ආර්ථික ගැටලුවලින් හෙම්බත් වෙලාද?

99

● රටේ පවතින ආර්ථික ගැටලුවලට යහපත් මානසිකත්වයකින් මුහුණ දෙන හැටි

මීට මාස කිහිපයකට පෙර ෆේස් බුක්හි හරි අපූරු ඡායාරූපයක් පළවී තිබුණි. මවක් දර ළිපෙහි උයයි. කුඩා දරුවෙක් ළිප ළඟටවී ඒ දෙස බලා සිටියි. එම ඡායාරූපය දුටු මොහොතේ මා සැණෙකින් එහි නතර විය. මට මගේ අතීතය මතක් විය. ඇත්තෙන්ම මා පමණක් නොව බොහෝ දෙනෙකු එම ඡායාරූපය ළඟ නතරවී ඇති බව එහි තිබූ ‘ලයික්’ දුටුවිට වටහාගත හැකිවිය.

එදා ෆේස් බුක් තුළින් දුටු එම ඡායාරූපය අද අප බොහෝ දෙනාට යළිත් සැබවින් අත්විඳීමට සිදුව ඇත.

ගෑස් හිඟකම නිසා යළිත් දර ළිපෙහි උයන්නට සිදුවී තිබේ. මෙය දෛවයේ සරදමක් හා සමානය.

අතීතය සිහිපත් කරමින් සතුටුවන අතර යළිත් එම අතීතයට යා හැකි නම් යැයි පවසන්නේ සැබෑවටම නොවේ යැයි මේ දිනවල අප විඳින දුෂ්කරතාව සහ ඒ සම්බන්ධව කරන ප්‍රකාශ අනුව පැහැදිලිවේ.

ඉස්සර අපි පොත් පාඩම් කලේ කුප්පි ලාම්පු එළියෙන් හෝ චිමිනි ලාම්පු එළියෙන් යැයි දරුවන්ට පවසමින් සතුටක් විඳින්නේ අද අපේ දරුවන්ට එම දුෂ්කරතා විඳින්නට ඉඩ සලසාදී නැති නිසා යැයි සිතමිනි. නමුත් නැවත වරක් එම දුෂ්කරතාවය අපටත් අපගේ දරුවන්ටත් අත් විඳින්නට සිදුවන විට මතුව ඇත්තේ සතුටක් නොව කෝපයකි. එනිසා රට පාලනය කරන නායකයන්ටත් මෙතෙක් රට පාලනය කළ නායකයන්ටත් දොස් පවරන්නේ එබැවිනි.

ජීවිතයේ සතුට ලබන්නට නම් ධනාත්මකව සිතන්න යැයි මනෝ වෛද්‍යවරු පවසති. සෘණාත්මකව සිතන විට අත්වන්නේ මානසික පීඩනයකි. මේ දිනවල අපට සිතන්නට පමණක් නොව අත්විඳින්නට ද සිදුව ඇත්තේ සෘණාත්මක අත්දැකීම්ය.

එනිසා ඉන් මතුව ඇති මානසික පීඩනය මේ වනවිට ජනතාව විවිධාකාර අයුරින් පිටකරනු ලබයි. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සහායකයන් සංවිධානය කරන උද්ඝෝෂණ සැබෑ මානසික පීඩනය පිට කිරීම නොවේ. සැබෑ මානසික පීඩනය දැකගත හැක්කේ ඉන්ධන පෝලිමේ, ගෑස් පෝලිමේ, වෙළෙඳපොළේදී, බස් රථයේදී, කාර්යාලයේදී වැනි බොහෝ දෙනා එක් රැස්වන ස්ථානවලදීය. එහිදී එකිනෙකා තම තමන් අත්විඳින දුෂ්කරතාවයන් පවසති. මෙලෙස එකිනෙකාගේ දුෂ්කරතාවය පිළිබඳ කරන ප්‍රකාශ නිතර මාධ්‍ය මගින්ද ප්‍රචාරය වේ. එනිසා දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇත. මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම රජයේ වගකීමකි. නමුත් මෙම ගැටලු නිසා ජනතාවට මතුව ඇති මානසික පීඩනයට ඇති එකම විසඳුම වී ඇත්තේ එය අප කොයිකාටත් මතුව ඇති පොදු ගැටලුවක් ලෙස සිතා දරා ගැනීම පමණි.

එසේ නොමැතිව තනිව මෙම ගැටලු අත්විඳින්නට ගියහොත් බොහෝ මානසික පීඩාවනට මුහුණදීමට සිදුවේ.

විශේෂයෙන්ම නිවසේ මව, පියා, දූ දරුවන් මෙම ගැටලු තනි තනිව අත්විඳින්නට ගියහොත් පවුලේ අඬදබර ඇතිවේ. ඊට අමතරව මෙම ගැටලු දරා ගැනීමට නොහැකිවීම නිසා ඇතිවන නොසන්සුන් බව නිසා සිරුරේ හෝර්මෝනවල ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හට ගනී. එවිට හෘද්‍යාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, ලිංගික දුර්වලතා මල බද්ධය, ගැස්ට්‍රයිටීස් වැනි රෝගවලට ලක්වේ. මෙතෙක් දිනක් ඉන්ධන පිරවුම්හලට ගොස් අපහසුවකින් තොරව තම වාහනයට ඉන්ධන සපයා

ගන්නට හුරුවී සිටි අයට දිගු වේලාවක් පෝලිමේ සිට ඉන්ධන ලබා ගැනීමට සිදුවීම එකවර දරාගත නොහැකිය. ගෑස් උදුනෙන් ඉවුම් පිහුම් කරමින් ඊට සරිලන ලෙස තම මුළුතැන්ගෙය සකසා ගත් ගෘහණියට දර ලිපේ හෝ භූමිතෙල් ලිපේ ඉවුම් පිහුම් කරන්නට සිදුවීම දැඩි පීඩාවකට මුහුණදීමකි. ඇතැම් ගෘහණියන්ට එම අත්දැකීම් නැත. ඉන් ඔවුන් බරපතළ අපහසුතාවනට ලක්වේ. කොහෙන් හෝ ගෑස් සිලින්ඩරයක් සොයාගෙන එන ලෙස සැමියාට හෝ පවුලේ අයට පවසන්නේ එබැවිනි. එය ඉටුවනතුරු ඇය සිටින්නේ නොසන්සුන් බවකිනි.

කුප්පිලාම්පුවෙන් හෝ චිමිනි ලාම්පුවෙන් රැය පහන් කළ අද්දැකීම් තම වැඩිහිටියන් හෝ දෙමාපියන්ගෙන් අසා සිටි දරුවන්ට මෙතෙක් හුරුව සිටි විදුලි එළියෙන් පැය කිහිපයකට මිදෙන්නට වූ විට නොසන්සුන් බවක් මතුවේ. තරුණ වියේ පසුවන දරුවෝ තම නොසන්සුන් බව ආවේගශීලීව පිට කරති. දෙමාපියන්ට බැණ වදිති. රටේ පාලකයිනට දොස් පවරති. පිටරටකට ගොස් ජීවත්වන බවට පවසති. මේ සියල්ලෙන්ම ඔවුහු තම ආවේගය පිට කරති. සිතේ දරාගෙන නොසිට මෙලෙස ආවේගය පිටකිරීම තුළින් ඔවුන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පත්වීම පාලනය කරගත හැකිය.

ජීවිතයේ සතුට විඳින්නට අප වැඩි වශයෙන්ම ප්‍රියකරන්නේ ලැබූ අත්දැකීම් යළි සිහිපත් කරමිනි. එනිසා වර්තමානයේ අප විඳින මෙම දුෂ්කරතා යළි සිහිපත් කරමින් සතුටක් ලබන අවස්ථාද උදාවේ. එම අවස්ථාව කඩිනමින් උදාවේවායි අප සැමගේ එකම ප්‍රාර්ථනයයි. නමුත් එය ප්‍රායෝගිකව ඉටුකර ගැනීමට නම් මෙම වසර අවසාන වනතුරුත් නොහැකි වන මට්ටමකට පත්ව තිබේ.

මේ මොහොතේ සෑම තරාතිරමකම පුද්ගලයින්ට සහ පවුල්හි ආර්ථික ගැටලු ආහාරපාන, දුෂ්කරතා මතුව ඇත. එනිසා මෙය මට පමණක් ඇතිවූවක් යැයි සිතා තනිව එම පීඩනය දරා ගැනීමට කිසිසේත්ම ක්‍රියාකළ යුතු නැත. ඉන් දැඩි මානසික ආතතියක් මතුවේ. එය තම ශරීර සෞඛ්‍යයට මෙන්ම පවුලේ සමගියටද බාධාවක් වේ. ඉන්ධන මිල වැඩි වන්නට යන බව ආරංචි වන විට වාහනයේ ටැංකිය පිරෙන්නට ඉන්ධන ලබා ගැනීමට, සහල් මිල වැඩිවන බවට ආරංචි ලැබෙන විට වෙනදාටත් වඩා සහල් මිලදී
ගැනීමට, සබන් මිල වැඩිවන බව පවසන විට සබන් කැට දුසිම් ගණනින් මිලදී ගැනීමට ආදී ක්‍රියාවනට යොමුවන්නේ ගැටලුවලට මුහුණදීමට ඇති බිය නිසාය.

මෙවැනි පුද්ගලයින් ඉතා ඉක්මනින් මානසික පීඩාවට පත්වේ. ඔවුන් තුළ සැහැල්ලු මනසක් ඇතිකර ගැනීම දුෂ්කරය. එවැනි පුද්ගලයින් තුළ සතුට පවතින්නේ කෙටි කලකටය. සතුට නිතර සිතෙහි ඇතිකර ගැනීමට නම් මතුවන අභියෝගවලට මුහුණ දිය යුතුය. එසේම ඒ සම්බන්ධව තමා තුළ මතුවන ආවේගය සිරකර නොගෙන මුවින් පිට කළ යුතුය. එය දෝෂාරෝපණයක් ලෙස පැවසිය හැකිය. විරෝධතාවයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. එසේත් නැතිනම් තමා නිරත වෘත්තිය තුළින් එය ප්‍රකාශ කළ හැකිය. නමුත් එය කිසිවෙකුටත් හිංසනයක් බවට පත්විය යුතු නැත.

එසේද දේශපාලනඥයින්ද නීතිය ක්‍රියාත්මක කරන අයද මේ මොහොතේ ජනතාව තුළ පවතින මානසික පීඩනය අවබෝධ කරගත යුතුය. ඊට එරෙහිව දැඩි ලෙස ප්‍රතිචාර නොදැක්විය යුතුය.

ප්‍රතිචාර ලෙස දැක්විය යුත්තේ පවතින ජනතා පීඩනය අවම කිරීමට පියවර ගැනීම පමණි.

එසේම අප සියලු දෙනා යම් දිනෙක අද මේ විඳින පීඩාව ගැන සිහිපත් කරනු ඇත. ඊට මුහුණ දුන් ආකාරය ගැන පවසනු ඇත. එවිට අපටත් හොරා අප සිත් තුළ සියුම් සතුටක්ද උපදිනු ඇත. එය සතුටක් මිස දුකක් බවට පත්කර නොගැනීමට අප සියලු දෙනාම සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතුවේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment