ආර්ථික ඝාතකයන්ට දඬුවම් දෙන්න! – සර්වපාක්ෂික අරගලකරුවෝ

282

පසුගිය කාලයේ රටේ අර්බුද රාශියක් ගොඩනඟමින් ජාතික ආර්ථිකය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට වගකිවයුතු අය වහාම අත්අඩංගුවට ගෙන පවතින නීති ප්‍රතිපාදන අනුව ඉහළම දඬුවම් ලබා දිය යුතු බව සර්වපාර්ෂික අරගලකරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පසුගිය කාලයේ විදේශ සංචිත කළමනාකරණය කිරීමේ කිසිදු එකඟතාවයක් මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයන් අතර නොපැවැති බව එහි මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ ප්‍රකාශයකින් එය පැහැදිලි වනබව එහි දැක්වේ.

එම නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2020 වර්ෂයේදී කෝවිඩ් – 19 වසංගතය නිසා ලෝකයේ රටවල් රැසක ආර්ථික අස්ථායිතා ඇති වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට හැකියාව තිබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් වන තාක්‍ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලිය ආරම්භ වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව

ගැටලුසහගත බව මෙරට නියෝජිතයන්ට දන්වා ඇති අතර එම නිසා උපදේශකයන් පත් කරන ලෙස නිර්දේශ කර ඇත. නමුත් එවකට ආර්ථික කළමනාකරණය සිදු කළ කණ්ඩායම එම නිර්දේශවලට විරුද්ධතාව පළකර තිබේ.

මෙම කෝප් විමර්ශනය අතරතුරදී හෙළි වූ ජාතික ආර්ථික සම්බන්ධයෙන් වූ සංවේදී කරුණු හා පුද්ගල මැදිහත්වීම් කෙරෙහි මේ රටේ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. අද වනවිට රටේ ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් මිලියන ගණනාවක ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින අතර නුදුරේදීම ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද පැමිණීමට නියමිතව තිබේ. අදූරදර්ශී පාලනය විසින් ජාතික ආර්ථිකය මහ පෙළොවට සමතලා කර තිබේ. උද්ධමය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් ඇති අතර විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. දරිද්‍රතාව නිසා සමාජ අසහනය පාලනය කළ නොහැකි තත්ත්වයකට වර්ධනය වෙමින් ඇත. ඊට වගකිවයුතු පාර්ශ්ව කවුද යන්න දැන් හෙළිදරව් වී තිබෙන බවද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment