ආර්ථික අර්බුදය මැදත් අපි මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 600ක ලාභයක් දුන්නා

153

රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී (ප්‍රධාන විධායක නිලධාරි) ආචාර්ය නිමල් රුවන් පතිරණ

“CNCI Achiever Award 2022″සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මානය හිමි වුණා

මෙරට දැව වෙළෙඳපොළේ නායකත්වය උසුලන රාජ්‍ය දැව සංස්ථාවේ කාර්යභාරය, ජයග්‍රහණ සහ ඉදිරි ඉලක්ක සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී (ප්‍රධාන විධායක නිලධාරි) ආචාර්ය නිමල් රුවන් පතිරණ මහතාව මුණගැසුණෙමු.පහතින් පෙළගැසෙන්නේ ආචාර්ය නිමල් රුවන් පතිරණ මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාවේ කාර්යභාර්ය කුමක්ද?

පිළිතුර – 1887 වර්ෂයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු වන සංරක්ෂණය සහ නිවැරදිව වන සම්පත කළමනාකරණය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු වුණා. 1968 වර්ෂයේදී රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවීමෙන් අනතුරුව වන සම්පත කළමනාකරණය සහ නිවැරදිවත්, තිරසාර ලෙසත් දැව භාවිතා කර රජයට ආදායම් ලබාදීමේ කර්යභාර්ය රාජ්‍ය දැව සංස්ථාවට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරය වෙනවා. මෙම භාරදූර වගකීම තවදුරටත් පුළුල් කර 2022 වසරේදී වර්තමාන දැව කර්මාන්තයේ අවශ්‍යතා සහ එහි සංවර්ධනය සැලකිල්ලට ගෙන නව්‍ය අරමුණු කිහිපයක් රාජ්‍ය දැව සංස්ථා ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. ඒ අතර පයිනස් දැව කඳන් අපනයනය සහ කළුවර ගෘහ භාණ්ඩ අපනයනය සුවිශේෂීයි.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාවෙන් රටට එක් කරන නිෂ්පාදන සහ ලබාදෙන සේවය කවරේද?

පිළිතුර – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් දැව නිෂ්පාදනයේ අරමුණු ඇතිව පිහිටුවන වන වගාවල දැව, පරිසර හිතවාදී දැව නිස්සරණ ක්‍රම අනුගමනය කරමින් ඉවත් කිරීම රාජ්‍ය දැව සංස්ථාව විසින් සිදු කරනු ලබනවා. මෙයට අමතරව වන වගා කළමනාකරණයේදී අත්‍යවශ්‍ය අංගයක් වන ගස් තුනී කිරීමේ ක්‍රියාවලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රාජ්‍ය දැව සංස්ථාව විසින් සිදු කරනවා. එම වන වගා පරිණත වීමෙන් පසු දැව ඉවත් කිරීම මගින් වන වගාවට සුදුසු ශාක විශේෂ තුළින් නැවත වගා කිරීමට අවස්ථාව සලසා රටේ දැව සම්පත තිරසාර පදනම මත සැපයීමේ ජාතික වගකීම රාජ්‍ය දැව සංස්ථාවේ එක් සේවාවක්. මෙයට අමතරව වන පැල නිෂ්පාදනය කර ජනතාව තුළ ප්‍රචලිත කිරීමත්, පවතින දැව සම්පත විනාශ වීමට නොදී දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දැව පරිරක්ෂණ සහ දැව පදම් කිරීමේ ක්‍රමවේද යොදා දැව ආරක්ෂා කර ගැනීමත් අප වගකීමක්. ඊට අමතරව සුව පහසු නිරෝගී දිවිපෙවෙතකට උපකාර වන අගය එකතු කරන ලද නිමි ගෘහ භාණ්ඩ නිපදවීමට අවශ්‍ය පර්යේෂණ, විද්‍යාත්මක දැනුම සහ පුහුණුව ලබාදීමද දැව විද්‍යාවට අදාළ දැනුම ජනතාව වෙත ගෙනයෑමද අපගේ සේවාවන් අතර සුවිශේෂී වෙනවා.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාවේ නිෂ්පාදන කවරේද? ඒ අතරින් ගෘහභාණ්ඩ සුවිශේෂී වන්නේ ඇයි?

පිළිතුර – රාජ්‍ය දැව සංස්ථාවේ නිෂ්පාදන ලෙස වාර්ෂිකව සාමාන්‍යයෙන් තේක්ක දැව ඝන මීටර් 30,000 – 40,000 ක් පයිනස් දැව ඝන මීටර් 50,000 – 60,000 ක්, ඉයුකැලිප්ටස් දැව ඝන මීටර් 10,000 – 15,000 ක්, ඇකේෂියා, මහෝගනී ඇතුළු වෙනත් දේශීය ශාක විශේෂ 60ක පමණ විවිධ දැව ගතිගුණ ඇති දැව වර්ග වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂිකව නිපදවන දැව ඝන මීටර් 130,000 අතර ප්‍රමාණයෙන් දැව ඝන මීටර් 30,000 පමන ප්‍රමාණයක් ලැබෙනුයේ රටේ සංවර්ධන යෝජනා ක්‍රම, ගොඩනැඟිලි සහ මිනිසුන්ට අනතුරුදායක ගස් ඉවත් කිරීම් වැනි කටයුතු වලින්. එබැවින් මෙවැනි දේපළ සහ ජීවිත හානි සිදුකළ හැකි අනතුරුදායක ගස් ඉවත් කිරීමේ සිද්ධීන් 9000ක් පමණ වසරකදී සිදු කෙරෙනවා.

රාජ්‍ය දැව සංස්ථා ගෘහභාණ්ඩ මෙම නිෂ්පාදන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නවා. නවීන මෝස්තර ජනතාවට සමීප කරමින් මිනිසාගේ ශරීරයේ භෞතික හැඩතලවලට අනුරූපී අයුරින්, ශාරීරික අපහසුතා නොගෙනෙන සුවපහසු මෝස්තර නිර්මාණ කිරීමට අපගේ සැලසුම් ශිල්පීන් කටයුතු කරනු ලබනවා. එමෙන්ම මෙම ස්වාභාවික දැව සම්පත පරම්පරා ගණනක් භාවිතයට ගත හැකිවීම තුළ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් දැව තුළ සංචිත කරමින් වායුගෝලයට නිදහස් කරන කාබන් වක්‍රාකාරයෙන් යාමනය කිරීම සිදුවනවා. එසේම කළුවර දැවයෙන් නිමවූ පාරම්පරික ගෘහ භාණ්ඩ පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමට සෑමවිටම සමත් වන නිෂ්පාදනයක්.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථා නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගික ජනතාව වෙත ඉදිරියේදී ලබාදීමට අපේක්ෂිත සහන මොනවාද?

පිළිතුර – අද වන විට රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහභාණ්ඩ කල්පවතින ශක්තිමත් ගුණාත්මකභාවයෙන් ඉහළ ගෘහභාණ්ඩ බවට ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික සහ ඉන්ධන අර්බුද මධ්‍යයේ වුවත් ගුණාත්මක භාවයට හානියක් නොවන අන්දමින් සාපේක්ෂව මිලෙන් අඩු ගෘහ භාණ්ඩ රාජ්‍ය දැව සංස්ථාවෙන් මිලදීගත හැකියි. රටේ ජනතාව විවිධ ආර්ථික දුෂ්කරතා යටතේ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම ජීවිතයේ ප්‍රමුඛතාවය නොදක්වන බව අප තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා රාජ්‍ය දැව සංස්ථා ගෘහ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. ඒ අතර මිල වැඩිවීම සාපේක්ෂව ඉතාමත් අඩු අගයකින් සිදුකර තිබෙන්නේ.

රාජ්‍ය සේවයේ නියැළෙන නිලධාරීන්හට ප්‍රසාද අභිමානි ලෙස සහනදායී මිලකට ගෘහ භාණ්ඩ අලෙවි කිරීමත් රාජ්‍ය දැව සංස්ථාවේ ලියාපදිංචි වඩු කාර්මික ජනතාවට සහනදායී මිලකට දැව ලබාදීමටත් මේ දක්වාත් ඉදිරියටත් සිදු කරනවා.

ප්‍රශ්නය – ජනතාවට අවශ්‍ය දැව හිඟයක් අනාගතයේ ඇතිවිය හැකිද?

පිළිතුර – සාමාන්‍යයෙන් රටේ වාර්ෂික දැව පරිභෝජනය ඝන මීටර් ලක්ෂ 17 ක්. දේශීය වශයෙන් 92%ක පමණ දැව වලින් අප රට ස්වයංපෝෂිතයි. දැව ඝන මීටර් 150,000 ක් පමණ පසුගිය වසරවල ආනයනය කිරීමට කටයුතු කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් එසේ සිදුවූයේ නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමට අවශ්‍ය ශක්තිමත් දිගින් වැඩි දැවවල හිඟය හේතුවෙන්. මෙම දැව හිඟයට පිළියම් ලෙස යොදාගත හැකි ඉයුකැලිප්ටස් මයික්‍රකෝරිස් වැනි වන වගා පිහිටුවීම තවදුරටත් උනන්දු කරවීමෙන් හෝ වැඩි කිරීමෙන් අපරට දැව මතින් ස්වයංපෝෂිත කර විදේශයට වාර්ෂිකව ගලායන රුපියල් කෝටි 900 ක් පමණ මුදලක් ඉතිරිකරවා ගැනීමට හැකියාව තිබෙනවා.

ස්වාභාවික වනාන්තරවලින් ද නීති විරෝධීව දැව හෙළීම් සිදුවන බැවින් දේශීයව දැව නිෂ්පාදනය ධෛර්යමත් කිරීම ස්වාභාවික වනාන්තර රැකගැනීමට ගත හැකි සුබවාදී උපක්‍රමයක්.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාව මේ දක්වා අත්කර ගෙන ඇති ජයග්‍රහණ කවරේද?

පිළිතුර – රාජ්‍ය දැව සංස්ථාව සේවකයන් 2300ක් පමණ සමන්විත ආයතනයක්. මෙහි වාර්ෂික ආදායම බිලියන 5-6ක් පමණ වෙනවා. පසුගිය වසර කිහිපය තුළ කොරෝනා වසංගතය සහ ඉන්ධන සහ ආර්ථික අර්බුදය තුළ අප ආයතනය රුපියල් මිලියන 500-600 ක පමණ ලාභයක් ලබාදෙමින් මහා භාණ්ඩාගාරයට බදු සහ ස්කන්ධභාග ලෙස මිලියන 2000ක පමණ ලබාදීමට සමත්ව තිබෙනවා.

මෙම ජයග්‍රහණයන් අගයමින් 2022 වසරෙහි රාජ්‍ය දැව සංස්ථාවට ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් ජාතික මට්ටමේ නිෂ්පාදන හා සේවා සපයන කර්මාන්ත වෙත සම්මාන ප්‍රධානය කරනු ලබන “CNCI Achiever Award 2022” සම්මාන උළෙලේ විශිෂ්ටතම සම්මානය ලබාගැනීමට සමත් වුණා. අප වසර 54ක ඉතිහාසය පුරා මේ දක්වා වසර ගණනාවක් ජාතික වාණිජ මණ්ඩලය විසින් අගයන ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා රන් සම්මාන වලින් පිදුම් ලබා ඇති රාජ්‍ය ආයතනයක්.

ප්‍රශ්නය – වත්මන් ආර්ථික අර්බුද හමුවේ රාජ්‍ය දැව සංස්ථාව මුහුණ පාමින් පවතින ගැටලු/ අභියෝග කවරේද?

පිළිතුර – රාජ්‍ය දැව සංස්ථාව ඉතිහාසයේ මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වන්නේ දැව සම්පත සොයාගැනීමේ ගැටලුවයි. එහෙත් 1980 දශකයේ සිටුවන ලද පයිනස් වන වගා අද වන විට විශාල දැව ප්‍රමාණයක් සැපයීමට සමත්ව පවතිනවා. මෙම දැවවල කල්පැවැත්ම සඳහා පරිරක්ෂණ සහ වියළීමේ ක්‍රියාවලිය විශේෂ අවදානමක් ඇතිව සිදුකිරීම අවශ්‍යයි. මෙම දැව සැහැල්ලු ඉදිකිරීම් සඳහා ප්‍රධාන ලෙස භාවිතා කිරීමේ කාරණා මත ඉතාමත් කල්පනාකාරීව උපදෙස් මත විවිධ භාවිතයන් සඳහා භාවිතා කළ හැකියි. දේශීය වෙළෙඳපොළට පයිනස් දැව ඝන මීටර් 50,000 ක් පමණ ප්‍රමාණවත් බව පසුගිය වසරවල අලෙවි සංඛ්‍යාලේඛන මගින් තහවුරුව තිබෙනවා. එහෙත් ඉදිරි වසරවලදී ඝන මීටර් 100,000 ක් පමණ වසරකට නිපදවමින් වසර 18 කට ප්‍රමාණවත් දැව ප්‍රමාණයක් පයිනස් වන වගා හෙක්ටයාර් 6000 තුළ ගැබ්ව ඇති බව සඳහන් කරන්න ඕනා.

මෙම සංඛ්‍යාලේඛනවලින් තේරුම්ගත හැකි කාරණය වන්නේ නව ව්‍යවසායකයන් හට නව කර්මාන්ත අවස්ථා ඇති බවයි. පයිනස් දැවවලට අගය එකතු කළ නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ව්‍යාපාර ආරම්භ කිරීමට ඒ අනුව ඉඩ සැලසී තිබෙනවා. පයිනස් දැව මත පදනම් වූ දැව කර්මාන්තයක් ඉදිරි දශක දෙකෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පැහැදිලියි.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එම අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ක්‍රමෝපායන් කවරේද?

පිළිතුර – ආයතනයේ දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත ගෙනයෑමට අප උත්සාහ ගනිමින් සිටිනවා. ඊට අමතරව ආයතනයේ සේවක සංඛ්‍යාව නව බඳවා ගැනීම් සීමාකර අඩු සේවක සංඛ්‍යාවක් තුළින් මෙම අභියෝග ජයගැනීම තවත් එක් පියවරක්. මහා භාණ්ඩාගාරය සහ අප අමාත්‍යාංශය එක්ව ආයතනික අදහස් ප්‍රකාශයට (statement corporate intend) (SCI‍) අනුව යමින් ප්‍රධාන කාර්ය සාධන දර්ශක (key performance indicators) සකස් කර, ආයතනයේ සංයුක්ත සැළැස්මට අඩංගු කර, ඉදිරි වසරවල ක්‍රියාකාරී සැලැස්ම සකසා ඒ අනුව ක්‍රියාත්මක වීමට රාජ්‍ය දැව සංස්ථාව කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය – රාජ්‍ය දැව සංස්ථාවේ 2023 වසරේ අත්පත් කරගැනීමට අපේක්ෂාවන නව ඉලක්ක මොනවාද?

පිළිතුර – කළුවර මිශ්‍ර ගෘහභාණ්ඩ අපනයනය සාර්ථක කරගැනීමටත්, දැව අඟුරු නිෂ්පාදන ධාරිතා පුළුල් කිරීමටත්, පයිනස් ආශ්‍රිත නව නිෂ්පාදන අයිතම 25ක් පමණ දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමටත්, රුක් කලාව ආශ්‍රිත නිර්මාණ හඳුන්වා දීමටත්, දැව හඳුනාගැනීමේ වාර්තා නිකුත් කිරීම් සහ දැව ගති ලක්ෂණ මත දැව විවිධ භාවිතයන් සඳහා යොදා ගැනීම් ප්‍රගුණ කිරීමටත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිකුත් කරන තත්ත්ව සහතිකය ගෘහ භාණ්ඩ කර්මාන්තශාලා වෙත ලබාගැනීමටත්, වඩු කාර්මිකයන්ට නව පුහුණු ලබාදීමටත්, මෙතිල් බ්‍රෝමයිඩ් යොදා පයිනස් දැව නිරෝධායන ප්‍රතිකර්ම සිදුකිරීමටත්, NVQ සහතික ලබාදෙමින් ආයතනයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සැලසුම්කර ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය මිලියන 600 කට නොඅඩු ලාභයක් උපයා ගැනීමයි.

ප්‍රශ්නය – පයිනස් ඇතුළු විදේශීය දැව හඳුන්වා දීම සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද?

පිළිතුර – ලෝකයේ වන වගාවලින් 30%ක් පමණ පයිනස් ඇතුළු කේතුධර ශාකවලින් සමන්විතයි. රබර් 5% කින්ද, ඇකේෂියා 4% කින්ද, තේක්ක 3% කින් සහ ඉයුකලිප්ටස් 10% කින්ද සමන්විත වෙනවා.

ඒ අනුව මෙම දැව වර්ග මිනිසාට සමස්තයක් ලෙස විනාශකාරී වේ යැයි සැලකීමට හැකියාවක් නැහැ. මෙම දැව ශාක උචිත ස්ථානවල සිටුවීම සිදුවන්නේ නම් එහි උපරිම පාරිසරික සහ ආර්ථිකමය ප්‍රයෝජනගත හැකියි. දේශීය ශාකයක් රෝපණය කර සාර්ථක කිරීමට නොහැකි, මුඩු බිමකට ගැළපෙන, ආලෝකයට කැමති දැව ශාක (පයිනස් වැනි) වන වගා සඳහා තෝරා ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ පයිනස් අද වන විට වගාවක් ලෙස වඩාත්ම ආර්ථික අතින් සාර්ථක දැව විශේෂ බවට පත් වී තිබෙන බව සඳහන් කළ යුතුයි. පයිනස් වනවගා හෙක්ටයාරයක් තුළින් දැව ඝන මීටර් 300-400 ක් ලැබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වනවා. එනමුත් තේක්ක වන වගා හෙක්ටයාර් එකකින් අද වන විට සාමාන්‍යයෙන් ලැබෙනුයේ ඝන මීටර් 50 – 60 ක් පමණයි. ඇත්තටම එහි වටිනාකම වන්නේ ලක්ෂ 37 ක් පමණයි. එබැවින් දැව කර්මාන්තයේ අනාගත බලාපොරොත්තුව බවට පයිනස් පත්වීම දෛවෝපගත සිදුවීමක්.

ප්‍රශ්නය – ඔබ වන විද්‍යාව සහ දැව තාක්ෂණය සම්බන්ධව විවිධ ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉදිරියේදී එවැනි කටයුතුවල යෙදීම පිළිබඳව අදහස් දැක්වුවහොත්..

පිළිතුර – ශ්‍රී ලංකාවේ දැව ශාක, දැව අත්පොත මගින් දැව ශාක 250 ක දැව තොරතුරු ඇතුළු ශාකයේ සවිස්තර වාර්තාවක් පාඨකයාට ලබා දුන්නා. ඉදිරියේදී දැව ශාක 400 ක තොරතුරු සහිත ඉංග්‍රීසි මුද්‍රණය ප්‍රකාශයට පත්කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – පසුගිය වසර සම්බන්ධයෙන් ආපසු හැරි බැලීමේදී ඒ පිළිබඳ අදහස කෙසේද ?

පිළිතුර – 2022 වසර ඉතාමත් දුෂ්කර වසරක් වුණා. වසරේ රාජකාරී කිරීමට මාස කිහිපයක් විදුලිය, ඉන්ධන ආදී ගැටලු නිසා අහිමි වුණා. එම දුෂ්කරතා මැද රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 500 ට වැඩි ලාභයක් ලැබීමට අප සමත් වුණා. මෙම වසරේදී පවා එම ආර්ථික අර්බුදය මැද ලාභදායී ආකාරයෙන් රාජ්‍ය දැව සංස්ථාව පවත්වාගෙන යෑමට අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමිය, වන සංරක්ෂක ජනරාල් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් සහ සේවක ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරනවා.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment