ආර්ථික ඝාතකයන්ට එරෙහි  විගණන වාර්තා 200 ක් හමස් පෙට්ටියේ – රජයේ විගණනය හුදු ලියවිල්ලක් වෙලා

357

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ගනුදෙනුවලදී රටට සිදුව තිබෙන රුපියල් කෝටි 4000කට (බිලියන 40කට) අධික මූල්‍යමය පාඩු අයකර ගැනීමට හෝ අදාළ ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා දෙසීයකට අධික ප්‍රමාණයක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි රජයේ විගණන නිලධාරීහු පවසති.

කෝප් කමිටුවල හිටපු සභාපතිවරුන් වන සුනිල් හඳුන්නෙත්ති හා චරිත හේරත් වැනි මන්ත්‍රීවරුන් මෙම විගණන වාර්තා මගින් පෙන්වා දී තිබූ කරුණු පිළිබඳව යම් යම් සාධනීය පියවර ගනු ලැබුවත් කිසිම අයකුට දඬුවම් දීමක් (අධිභාර පැනවීමක්) සිදුකර නැතැයි ද ඔවූහු පවසති.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට හෝ දඬුවම් පැනවීමට අවශ්‍ය නෛතික බලයක් නොමැති නිසා බව ද විගණන නිලධාරීහු කියා සිටිති.

මේ නිසා රජයේ විගණනයත් සත පහකට වැඩක් නොමැති හුදු ලියවිල්ලක් බවට පත්ව තිබීම පිළිබඳ විගණන නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටින බව ද ඔවූහු පවසති.

මීට හේතු වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවූ “ජාතික විගණන සේවා කොමිසම” 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කිරීම යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ වනවිට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමට කටයුතු කරමින් සිටින නිසා ජාතික විගණන සේවා කොමිසම යළි බලගැන්වීම සිදුනොකළහොත් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කරන විගණන වාර්තා සත පහකට වැඩක් නොමැති වාර්තා බවට පත්වන බව ද ඔවූහු කියා සිටිති.

2014 වසරේදී කොළඹ වරායට ගෙනැවිත් තිබූ හාල් ටොන් ගණනක් දිරාපත්වීමට අතහැර දමා තිබීම නිසා රටට රුපියල් කෝටි 1500 ක (බිලියන 15) පාඩුවක් සිදුවී ඇතැයි විගණනයේදී හෙළිවී ඇත.

මීට අමතරව සීනි වංචාවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 1400 ක් බව ද විගණන වාර්තා මගින් පෙන්වා දී තිබේ. චීන පොහොර නැව වෙනුවෙන් ගෙවූ ඩොලර් මිලියන 6.5 ක මුදල ආපසු අයකරගත යුතු බවට ද විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණත් ඉන් එහාට කිසිදු පියවරක් ගෙන නැතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

පාර්ලිමේන්තු කෝප් සහ කෝපා කමිටු මගින් මෙම විගණන වාර්තා පදනම් කරගෙන නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කළත් කිසිම නිලධාරියකුට එරෙහිව අධිභාර පැනවීමට හෝ නොහැකිව ඇත්තේ “ජාතික විගණන සේවා කොමිසම” අහෝසි කර තිබීම නිසා යැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

එනිසා රටේ දූෂණ, වංචා මූල්‍ය අක්‍රමිකතා හා දූෂිත ගනුදෙනු නතර කිරීමට නම් ජාතික විගණන සේවා කොමිසම ස්ථාපිත කොට දඬුවම් දිය හැකි ලෙස එය බලගැන්විය යුතු බව ද ඔවූහු පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment