ආර්ථික පීඩනය  පුපුරා යෑම

849

නව මහ බැංකු අධිපතිවරයාගේ පත් වීමෙන් පසු මෙතෙක් මහ බැංකුව අනුගමනය කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල නිවැරදි කිරීමක් ද සිදුකරගත යුතු වේ. විශේෂයෙන්ම විදෙස්ගත ශ‍්‍රමිකයන් මේ වන විට නිල මාර්ග හරහා තම මුදල් මෙරටට එවීම සැලකිය යුතු දුරකට අඩු කර ඇත. ඒ සඳහා හේතුව වූයේ අපගේම වැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයන්නය.

 පුපුරා ගිය ආර්ථික අර්බුදය

 විනිමය අර්බුදයට රජය නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම සහ පසුගිය කාලයේ රජයේ ක‍්‍රියාකලාපය නිසා පසුගිය කාලයේ දිනෙන් දිනම මහජනයා මුහුණ දුන් ආර්ථික පීඩනය වැඩි වෙමින් තිබුණි. මහ බැංකුව විසින් ද විනිමය අනුපාතය රු.203 ක ස්ථාවර අගයක පවත්වාගෙන ගිය නිසා තවදුරටත් රටේ විනිමය පීඩනය උග‍්‍ර විය. එහෙත් අවසානයේ මහ බැංකුවට තවදුරටත් රුපියල අල්ලාගෙන සිටීමට අපහසු විය. ඒ අනුව පසුගිය මාර්තු 07 දින මහ බැංකුව රුපියල අත හැරීමට තීරණය කළේය. එනම් රුපියල පාවීමට ඉඩ හැරියේය. ඉන්පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල පිරිහීමට ලක්වූ අතර ඒ අනුව දේශීය ඉන්ධන මිල ගණන් ඇතුළු සියලූ භාණ්ඩ මිල ගණන් ද විශාල වශයෙන් වැඩි විය. ඒ වන විටත් විදේශ විනිමය අර්බුදයේ බලවත් පීඩාවන්ට මුහුණ දෙමින් අසහනයට පත්ව සිටි ජනයාට මේ අලූතින් ඇති වූ මිල පීඩනයට මුහුණ දීමට ද සිදු විය. මේ නිසා දැනටමත් ජනයා තුළ රජය කෙරෙහි ඇති වී තිබූ කෝපය තවත් දෙගුණ තෙගුණ විය. මේ උද්ඝෝෂණවලට පෙරම බොහෝ දෙනා කියමින් සිටියේ ද හෙට ආනිද්දාම මිනිසුන් පාරට බැසීමට සිදුවනු ඇති බවයි. එය එසේම සිදු විය. එනම් පසුගිය සතියේ රටේ ජනයා මුහුණ දුන් ආර්ථික පීඩනය පුපුරා ගියේය. ඒ අනුව ජනතා උද්ඝෝෂණ ආරම්භ වූයේ මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවසට යන පැඟිරිවත්ත පාර අසලිනි. ඉන් පසු රට පුරාම මේ විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වී ඒවා තවමත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

ආර්ථික පීඩනය  පුපුරා යෑම



 ඇමැති මණ්ඩලය අස්වීම

 පුපුරා ගිය මේ ආර්ථික පීඩනය හමුවේ ඇති වූ ජනතා විරෝධය හමුවේ පසුගිය සතියේ අග‍්‍රාමාත්‍යවරයා හැර කැබිනට් මණ්ඩලයේ සෙසු සියලූ සාමාජිකයන් ඉවත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අලි සබ්රි මහතා ඇතුළු සිව්දෙනෙකු හට නැවත වරක් අමාත්‍ය ධුර පිරිනමන ලදී. මුදල් අමාත්‍යවරයා වශයෙන් අපේ‍්‍රල් 04 දින අලි සබ්රි මහතා පත් කළ අතර ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා (05දා) එම තනතුරින් ඉවත් විය. තවමත් අලූතින් පත් කර ඇත්තේ ඇමැතිවරු සිව් දෙනෙක් පමණක් වන නිසා අලූතින් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට සිදු වේ. නැත්නම් රට ඉදිරියට ගෙනයෑමට අපහසුය. මේ ලිපිය ලියන විටත් තවමත් රටට මුදල් ඇමැතිවරයෙක් හෝ මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් කර නැත. මේ ලිපිය කියවන විට මේ තත්ත්වය වෙනස් වී තිබිය හැකිය. කෙසේ හෝ මේ වන විට මහා බැංකුවට නව අධිපතිවරයෙක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

 මහ බැංකුවට නව අධිපතිවරයෙක්

 ඇමැති මණ්ඩලය ඉවත් වීමත් සමග මහා බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යවන ලදී. ඔහුගේ ඉවත් වීමෙන් පසු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එම තනතුරට පත් කරනු ඇති බවට ආරංචි පැතිර ගියේය. ඔහු මේ වන විට සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය.

 මේ ලියුම්කරුද ඒ ගැන ඔහුගෙන් දුරකථනයෙන් විමසූ විට තමාට ඒ සඳහා ආරාධනයක් ලැබී ඇති බව පමණක් මුලින් ඔහු තහවුරු කළේය. ඔහු දැන් එම ආරාධනය පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහු අද (07දා) සවස ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් පසු රජය විසින් ඒ මහතාට මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්වීමේ ලිපිය ලබාදීමෙන් පසු ඔහු නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගනු ඇත. මේ අනුව අද දිනම ඔහුට එම පත්වීමේ ලිපිය දුනහොත් ආචාර්ය වීරසිංහ මහතා හෙට (08දා) සිටම වැඩ ආරම්භ කරනු ඇතැයි සිතිය හැකිය. ඔස්ටේ‍්‍රලියන් නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි. ආචාර්ය වීරසිංහ මහතා මේ විදේශ විනිමය විෂය ගැන ඉතා හොඳ දැනුමක් ඇති ඉතා පළපුරුදු වෘත්තීය මහ බැංකුකරුවෙකි. විදේශ විනිමය කළමනාකරණය ගැන ඔහුට ඇති ඉහළ දැනුම සහ පළපුරුද්ද නිසා අනිවාර්යෙන්ම දැනට රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා ඔහුගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහෙත් ඒ සඳහා රජයේ සහාය සහ දායකත්වය ද අවශ්‍ය වේ. රට මුහුණ දී සිටින විනිමය අර්බුදය මහ බැංකුවට පමණක් තනියෙන් විසඳිය හැකි නොවේ. ඒ සඳහා මහ බැංකුව සහ රජය එක්ව මේ ප‍්‍රශ්නය සමනය කර ගැනීම සඳහා නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගත යුතු වේ. එවැනි දෙයක් පසුගිය කාලයේ සිදු වූයේ නැත. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස ද කලක් කටයුතු කළේය. මේ නිසා දැනට මන්දගාමීව සිදුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑමේ ක‍්‍රියාවලිය ද වේගවත් වනු ඇතැයි අපට සිතිය හැකිය.

 ඇමෙරිකානු ඩොලරය රු. 320 යි

 මේ වන විට බැංකු විසින් ප‍්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 320 ක් දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එසේම මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.308.49 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මහ බැංකුව විසින් රුපියල පා කරනු ලැබුවේ පසුගිය මාර්තු 07 වැනිදාය. ඒ අනුව රුපියල පා කිරීමෙන් පසු ගෙවී ගිය මසක කාලයට ඇමෙරිකානු ඩොලරයේ අගය රු.203 සිට රු 308.50 ක් පමණ දක්වා (නිල විනිමය අනුපාත අගයන් අනුව) පිරිහී තිබේ. මෙතරම් කෙටි කලක් තුළ අපේ රුපියල ඉතිහාසයේ කවර කලෙකවත් පිරිහීමට ලක්ව නැත. මෙහි අනිත් ප‍්‍රශ්නය වන්නේ මේ අලූත් ඩොලර් අනුපාතයට අනුව ගණන් බලා දේශීය මිල ගණන් සකස් කිරීමේ දී කෙතරම් බඩු මිල ඉහළ යෑමකට මුහුණ දීමට මේ රටේ ජනයාට සිදුවනු ඇති ද යන්නයි. එය නිසැක වශයෙන්ම අපේ ජනයාට දැරිය නොහැකි අතිවිශාල මිල පීඩනයකි. මෙයට ඇති විසඳුම කුමක් ද ? ඒ ගැන රජයේත් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේත් කඩිනම් අවධානය යොමු විය යුතු වේ. මේ නිසා මේ වන විට රුපියල පා කිරීමෙන් පසු විනිමය අනුපාතය වේගයෙන් ඉහළ යන තත්ත්වය ද අප හැකි ඉක්මණින් පාලනය කරගත යුතු වේ. නැතහොත් දිගින් දිගටම තවදුරටත් බඩු මිල ඉහළ ගොස් ජනයා මුහුණ දෙන ආර්ථික පීඩනය තවත් උග‍්‍ර වේ. ඒ නිසා ජනතා විරෝධතා ද නැවතී ඇතැයි සිතිය නොහැකිය. අප මුහුණ දී සිටි ආර්ථික අර්බුදය රටේ ඇමති මණ්ඩලය පවා ඉවත් වී, බලවත් දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ මේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය දිනෙන් දිනම වැඩි වී පුපුරා යෑම නිසාය. ඒ නිසා දැන්වත් වෙනත් දේවලට ප‍්‍රමුඛතාව ලබා දීම හෝ දේශපාලන පම්පෝරි ගසන්නේ නැතුව මේ විනිමය ප‍්‍රශ්නය සමනය කරගෙන පවතින පෝලිම් සහ විදුලිය කැපිල්ල නතර වන තත්ත්වයට රට ඉතාම ඉක්මණින් යථා තත්ත්වයට පත්කර ගත යුතු වේ. ඉන් පසු ක‍්‍රමානුකූලව විනිමය අර්බුදය තවදුරටත් විසඳාගෙන අපට විදේශ ණය ගෙවා ගැනීමට හැකි ශක්තිය වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා කලක් ගතවනු ඇත. කෙසේ හෝ අවශ්‍ය වන්නේ ප‍්‍රතිඵලදායි නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමයි.

 විනිමය පේ‍්‍රෂණ වැඩි කර ගැනීම

 නව මහ බැංකු අධිපතිවරයාගේ පත් වීමෙන් පසු මෙතෙක් මහ බැංකුව අනුගමනය කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල නිවැරදි කිරීමක් ද සිදුකරගත යුතු වේ. විශේෂයෙන්ම විදෙස්ගත ශ‍්‍රමිකයන් මේ වන විට නිල මාර්ග හරහා තම මුදල් මෙරටට එවීම සැලකිය යුතු දුරකට අඩු කර ඇත. ඒ සඳහා හේතුව වූයේ අපගේම වැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග බව මේ ලියුම්කරුගේ අදහසයි. ඒ නිසා නිවැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සහ අලූත් දිරි ගැන්වීම් ලබාදීමෙන් ඔවුන් අපට නිල මාර්ග හරහා මුදල් එවන තත්ත්වයක් වහාම ඇති කරගත යුතු වේ. මෙය නීතියෙන්ම කළ හැකි දෙයක් නොවේ. අපේ විදේශගත ශ‍්‍රමිකයන් හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රමවලට මුදල් එවීමට වැඩි වශයෙන් යොමු වූයේ ඇයි ? ඒවාට සැබෑ හේතු සොයා ඒවාට පිළියම් යොදන ලෙස අපි රජයෙන් සහ නව මහ බැංකු අධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිමු. එහිදී එම විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ඉල්ලීම් ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය. නිවසක් සහ හොඳ වාහනයක් ලබා ගැනීම ඔවුන්ගේ සිහිනයකි. මේ සඳහා රජයට එම විදෙස්ගත ශ‍්‍රමිකයන් ඉලක්ක කරගෙන නිවාස ව්‍යාපෘති කිහිපයක් ඇති කර ඔවුන්ට විදේශ විනිමයෙන්ම කොටස් වශයෙන් මුදල් ගෙවීමට ඉඩකඩ සැලසිය හැකි නම් සහ යම් විදේශ විනිමය සීමාවක් ලබාදී එවැනි ප‍්‍රමාණයක් ඉක්මවා මෙරටට විදේශ මුදල් එවන විදේශ ශ‍්‍රමිකයන්ට තීරු බදු රහිතව වාහනයක් ගැනීමට ඉඩ ලබා දිය හැකි නම් එය ඔවුන්ට ඉතා හොඳ ආකර්ෂණයක් වනු ඇත.

 ජනතා උද්ඝෝෂණ සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා

 ජනතා උද්ඝෝෂණ කිව්වත් මේවා අතරට ගොස් ප‍්‍රචණ්ඩ ලෙස ක‍්‍රියා කරන හෙල්මට් දාගත් පිරිසක් ද සිටින බව බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබේ. මේ නිසා ඇතැම් දේශපාලන ව්‍යාපාර මේ ජනතා විරෝධය ප‍්‍රයෝජනයට ගනිමින් බොර දියේ මාළු බෑමේ පිළිවෙතකට යොමු වී සිටින බව ද පෙනේ. මෙය ඉතාම අහිතකරය. මේ නිසා සැබෑ නිර්පාක්ෂික ජනතා විරෝධතාවක් වුවත් ඒවාට රිංගා ගන්නා මෙවැනි පිරිස් සිදුකරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් වනුයේ ජනතාවගේ එම විරෝධතා ක‍්‍රියාමාර්ග පවා අපකීර්තියට පත් වීමයි. මේ නිසා විරෝධතා ව්‍යාපාර වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට අමානුෂිකව පහර දෙනවා වෙනුවට පොලිසිය කළ යුත්තේ බස් ගිනි තියන, පොදු දේපළ විනාශ කරන සහ වෙනත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමයි. එසේ නොමැතිව සාමකාමීව විරෝධතා කරන ජනයාට හිරිහැර කිරීම හෝ මාධ්‍යවේදීන්ට පහර දීම නොවේ.

 අංක තහඩු නොමැති යතුරුපැදි

 මේ අතර පෙරේදා (05දා) අංක තහඩු නොමැති යතුරුපැදිකරුවන් පිරිසක් ආයුද සන්නද්ධව විරෝධතාවයේ යෙදෙන ජනතාව අතරින් ගමන් කිරීමෙන් ලොකු කළබලයක් ඇති විය. ඒ පිරිස හමුදාවේ විය හැකි වුවත් එසේ ඔවුන්ට අංක තහඩු නොමැතිව මෝටර් බයිසිකල්වලින් මහ මග ගමන් කළ හැකි ද? මහජන විරෝධතා ව්‍යාපාරයක් පවතින විට නීතිය හා සාමය රැුකීමට කටයුතු කරන්නේ පොලිසියයි. එවිට පොලිසිය හෝ නොදැන මෙවැනි අංක තහඩු නොමැති යතුරුපැදිකරුවන් මෙවැනි ස්ථානවලට ආයුධ සහිතව ගමන් කිරීමට උපදෙස් දුන්නේ කවුද? මෙවැනි මොහොතක සිදු කළ අනවශ්‍ය අත පෙවීමක් ලෙස මෙය අපට පෙනේ. මෙවැනි දෙයින් වෙන්නේ තව තවත් මේ රටේ ආරක්ෂක හමුදාව සහ සිවිල් ජනතාව අතර බේදයක් ඇති වීමත් එසේම විරෝධතාවේ යෙදෙන ජනයා තවත් කෝපයට පත් වීමයි. මෙවැනි දේ නිසා පොලිසියට ද තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති විය හැකිය. මේ අංක තහඩු නොමැති යතුරුපැදිකරුවන් මේ ස්ථානයට ආවේ අඩු තරමේ පොලිසිය හෝ දැනුවත් කර නොවන බව අපට පෙනේ. මේ නිසා අප අසන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හෝ අංක තහඩු නොමැතිව මාර්ගයේ වාහන වලින් ගමන් කළ හැකි ද සහ ඒ අයට වෙනම නීතියක් තිබේ ද යන්නයි. රණවිරුවන්ට ජනයාගේ ගෞරවයක් තිබුණත් මෙවැනි දේ වලින් සිදු වන්නේ හමුදාවට කැළලක් සහ හමුදාව සම්බන්ධයෙන් ජනතා අප‍්‍රසාදයක් ඇති වීමක් නොවේද? රටම මේ මොහොතේ ඇත්තේ ගිනි ගොඩකය. පසුගියදා මිරිහානේදී විරෝධතාවයේ යෙදුන අයට මෙන්ම මාධ්‍යවේදීන්ට ද ආරක්ෂක අංශ අමානුෂික ලෙස අතපය කැඩෙන්නට පහර දුන්නේය. මේ නිසා රටේ ප‍්‍රශ්න විසඳන්නේ නැතුව පීඩාවට පත් ජනයා සිදුකරන විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම නම් අපට අනුමත කළ නොහැකිය. ඊට පසුව පැනවූ ඇඳිරි නීතිය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තහනම ද ජනයා තවත් කෝපයට සහ පීඩාවට පත් කළ එකක් විය. මේ නිසා ජනයා ඉමහත් පීඩාවට පත්ව ඇති මෙවැනි මොහොතක ජනතා කෝපය තවත් වැඩි කරන දේ ආරක්ෂක අංශ විසින් නොකර සිටින්නේ නම් එය රටේ හෙට දවසට ඉතාම හොඳය.

 * ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment