ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ දෙකම ඕනෑ… සමන්තා පවර් මාධ්‍ය හමුවේදී කියයි

220

පොහොර සහ ආහාර සඳහා ඩොලර් මිලියන 60 ක ආධාරයක්

අධික ණය බරින් පීඩා විඳින ශ්‍රී ලංකා ආර්ථිකයට සහනයක් වීමටත් අර්බුදය නිසා පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමටත් ඇමරිකාව සෑම විටම කටයුතු කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කළාය.

එසේම ආර්ථික ප්‍රතිසංස්කරණය හා සමානවම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් තමා මේ ගැන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කළ බවත් පවර් මහත්මිය ප්‍රකාශ කළාය.

මේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන ආකාරය ගැන ලෝකයම උනන්දුවෙන් බලා සිටින බවත් ඇය පැවැසුවාය.

දූෂණය වැළැක්වීමට කටයුතු කළහොත් මෙරටට ආයෝජකයන් පැමිණීම දිරිමත් වන බවද පවර් මහත්මිය ප්‍රකාශ කළාය.

ගොවීන් සඳහා පොහොර ලබාදීමට ඩොලර් මිලියන 40 ක් මෙන්ම ආහාර හිඟයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීමට තවත් ඩොලර් මිලියන 20 ක් ලබාදෙන බවද පවර් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සඳහා ඇමරිකාව සහාය ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී ඇය ප්‍රකාශ කළාය.

පසුගිය ජුනි මාසයේ සිට ඇමරිකාව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 240 ක ආධාර ලබාදී ඇති බවත් ඇය පැවසුවාය.

ඉදිරියේදී නිසි ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවුවහොත් ලංකාවට ලැබෙන ආධාර වැඩිවන බවද පවර් මහත්මිය අවධාරණය කර සිටියාය.

සමන්තා පවර් මහත්මිය මේ කරුණු ප්‍රකාශ කළේ ඊයේ (11දා) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි. මෙම පුවත්පත් සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලියා චැන්ග් මහත්මියද සහභාගි වූවාය.

චතුර පමුණුව, ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment