ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුණොත් අර්බුදය තවත් උග්‍රවේවි

222

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර්

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කර ගැනීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් කළයුතු බවද එහි ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවත් උග්‍ර තත්ත්වයට පත්කරනු ඇති බවද ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩිනමින් මූල්‍යාධාර අවශ්‍ය බවද ඒ මහතා ඊයේ මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු පූර්ව ක්‍රියා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙතරම් ඉක්මණින් සිදුවේද යන්න මත අනුමත වන මුදල් පහසුකම ලබාගැනීමට ගතවන කාලය තීරණය වනු ඇති බවද බෲවර් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට මාස 48 ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ එකඟතාවයකට එළඹ ඇති අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය හිඟය පියවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ලැබෙන ණය සහන සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් අතිරේක මුදල් ලැබීම අවශ්‍ය වන බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම අනුව එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව පසුගිය දිනවල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද පීටර් බෲවර් මහතා කීවේය.

ශ්‍රී ලංකාව ඉදිරියේදී පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟතාවය පළ කර ඒ සඳහා කැපවීම විස්තීරණ ණය පහසුකමක් ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාව පළවීමෙන් පිළිබිඹු වන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී කතා කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා මෙසේ කීවේය.

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතාම පහළ මට්ටමකයි. ඒ නිසා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට සහාය වීම සඳහා බදු ආදායම් ඉහළ නංවාගත යුතුයි. ලෝකයේම ඉතාම අඩු ආදායම් මට්ටමක සිට අදාළ වැඩසටහන මගින් ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ අතරට පුද්ගල ආදායම් බද්ද වඩාත් ඵලදායී කර ආයතනික ආදායම් බදු සහ වැට් සඳහා බදු පදනම පුළුල් කිරීම ඇතුළත් වෙනවා.

මේ වසරේ (2022) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.7 ක සෘණ වර්ධනයක් වාර්තා කරනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩසටහන අනුව රාජ්‍ය ව්‍යසායකයන්ගේ පාඩු මගින් ඇතිවන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලියට පිරිවැය නිරූපණය වන මිල ගණන් හඳුන්වාදිය යුතු බවද මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment