ. මෙරටට බලපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරේදී (2022) විනිමය හුවමාරු ඇතුළු ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

● ණය ගෙවීමට අවශ්‍ය සහනය

ශ්‍රී ලංකාවේ විදෙස් ණය කපා හැරිය යුතු බවට අර්ථ ශාස්ත්‍රඥයින් පිරිසක් පසුගිය කාලයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය පසුගියදා සඳහන් කළේය. මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ණය ගෙවිය යුතු බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ණය ගෙවීමට සහන කාලයක් පමණක් බවත්ය. ‘රට කොතැනද?’ මැයෙන් නාලිකා ගණනාවක ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පෙරේදා (17දා) අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ණය ඇත්තවශයෙන්ම ගෙවිය යුතුයි. මම දැක්කා මතයක් තියෙනවා, බොහෝ දෙනෙක් අත්සන් කරලා, ණය අවලංගු කිරීමක් කරන්න ඕනේ කියලා, විද්වත්තු රාශියක් ප්‍රකාශයක් කරලා තිබුණා. යම්කිසි රටක් පුද්ගලයෙක් වුණත් අපි ගත්ත ණය කවදාවත් ගෙවන්නේ නැහැ කිව්වොත් කිසිම කෙනෙක් ආයෙත් ණය දෙන්නෙත් නැහැ. කිසිම ආකාරයක ඒ රටක ආයෝජනය කරන්නෙත් නැහැ. ඒ රටට පුද්ගලික අංශයට ණයක් දෙන්නේත් නැහැ. ඒ රට වාර්තා වෙනවා කවදාවත් ණය නොගෙවන රටක් විදියට. ඒක නෙමෙයි අපි සඳහන් කරන්නේ. ණය ගෙවන්න අපිට සහන කාලයක් අවශ්‍ය බවයි.”

● රාජ්‍ය ආදායම ඉහළට

2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1586.0 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රාජ්‍ය ආදායම වූ රු. බිලියන 1154.8 ට වඩා සියයට 37.33 ක වැඩිවීමක් වේ. එහිදී 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රජයේ බදු ආදායම රු. බිලියන 1403.7 ක් දක්වා සියයට 35.59 කින් හා බදු නොවන ආදායම රු. බිලියන 182.3 ක් දක්වා සියයට 52.42 කින් ඉහළ ගොස් ඇත. තවද 2022 වසරේ රජය ලද ප්‍රදානවල වටිනාකම ද රු. බිලියන 2.2 ක් දක්වා සියයට 22.22 කින් ද වැඩි වී තිබේ. මේ අනුව 2022 ඔක්තෝබර් මාසය තුළ රජයේ ආදායම් සහ ප්‍රදානවල මුළු වටිනාකම රු. බිලියන 1588.3 ක් වේ. රජයේ බදු වැඩි කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිවන අතර බදු බරින් තමන් විඳින පීඩා සම්බන්ධයෙන් පාර්ශ්වයන් රැසක් රජයට මැසිවිලි ඉදිරිපත් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment