ආර්ථික ඝාතකයන්ව නිදොස්කොට නිදහස් කර අපරාධයක් නොකරපු ජනතාවට කියනවා බදු ගෙවන්න කියලා  

91
  • පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන

රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන්ව වහාම හෙළිදරව් කරන්නේ නම් වරදක් නොකරපු රටේ සාමාන්‍ය ජනතාව බදු ගෙවන්න සූදානම් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවාය.

“රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය දිනක ජාතිය අමතලා මේ ආර්ථිකයේ තියෙන බැරෑරුම්කම සහ නැවත යථා තත්ත්වයට ගොඩ ගැනීම සම්බන්ධව ජාතිය අමතා ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශය අනුව එතුමා කියනවා පහුගිය ආණ්ඩුව 2020 ඉඳලා අනුගමනය කරපු බදු ප්‍රතිපත්තිය නිසා රුපියල් බිලියන 700 කට අධික ප්‍රමාණයක් රජයට අහිමි වෙලා තියෙනවා කියන කාරණය. පසුගිය වසර දෙක තුළ රුපියල් බිලියන 2300ක් අලුතෙන් අච්චු ගැහුව කියල එතුමා කියනවා. මේ හපන්කම්වලින් මේ වනවිට උද්ධමනය 70%ක් මට්ටමකට ඇවිල්ල ආහාර උද්ධමනය 100% ක් වෙන්න ආසන්න ප්‍රතිශතයක තියෙනවා. රජයට අය විය යුතු බදු ආදායම් අහිමි කර ගැනීම සහ බිලියන 2300 ක දැවැන්ත මුදලක් රට තුළ සංසරණය වෙන්න අලුතෙන් මුදල් අච්චු ගැසීම නිසා. එමනිසා ජනාධිපතිවරයා දැන් කියනවා සෘජු බදු වැඩි නොකළොත් ආයෙත් පෝලිම් යුගයකට යන්න වෙයි කියලා.

රාජපක්ෂලාගේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දු තීරණ නිසා රටේ බදු ආදායම කඩා වැටෙනකොට ඒ ආදායම් කඩාවැටීමෙන් අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 2700ක් අච්චු ගහනකොට ඒ හරහා රට දැවැන්ත උද්ධමනයකට ගමන් කරනකොට අපේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙනකොට මේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරපු අය සුවසේ ඉන්නවා. මේ කඩාවැටිච්ච රට ගොඩ ගැනීම සඳහා ජනතාවට කියනවා උඹලගෙ වැටුපෙන් උපයන ආදායමෙන් අපිට බදු ගෙවපල්ලා, නැත්තම් උඹලට ආපහු පෝලිම් යුගයට යන්න වෙයි කියලා ජනාධිපතිතුමා කියනවා.

මේක හරි මඟුලෙ කතාවක්. ජිනීවා සමුළුවේදී ආර්ථික ඝාතකයන් පිරිසක් සම්බන්ධව කතා කරනවා. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආර්ථික ඝාතකයන් මේ රටට හෙළි කරන්නේ නැතුව ආර්ථිකය කළමනාකරණය කරපු ඒ කණ්ඩායමට වගකීම හා අවශ්‍ය දඬුවම් දෙන්නෙ නැතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා මේ මට්ටමෙන් ගොඩගන්න නම් ආයෙත් උපයන ආදායමෙන් අපට බදු ගෙවපල්ලා කියලා.

ඒ නිසා අපි ජනාධිපතිට කියනවා කරුණාකරලා මේ ආර්ථික අගාධයට වගකිව යුතු නැති මේ රටේ සාමාන්‍ය ජනතාව, වෘත්තිකයන්, නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්, පෞද්ගලික අංශ සේවක ශ්‍රමය කැප කරලා මුදලක් උපයන අයගෙන් යම් කිසි මුදලක් අය කරලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න හදනවා නම් කරුණාකරලා මේ අපරාධය සිද්ධ කරපු ආර්ථික ඝාතකයන් වහාම හෙළි කරන්න. ඔවුන්ට සුවසේ ඉන්න දීලා නිදොස්කොට නිදහස් කරලා වැරැද්ද කරපු මිනිස්සු පැත්තක තියලා මේ ආර්ථිකයට කිසිම අපරාධයක් නොකරපු අපේ රටේ සාමාන්‍ය ජනතාවට කියනවා වන්දි ගෙවන්න කියලා. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා අපි බදු ගෙවන්න ලෑස්තියි. හැබැයි මේ අපරාධය කරපු ආර්ථික ඝාතකයින්ව කරුණාකරලා හෙළිදරව් කරන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment