ආර්ථික පීඩනය හමුවේ මහජන නැගිටීම

237

ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලය අභියස…
ඡායා – තිළිණ කළුතොටගේ

මේ සියල්ලෙන් රටේ සිටින අනෙකුත් දේශපාලනඥයන් ද පාඩම් උගත යුතුය. රටත්, මහජනතාවත් අමාරුම තත්ත්වයට පත්ව සිටින මේ මොහොතේ ජනතා සංවේදීව සහ සියලු දෙනා එක්ව තාවකාලිකව හෝ තම දේශපාලන අරමුණු යම් කාලයකට පසෙක තබා රට වෙනුවෙන් පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කළ යුතු බවයි. මේ ආර්ථික අගාධයෙන් අපට ගොඩ ඒමට හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයකිනි. ඒ සඳහා මහජනයාට ද හැම විටම ඇත්ත ප්‍රකාශ කරමින් මහජන සහායද ඇතිව පුළුල් දේශපාලන සම්මුතියකින් ක්‍රියා කළ යුතුවේ.

ආර්ථික පීඩනය හමුවේ මහජන නැගිටීම

● ‘අමාරු කාලය’ තවත් දීර්ඝ වීම

අප මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ පසුගිය කාලය තුළ සිදුවූ දේශපාලන වෙනස්කම්වල ප්‍රබලතම සිදුවීම නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමයි. එයට ආසන්නතම හේතුව ඉකුත් ජුලි 09 දින සිදු වූ දැවැන්ත මහජන නැගිටීමයි. එම ජන අරගලය තුළ නොයෙකුත් දේශපාලන කණ්ඩායම් සිටිය ද එයට පක්ෂ පාට භේදයෙන් තොර විශාල ජන පදනමක් ද තිබිණි. එදින අරගලය වෙනුවෙන් අතිවිශාල පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පැමිණ විරෝධයට එකතු විය. රට තිබෙන්නේ ආර්ථික

අගාධයේ තව තවත් පතුලට තල්ලු වෙමිනි. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත් වීමෙන් පසු මහ බැංකුව පැත්තෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිය ද රජය පැත්තෙන් අවශ්‍ය දේ අප්‍රමාදව සිදුවන බවක් පෙනෙන්නට නැත. අනිත් අතට පුළුල් දේශපාලන සම්මුතියක් සහිත සර්ව පාක්ෂික අන්තර්කාලීන රජයක් පත් කර ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගෙන, ජනවරමක් නොමැතිව පාර්ලිමේන්තුවේ තමාගේ තනි ආසනය පමණක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත් කිරීමේ විපාක විඳීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව රටටම සිදුව තිබේ. ඒ නිසා නැවතත් බලවත් දේශපාලන අස්ථාවර තත්ත්වයක් ඇති වී ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ ක්‍රියාවලිය තව තවත් ප්‍රමාද වෙමින් ද තිබේ. ඒ තුළ සිදුවන්නේ මහජන පීඩා තවත් උග්‍ර වෙමින් රජය කියන ‘අමාරු කාලය’ තවත් දීර්ඝ වීමයි.

● ජුලි 09 දින මහජන නැගිටීම

පසුගිය ජුලි 09 දින සිදු වූයේ ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීම ලෙස සඳහන් කළ හැකිය. එසේම එම ජන අරගලය ජයග්‍රහණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එදින ජනාධිපති මන්දිරයෙන් පලවා හරිමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන තැනට පත් කිරීමට එම විරෝධතාකරුවන් සමත් විය. පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමාට පැවසූ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා රටට නිවේදනය කළේය. කෙසේ හෝ මේ ලිපිය ලියමින් සිටි ඊයේ උදේ ආරංචි වූයේ ගෝඨාභය රාජපකෂ ජනාධිපතිවරයා රටින් පිටව ගොස් ඇති බවයි. ඒ අනුව ඔහු සහ එම මැතිනිය ඊයේ (13 දා) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත. ඒ බව

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ උදේ තහවුරු කර ඇත. මෙසේ ජනාධිපතිවරයාට අනපෙක්ෂිත ලෙස රටින් පිටට යෑමට සිදුවූයේ රටේ දිගින් දිගටම පැවැති විරෝධතා සහ ඉකුත් ජුලි 09 දින සිදු වූ ප්‍රබල මහජන නැගිටීම නිසාය. මේ සියලු ප්‍රශ්නවලට මුල රට මුහුණ දී සිටි උග්‍ර විදේශ විනිමය අර්බුදය හමුවේ මහජනයාට මුහුණ දීමට සිදුව ඇති බලවත් පීඩාකාරී තත්ත්වයයි. මේ ආර්ථික පීඩා සමනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වූ අන්තර්කාලීන රජය ද සමත් වූයේ නැත. මේ විදේශ විනිමය අර්බුදය ක්ෂණිකව විසඳිය හැකි එකක් නොවන බව ඇත්තය. ඒ සඳහා කාලයක් ගත වේ. එහෙත් පවතින පෝලිම් තත්ත්වය හෝ මහජනයා මුහුණ දී සිටින පීඩාවන් යම් තරමකින් හෝ සමනය කිරීමට අසමත් වූවා පමණක් නොව එම පීඩාවන් තව තවත් උග්‍ර විය. ජනපතිවරයා හෝ අගමැතිවරයා කටයුතු කළේ ප්‍රශ්නය ඔවුන්ගේ නොවන ලෙසටය. මේ නිසා ජුලි 09 දින ජන අරගලය සිදු වූ අතර ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජන අරගලයකින් විධායක ජනාධිපතිවරයකුට ධුරය හැර යෑමට පමණක් නොව රටින්ද පිටව යෑමට සිදුව ඇත.

● උගත යුතු පාඩම්

මේ සියල්ලෙන් රටේ සිටින අනෙකුත් දේශපාලනඥයන් ද පාඩම් උගත යුතුය. රටත්, මහජනතාවත් අමාරුම තත්ත්වයට පත්ව සිටින මේ මොහොතේ ජනතා සංවේදීව සහ සියලු දෙනා එක්ව තාවකාලිකව හෝ තම දේශපාලන අරමුණු යම් කාලයකට පසෙක තබා රට වෙනුවෙන් පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කළ යුතු බවයි. මේ ආර්ථික අගාධයෙන් අපට ගොඩ ඒමට හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයකිනි. ඒ සඳහා මහජනයාට ද හැම විටම ඇත්ත ප්‍රකාශ කරමින් මහජන සහායද ඇතිව පුළුල් දේශපාලන සම්මුතියකින් ක්‍රියා කළ යුතුවේ. එය කවර හෝ අන්තර්කාලීන රජයක් අටවා ගැනීමෙන් කළ හැකි දෙයක් නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ සිතුවේ රනිල් වික්‍රමසිංහ අගමැති කර එහෙන් මෙහෙන් ඇමැතිවරු පිරිසක් පත්කරගෙන ඉදිරියට යෑමටය. එය අසාර්ථක වී ජනතා ගැටලු වඩාත් උග්‍රවී එහි දේශපාලන විපාක විඳීමට ඔහුටම සිදුවිය. ජනතාවට සිදුවූයේ කබලෙන් ලිපට වැටීමටය. ඒ නිසා දැන්වත් රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම සහ මහජනතාව විඳින පීඩාවන් සලකා බලා ‘දේශපාලන ගේම්’ ගහන එක නවත්වා රට ගොඩගැනීමට සියලු දෙනා එක්ව සාමූහිකව කටයුතු කළ යුතුව තිබේ. කරුණාකර දේශපාලනය පසුව කරන ලෙස මහජනතාව වෙනුවෙන් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. එසේ නොකිරීමෙන් වන්නේ රට තුළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කර ගැනීමට අප අසමත් වීම සහ ඒ නිසාම ආර්ථික අගාධයේ තවත් පතුලට ඇද වැටෙමින් ජනතාව තවත් පීඩාවට පත් කිරීමයි. පසුගිය මැතිවරණවල ජනවරම අද මහ පොළොවේ නැති බව ඇත්ත යථාර්ථයයි. එහෙත් අපට වහාම මැතිවරණයකට මේ මොහොතේ යෑමටද හැකියාවක් නැත. ඒ සඳහාද යම් කාලයක් ගතවේ. ඒ නිසා එතෙක් අවශ්‍ය කරන්නේ සියලු පාර්ශ්වයන්ට එක්ව සාමූහිකව කටයුතු කළ හැකි අන්තර්කාලීන සර්ව පාක්‍ෂික රජයකි. ඒ සඳහා සියලු දේශපාලන පක්‍ෂද තම කොන්දේසි ඉදිරිපත් කරනවා වෙනුවට රට ගොඩගැනීම සහ මහජනයා විඳින පීඩාවන් ගැන සලකා වඩාත් නම්‍යශීලීභාවයකින් කටයුතු කිරීමට සිදුවනු ඇත. සියලු දෙනාටම දේශපාලනය කිරීමට රටක් තිබිය යුතුය. ඒ නිසා රට පෙරට තබා යම් කාලයක් සාමූහිකව කටයුතු කිරීමට කැපවන ලෙස අපි සියලු පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින අතර මහජනයාටද කිව යුත්තේ කිසියම් ඉවසීමකින් කටයුතු කරන ලෙසයි.

● මහ බැංකුවේ භූමිකාව

මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඇත්තය. ඒ ගැන අපගේ ගෞරවය පුද කරමු. එහෙත් මේ මොහොත විහාල අර්බුදකාරී මොහොතකි. සෑම අතින්ම මහජනයා අතිවිශාල පීඩාවට පත්ව අසහනයකට පත්ව සිටින මොහොතකි. ඒ නිසා මේ මොහොතේ සාමාන්‍ය කාලයකදී මෙන් සම්ප්‍රදායිකව කටයුතු කරනවා වෙනුවට ඊට ඔබ්බට යමින් මේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා මැදිහත්වීමක් කළ හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එනම් උදාහරණයක් ලෙස තෙල් මිල වැඩි කිරීමට රජයට කියන අතරම තෙල් බෙදාහැරීමේ යම් සාධාරණ (සලාක) ක්‍රමවේදයක් ඇති කිරීමට ද රජයට යම් උපදෙසක් ලබාදිය හැකිය. නැතහොත් මහ බැංකුව කොතරම් මහන්සි වී ඩොලර් මෙන්ම අච්චු ගසා රුපියල්ද තෙල් සංස්ථාවට ලබාදුන්නත් එහි අරමුණු ඉටුවන්නේ නැත. එනම් ගේන තෙල් ටික අවභාවිතා වී තෙල් කළු කඩයක් ඇතිවී ආර්ථික කටයුතුවලටද ඉන්ධන නොමැති තත්ත්වයක් උද්ගත වීමයි. ගිය සතියේ මහ බැංකුවේ මාධ්‍ය හමුවේදී මේ ගැන මේ ලියුම්කරු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් කියන පරිදි එය මහ බැංකුවේ කාර්යයක් නොවන බව අපි පිළිගනිමු. මේ දිනවල වැඩියෙන්ම මහජනතාව පීඩාවට පත්ව ඇත්තේ ඉන්ධන අර්බුදය නිසාය. එසේ නම් අඩු තරමේ රජයේ ආර්ථික උපදේශක යන භූමිකාව යටතේ හෝ ඒ සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් හා මගපෙන්වීමක් ලබාදීම අත්‍යවශ්‍ය බව අපි ඉතා ඕනෑකමින් මහජනයා වෙනුවෙන් මහ බැංකුවෙන් ආයාචනා කර සිටිමු. රජයට මේ ගැන ඇති තරම් අප කියා ඇත. එහෙත් මේ වන විට කිසිදු ඵලක් වී නැති අතර ඉන්ධන බෙදීමේ කටයුත්ත දිගටම අවභාවිතා වී ඉන්ධන ටිකක් අත්‍යවශ්‍ය අයටත් ගැනීමට අපහසු වී ඇත.

● වැඩබලන ජනපති රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කළ බව ඊයේ (13දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. මේ අතරම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉවත් විය යුතු බවට අරගලකරුවෝ බලකරමින් සිටිති. එහෙත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් වී නැති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටව ගොස් ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ රාජකාරි ආවරණය කිරීමට මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්ව තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටව ගියේ ඔහු කලින් ප්‍රකාශ කළ පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් තොරවය. ඇතැම් විට මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම ඉල්ලා අස්වීම විiුත් මාර්ගයෙන් හෝ එවීමට ඉඩ තිබේ. එහෙත් මේ අතිශය අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවේද යන්න කිසිවකුටත් අනුමාන කළ නොහැකිය. කෙසේ හෝ අරගලකරුවන් කියන්නේ රනිල් අගමැති කමින් ඉවත් නොවුවහොත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සමග මුළු කොළඹම වටකරන බවයි. ඒ නිසා මේ දැඩි මහජන විරෝධය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ සිටීමට දරන උත්සාහය හමුවේ රට තව තවත් අර්බුදයෙන් අර්බුදයට යන බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තුළ මහජන විරෝධතා උග්‍ර වෙමින් තිබෙන අතර ඒවා මර්දනය කිරීමට දරණ උත්සාහය හමුවේ රට කවර ඛේදවාචයකින් මේ අර්බුදකාරී තත්ත්වය නිමවනු ඇතදැයි සිතිය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment