ආර්ථික ඝාතකයන් ඇල්ලීමේ යෝජිත මෙහෙයුමට ජයවේවා!

626

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොළොත්භාවයට පත්කර රට හිඟමනට ඇද දැමූ ආර්ථික ඝාතකයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. මේ පිළිබඳව සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකි වුවද ඒ වෙනුවට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කිරීමට ගෙන ඇති තීරණය වඩා ඵලදායී වේ. සාමාන්‍යයෙන් ජනාධිපති කොමිසමකට කළ හැක්කේ කිසියම් වරදක් සම්බන්ධයෙන් සාක්‍ෂි විභාග කර ඊට වගකිව යුතු පුද්ගලයන් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමය. මේ නිර්දේශ කවදාවත් ක්‍රියාත්මක කර නැත. ඒත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක නිර්දේශ සහ යෝජනා වඩා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අගාධයට ඇද දැමූ පිරිස දැන හෝ නොදැන මේ රට ප්‍රපාතයට හෙළා ඇත. මේ පිරිසට දඬුවම් දිය යුතුමය. ජනාධිපතිගේ තීරණයට ජය වේවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1948දී අලුතින්ම පටන්ගත් බවට මතයක් තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු ඩී. එස්. සේනානායක මහතාගේ අගමැති ධුරය යටතේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට පාලනය කරන ලදී. ඒ කාලයේදී ඝාතනය කිරීමට තරම් ආර්ථිකයක් මේ රටේ තිබුණේ නැත. ඝාතනය කිරීමට හැකි ආර්ථිකයකට මේ රට තුළ පදනම වැටෙන්නේ 1977න් පසුවය. එකල ජේ. ආර්. ජයවර්ධන මේ රටේ ආර්ථිකය විස්ථාපනය කිරීමට පටන්ගත්තේය. එබැවින් ආර්ථිකයන් ටික ටික කා දැමීමට ජාවාරම්කාරයන්ට හැකිවිය. 17 අවුරුද්දක එජාප ආණ්ඩුවකින් පසුව 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති තනතුරට එයි. ඒ කාලයේ සැරටම යුද්ධය තිබිණි. එහෙත් ආර්ථිකය විස්ථාපනය වීම නැවතුනේ නැත. එක පැත්තකින් යුද්ධ කරන අතර අනෙක් පැත්තෙන් යම් ප්‍රමාණයකින් රට සංවර්ධනය කිරීමට පාලකයන්ට හැකිවිය. 2005 දී රාජපක්‍ෂවරුන් බලයට පැමිණීමෙන් පසු ගසා කෑම බෙහෙවින් වැඩි වූ නමුත් රට තුළ කිසියම් දෘෂ්‍යමාන සංවර්ධනයක් ඇතිවිය. ඉන් පසු යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේය. යහපාලන ආණ්ඩුව පරදවමින් ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව 2018 දෙසැම්බර් මාසයේ දී බලයට පත්වීමත් සමගම වැඩේ අලවිය. ඒ මෙසේය. ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයෙක් නොවේ. ඔහු රාජපක්‍ෂවරුන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා ඉදිරිපත් කරන ලද දේශපාලන බිල්ලකි. ඔහු රට පාලනයේදී පැන්ෂන් ගිය ආමිකාරයන්ගෙන් උපදෙස් ගත්තේය.

එසේම ජාතිකවාදී දොස්තරලා පිරිසක් ඔහු වටකරගෙන සිටියහ. මේ අතර කොවිඩ් – 19 Brand New තත්ත්වයෙන් ලංකාවට පැමිණෙයි. ආණ්ඩුවටත් රටේ ආර්ථිකයටත් කෙළවෙන්නට පටන්ගන්නේ එතැන් සිටය. ඒ වන විටත් මේ රට පිටරටකින් ඩොලර් නැව්පිටින් ණයට ගෙන තිබිණි. කොවිඩ් – 19 පැමිණීමත් සමගම ඕනෑවට වඩා බය වුණු ආණ්ඩුව රට ලොක් ඩවුන් කළේය. ඒ නිසා නිෂ්පාදන සියල්ලම ද රැකියා ද නැති වී ශ්‍රී ලංකාව ශුන්‍ය විදේශ ආදායමක් සහිත පාරිභෝගික රාජ්‍යයක් බවට පත්විය. අනිවාරතයේ රට වැසීම හේතුවෙන් අවම වශයෙන් රැකියා ලක්‍ෂ 5ක් නැතිවිය. මෙය ඇමරිකාවේද සිදුවිය. කොවිඩ් කාලයේදී ඇමරිකාවේ ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවක් බවක් නැතිව දිගින් දිගටම රට වසා තැබීම නිසා රැකියා මිලියන 13ක් නැතිවිය. එහෙත් ඇමරිකාව ලොකු රටක් බැවින් ද ඔවුන් සන්තකයෙහි අසීමාන්තික ධනයක් ඇති බැවින් ද එවැනි තත්ත්වයක් දැරීමට පුළුවන. ලංකාවේ සිදුවුණේ එහි අනෙක් පැත්තය. මෙය එදා වේල ටුවර්ස් යන ෆිනෑන්ස් ගෙවීමට බැරි බස් එකක් වැනි රටකි. ඒ බස් එක සෑහෙන කාලයක් ගාල්කර තැබූ විට ෆිනෑන්ස් ගෙවීම තබා සේවකයන්ට පඩි ගෙවා ගැනීමටවත් බැරිවේ. රට දිගින් දිගටම වසන විට එමගින් සිදුවිය හැකි අනර්ථය ගෝඨාභයට තේරුණේ නැත. එය තේරුම් ගැනීමට ඔහු සමග සිටි ජාතිකවාදී දොස්තර කණ්ඩායම ඉඩදුන්නේ ද නැත. ඒ වනවිට ශ්‍රී ලංකාව පිටරටින් ගත් ණයවල වාරික ගෙවිය යුතු කාලය ළංවෙමින් තිබිණි. අප වෙත ඇති දැනුම අනුව මේ ණය නිසි කාලයේදී නොගෙව්වොත් සිදුවිය හැකි අනර්ථය ගෝඨාභය දැන සිටියේ නැත.

නැත්නම් ඩඩ්ලි සේනානායකගේ ආර්ථික උපදේශකවරුන් මෙන් ගෝඨාභයගේ ආර්ථික උපදේශකවරු ද වැදගත් කාරණා සැඟවූහ. අන්තිමට ලංකාව ණය ගෙවාගත නොහැකිව බ්ලැක් ලිස්ට් විය. අපට දුන් ණය හින්දා ඇමරිකානු මූල්‍ය ආයතනයක් එරට අධිකරණයකදී නඩුවක් පවරන ලදී. මෙය ඉතා නරක තත්ත්වයකි. හැම දේම පිටරටින් ගෙන්වා කෑමට පුරුදු වූ ශ්‍රී ලංකාව වැනි රටකට පිටරටින් ගන්නා ණය නැතිව ජීවත් විය නොහැක. අද වනවිට අපට කවුරුත් සත පහක් ණයට දෙන්නේ නැත. ගිය ආණ්ඩුවේ ආර්ථික දැක්ම ඒ තරමටම දුර්වල විය. රසායනික පොහොර ප්‍රශ්නය ද මේ රටේ ආර්ථික ඝාතකයන් විසින් උලුප්පන ලද ගොං වැඩකි. මේ රට පනස් අවුරුද්දකට වැඩි කලක් රසායනික පොහොරවලට පුරුදුව සිටියේය. ඒ අතර පොහොර ගෙන්වීම සඳහා විදේශ විනිමය නැති විය. මේ තත්ත්වයෙන් බෙල්ල බේරාගැනීම පිණිස රටට කාබනික පොහොර හඳුන්වා දෙමු යැයි ආණ්ඩුවේ සිටි ආර්ථික ඝාතක උපදේශකයෝ ආණ්ඩුවට උපදෙස් දුන්හ. එහෙත් නූතන ලෝකයේ තිබෙන කිසිම රටක් පැය 24ක් තුළ කාබනික පොහොරවලට පරිවර්තනය කළ හැකි නොවේ. එයට හේතුව 50 අවුරුද්දක් තිස්සේම රසායනික පොහොර වැළඳීම නිසා අපේ රටේ පොළව එයට පුරුදුව සිටියේය. කාබනික පොහොර හඳුන්වා දෙන්නේ නම් එය පියවරෙන් පියවර කළ යුතු කටයුත්තකි. එය ද කළ හැක්කේ 75%ක් පමණි. ඉතිරි 25% රසායනික පොහොර විය යුතුමය. විශේෂයෙන්ම වල් නාශක සහ කෘමිනාශක සඳහා රසායනික ද්‍රව්‍ය අත්‍යවශ්‍යය. මීට අවුරුදු 75කට පෙර කරන ලද කෙම් වලින් අද සිටින ගොයම් මැස්සෝ නොමැරෙති. මෙයට අවුරුදු 75කට පෙර තිබූ ශාක සාර වල් පැළෑටිනාශක වලින් කුඹුරේ හැදෙන කුඩමැට්ට, තුමැස්ස, තුන්හිරිය, ගිරාපලා වැනි වල් පැළ කිසිසේත්ම මිය යන්නේ නැත. රසායනික ද්‍රව්‍ය නැතිව කිසිවක් කළ නොහැකි තැනට ලෝකය පත්ව තිබේ. එබැවින් කාබනික පොහොර සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා වැරැදි උපදෙස් දුන් පිරිස ද ආර්ථික ඝාතකයන් ලෙස හැඳින්විය හැකිය. මන්ද ඔවුන්ගේ මෝඩ උපදෙස් නිසා කෙළවුණේ රටේ ආර්ථිකයටය. අද වනවිට ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ එක්සත් ජාතීන්ගේ දරිද්‍රතා අරමුදලෙන් ගාණක් නොලැබුණොත් අපේ කුස හිස්වන්නේය. රට නවතින්නේය. එබැවින් ආර්ථික ඝාතකයන් සොයා හෙළිදරව් කිරීමට ජනාධිපතිතුමා ගත් සාධනීය පියවරට අපි ජය පතමු.

advertistmentadvertistment
advertistmentadvertistment