ආර්ථික බෝම්බය අලුත් අවුරුද්දේ පිපිරීමට නියමිතය

189

● රජයේ අන්තර්කාලීන භූමිකාව

මේ වර්ෂය (2023) රටටත්, ආර්ථිකයටත් ඉතාමත් අභියෝගාත්මක සහ තීරණාත්මක වර්ෂයකි. රට බංකොලොත් වීමෙන් පසු එම සියලු ආර්ථික අභියෝග ජයගත හැකි වසරක් බවට මේ වසර පරිවර්තනය කරගත යුතුව තිබේ. ඒ අරමුණ සාර්ථක කර ගැනීමට පොදු මහජන සහාය මෙන්ම දේශපාලන ස්ථාවරභාවය ද අවශ්‍ය වේ. මේ අපේක්ෂාව ඉටුකර ගත හැකි වන්නේ මේ අනුව සියලු දෙනාගේ දායකත්වයෙන් සහ සහායෙන් සාමූහික ප්‍රයත්නයකිනි. එහෙත් සියලුම දෙනා මේ සඳහා එකලෙසම දායක වනු ඇතැයි ද අපට සිතිය නොහැකිය. එහෙත් අතිමහත් බහුතරගේ සහාය දිනාගෙන ඔවුන්ගේ දායකත්වය ද ඇතිව අපට ඉදිරියට යෑමට හැකි නම් මේ වඩාත් අමාරු අභියෝග ජයගෙන අපට ඉදිරියට ගමන් කළ හැකි වනු නිසැකය. මේ ජනාධිපතිවරයාට මහජන වරමක් නැති අතර ඔහු පත් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා ජනවරමක් නොමැති මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය ද ඉටු කළ යුතු වන්නේ මහජනයා වෙනුවෙන් කිසියම් අන්තර්කාලීන භාරකාර රජයක භූමිකාවයි. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වඩාත් ජනතා සංවේදීව වඩාත් නම්‍යශීලීව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ. එසේම කිසියම් දුරකට ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීමෙන් පසු එනම් යම් අන්තර්කාලයකින් පසු එනම් අන්තර්කාලීන භාරකාර රජයක භූමිකාවෙන් පසු මහජන වරමක් සහිත නව රජයක් බිහි කර ගැනීම ද ඉතාමත් වැදගත් වනු ඇතැයි ද අපි සිතමු. එම අතරමැදි කාලයෙන් පසු රට සහ ආර්ථිකය වෙනුවෙන් වඩාත් දිගුකාලීන තීන්දු තීරණ ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එය වඩාත් ශක්තියක් වනු ඇත. මේ පසුබිම තුළ අප මේ නව වසරේ (2023) ඉදිරි ආර්ථික ගමන්මග ගැන සාකච්ඡා කරමු.

● අගමැතිගේ ඉල්ලීමක්

මේ වසරේ ආරම්භක පාර්ලිමේන්තු දිනය වූ 2023.01.05 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායකවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට සුභාශිංසන එක්කරමින් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දේශීය ආර්ථිකය ශක්තිමත් කර, ආහාර සුරක්ෂිතභාවය ඇතිකරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙමු යැයි රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය. ඔහු කියා සිටියේ, ජනජීවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග තුළ කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය. ජනාධිපතිතුමා ඇතුළු රජය, රට ආර්ථික, සමාජීය, නීතිය, ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් පියවර රාශියක් ගෙන ඇති බවත්, විවේචනයන්ට ඉඩ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඇති බවත් කියා සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, ජිවන වියදමේ ගැටලු ඇතත් මේ වසර අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කර ගැනීමට පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුව කටයුතු කළ යුතු බවද ඔහු කියා ඇත. පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික එකඟතාව මත ඇති කළ ජාතික සභාවේ කටයුතු ඉදිරියට ගෙනයෑමට සියලු පාර්ශ්වයන්ගේ සහය ලබාදීම අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර ඇත. සිය කතාව කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසනු ලැබ ඇත.

මේ අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කිරීමට කැප වී කටයුතු කිරීමට රජය වශයෙනුත්, පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව සඳහා එකට වැඩ කිරීමේ අභිලාෂය මේ අවස්ථාවේ යළිත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී නව අවුරද්දේ සුභාශිංසන පමණක් නොව, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩවඩාත් යහපත් රටක් ගොඩ නඟන්නට අප කැප වී කටයුතු කරමු. විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනිත් සෑම අංශයක් සඳහාම සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීයව කටයුතු කරමු. ජන ජීවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුබදායී රටක නැඟීමේ රටවැසි ජනතාවගේ ඒ බලාපොරොත්තුව සමඟ එකට අත්වැල් බැඳගෙන වැඩ කරන්ට රජය වෙනුවෙන් යළිත් අප ආයාචනා කරනවා.

ඇතිවුණු අර්බුද හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජය ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් නීතිය පිරිහී යාම අතින්, ඒ වාගේම රට ජාත්‍යන්තරව ඇති කළ යුතු විශ්වාසය හා ශක්තිමත්භාවය වෙනුවෙන් පියවර රාශියක් ගෙන ප්‍රගතියක් ඇති කර තිබෙන බවම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන් ආර්ථික අවුලක තිබුණු ජූලි මාසය වෙනස් කර ගෙන අද එදිනෙදා මහජනතාවගේ අවශ්‍යතාවන් ඇති කර දීමට පුළුවන් කත්ත්වය ඇති කර තිබෙන බව ඒ විශ්වාසය රට පුරාම පවතිනවා. ජීවන වියදමේ ගැටලු ඇති. ජීවන වියදම වැඩිවීම පිළිබඳ බර ඇති. නමුත් රජය මේ අභියෝගයෙන් ගොඩ නැඟීම සඳහා සියලු දෙනාට එකමුතුවෙන් කාරණා හරහා ගමන් කරන්ටත්, විසඳුම් සෙවීමටත් අපි යළිත් විශ්වාසයෙන් සඳහන් කරන්නට කැමතියි.

ආර්ථික බෝම්බය අලුත් අවුරුද්දේ පිපිරීමට නියමිතය

පාර්ලිමේන්තුවේ හා සර්ව පාක්ෂික එකඟතාවයෙන් ඇති කරන ලද ජාතික සභාවේ කටයුතුත් එලෙස ඉදිරියට ගෙනියන්න සහභාගීත්වය හා සහයෝගය ලබා දීම ඉතාම වැදගත් බවත් සඳහන් කර ඇති අගමැතිවරයා අපේ රටේ අනාගතය ගොඩනගන්නට අපේ රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් භාවයට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන සාකච්ඡා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් මෙන්ම අපට ආධාර දෙන කණ්ඩායම්, රටවල් අතර ඉන්දියාවත්, මහජන චීනය සමඟ කරගෙන යන සාකච්ඡා සාර්ථකව ප්‍රතිඵල ගෙන ඒමට හැකි ක්‍රියාමාර්ගයට අප කැප වී තිබෙන බවත් සඳහන් කර ඇත. මේ අතරින් අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ඉතා ඉක්මනින් ලබා ගැනීම සාර්ථක කර ගැනීම සඳහා රජය පැත්තෙන් කළ යුතු දේ කඩිනමින් කළ යුතුව ඇත. දැන් අප අයිඑම්එෆ් සහාය පතා අවසන් ය. ඒ මාර්ගයේ යම් දුරක් ද පැමිණ ඇත. ඒ නිසා අයිඑම්එෆ් යෑමේ හොඳ නරක ගැන සාකච්ඡා කරමින් කාලය නාස්ති කරනවාට වඩා වැදගත් වන්නේ දැන් එම මාර්ගයේ වේගයෙන් ගමන් කර එම මූල්‍ය පහසුකම ලබා ගැනීමත් එම වැඩසටහනට ඇතුළත් වීමෙන් පසුව ඇතිවෙන විශ්වාසය මත වෙනත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් සියලු පාර්ශ්වයන්ගේ මූල්‍යමය සහායත් ලබා ගනිමින් මේ විනිමය අර්බුදය ක්‍රමයෙන් සමනය කර ගැනීමයි. ඒ සඳහා දැන් තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස අපට පෙනෙන්නේ චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍යමය ආරක්ෂණය ලබා ගැනීමයි. අයිඑම්එෆ් ගමන්මගේ දැන් බාධකය ඇති වී ඇත්තේ එතැනය. මේ සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුව විසින් ‘2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ මැයෙන් නිකුත් කළ නවතම වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘කෙටිකාලීන ආර්ථික ස්ථායිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සමගාමීව, විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා රජය විසින් ආරම්භ කරන ලද අතර, 2022 සැප්තැම්බර් මාසයේ දී නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹුණි. මේ අතර මැදිකාලීන රාජ්‍ය ණය තිරසාරභාවය සහතික කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා නිල ණය හිමියන්ගෙන් මුල්‍යකරණ සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධව දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධව සැලකිය යුතු ප්‍රගතියක් දැනට ලබා ඇති බවට මහ බැංකුව සඳහන් කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම ගැන කියා ඇත්තේ එය 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එහි තේරුම මූල්‍යකරණ සහතිකය දීමට පවතින චීනයේ ප්‍රමාදය මත තවමත් අයිඑම්එෆ් පහසුකම අපට ලැබෙන කාලය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවයි. එය 2023 මුල කාලයේ යැයි සඳහන් කර ඇත්තේ මාර්තු මාසය වන විට හෝ එම පහසුකම අපට නොලැබෙන බව ද? කෙසේ හෝ එය රඳා පවතින්නේ ඒ සඳහා චීනය දක්වන ප්‍රතිචාරය මතය. ඒ මත අයිඑම්එෆ් පහසුකම ලබා ගනිමින් අප මේ මුහුණදෙන ඉතිහාසයේ බරපතලම ආර්ථික හා විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට ගතවන කාලය ද තීරණය වනු ඇත.

මේ වන විට අධික උද්ධමනය සහ වැඩි කළ බදු අනුපාත නිසා ජනතාව මෙන්ම අපේ ජාතික ව්‍යාපාරික ප්‍රජාව අමාරුකම් රැසකට මූණ දෙමින් සිටී. අවශ්‍ය වන්නේ මේ අමාරුකම් ක්‍රමයෙන් සමනය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමයි. ඒ සඳහා මුලින් සඳහන් කළ පරිදිම ජනතාවගේ සහාය සහ රටේ දේශපාලන ස්ථාවරභාවය තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා රටේ ජාතික ප්‍රජාව ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව ක්‍රමයෙන් ආර්ථික ශක්තිමත්භාවය ඇතිකරගත යුතු වේ. අයිඑම්එෆ් පහසුකම ලබාගනිමින් ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගනිමින් වෙනත් විදේශ මුල්‍ය ඇතුළු අපනයන, විදේශ විනිමය ප්‍රේෂණ සහ සංචාරක යන අංශයන් ප්‍රමුඛව ජාත්‍යන්තරව අපට දිනා ගත හැකි අතිරේක විදේශ විනිමය සම්පත් වැඩි කරගත හැකි නම් අප රටේ සහ ජනයාගේ ඉරණම ඵලදායී අනාගතයකට පරිවර්තනය කරගත හැකිය. එම හෙට දවස දිනා ගැනීමේ කටයුත්තට අපි එක්ව කටයුතු කළ යුතු වේ. එම ගමනේ දී වංචා හා දූෂණයට වැට බඳිමින්, සෑම අංශයකම කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉතා පැහැදිලි ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය යුතු වේ.

● ආර්ථික ඝාතනය

සාමාන්‍යයෙන් රටකට තම ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වූ විට එය බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ රට බංකොලොත් වීමක් ලෙසය. එසේම ‘ආර්ථික ඝාතනය’ යන වචනය ද කරළියට පැමිණ ඇත. මීට පෙර ‘ආර්ථික ඝාතකයා’ යන වචනය භාවිතා කරමින් මේ රටේ ආර්ථිකයට හානි කරන අයට එරෙහිව අදහස් ප්‍රකාශ වී ඇති නමුත් කිසිවිටෙකත් අපේ ආර්ථිකය ඝාතනය වී ඇති බවක් ප්‍රකාශ වී නැත. රටට විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට රට මින් පෙර කිසිදා පත්ව නොතිබිණි. විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ නිල ප්‍රකාශයක් කිරීමට රජයට සිදු වූයේ මේ නිසාය. මේ තත්ත්වයට අපේ රට පත් කළේ කවුද? එයට වගකිව යුතු වන්නේ 2019 නොවැම්බර් මස පත් වූ ගෝඨාභය රාජපක්ෂ රජයේ සිටි බැසිල් රාජපක්ෂ (මුදල් ඇමැති), ආචාර්ය පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ එස්. ආර්. ආටිගල යන ආර්ථික බලධාරීන් පමණක් යැයි අපි කිසිසේත්ම නොකියමු. දශක ගණනාවක් තිස්සේ අපේ ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු අනපේක්ෂිත ලෙස ලෝකයටම මුහුණ දීමට සිදුව වූ කොරෝනා අර්බුදයෙන් වර්ධනය වී විදේශ විනිමය ලැබීම් අහිමි වීමෙන් මේ අර්බුදය වඩාත් උග්‍ර වූ බව අපි දනිමු. එහෙත් මේ ලියුම්කරු විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ සිටි ආර්ථික බලධාරීන්ට නිසි ආර්ථික කළමනාකරණයෙන් මේ තත්ත්වය සමනය කර ගැනීමට ඉඩ තිබුණි බවයි. එහෙත් විශාල බදු කප්පාදුවකින් ආරම්භ වූ එම රජයේ අදූරදර්ශී තීන්දු තීරණ මෙන්ම කලට වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීම නිසා ද උග්‍ර වී තිබුණු විදේශ විනිමය අර්බුදය තවත් තීව්‍රම වී අපගේ විදේශ සංචිතය දිය වී අපට විදේශ ණය ගත නොහැකි තත්ත්වයට පත් විය. මෙසේ රට බංකොලොත් තත්ත්වයට පත් කිරීම යන්න හැඳින්වීමට මේ ‘ආර්ථික ඝාතනය’ යන හැඳින්වීම යොදනු ලබන බව පෙනේ. එසේ නම් ඒ කියන ආර්ථික ඝාතනය අලි සබි්‍ර මුදල් ඇමැති වීමට පෙර, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති වීමට පෙර මෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති හා මුදල් ඇමැති වීමට පෙර සිදු වූවක් බව තේරුම් ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නැත.

● විදේශ ණය ගෙවීම අත්හිටුවීම

ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකට පෙර සිටම මූලාශ්‍ර කිහිපයකින් විදේශ අරමුදල් ලබා ගැනීමට රජය උත්සාහ කර ඇත. එවකට සිටි රාජ්‍ය නායකයා විසින්ම පවා විදේශ ණය සහන සඳහා ඇතැම් විදේශීය ණය හිමියන්ගෙන් ඉල්ලීම් ද සිදු කර ඇත. මේ පිළිබඳ (හිටපු) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ද අපට මතකය. එහෙත් ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපගේ ස්වෛරීත්ව ණය ප්‍රමාණය දරාගත නොහැකි බවට එනම් ණය තිරසාර නොමැති බවට තක්සේරු කර තිබුණි. ඒ නිසා අපගේ ණය සහන සඳහා වන එවැනි කිසිදු ඉල්ලීමක් අපට ණය දුන් එම රටවල් හෝ ආයතන විසින් සලකා නොබලන ලදි. එසේම ඒ වන විට අපගේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ද පහත වැටී තිබුණි. එනම් එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම ක්‍ක්‍ක්‍- දක්වා පහත හෙළීමත් සමඟ රජය වෙත ලැබීමට අපේක්ෂිතව පැවති විදේශ විනිමය ගලා ඒම් සම්බන්ධයෙන් පවා සුවිශාල අවිනිශ්චිතතාවක් ඇතිව තිබිණි. එවැනි නව විදේශ විනිමය ගලා ඒම් ළඟා කර ගැනීමේ අපේක්ෂා බොහෝ සෙයින් පහළ මට්ටමකට ඇද වැටී තිබුණි. ඒ හේතුවෙන් අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් අප රටට අඛණ්ඩව නොලැබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ මුල සිටම අපගේ භාවිතා කළ හැකි විදේශ සංචිත තත්ත්වය බෙහෙවින් පහත වැටී තිබුණි. මෙහිදී භාවිතා කළ හැකි විදේශ සංචිත යන වචනය විශේෂයෙන් සඳහන් කළේ අපගේ විදේශ සංචිතය තුළ ඒ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකමක් පැවති අතර එහෙත් ඒ සඳහා පැවැති කොන්දේසි නිසා ඒවා ණය ගෙවීමට පමණක් නොව වෙනත් කරුණකට පවා භාවිත කළ නොහැකි වීම නිසාය. ඒ නිසා මුළු විදේශ සංචිත වටිනාකම තුළ භාවිතා කළ හැකි ද්‍රවශීල සංචිත ප්‍රමාණය පැවතියේ ඉතා සීමිතවය. මේ තත්ත්වය 2022 අප්‍රේල් මාසයේ දී වඩාත් උග්‍ර තත්ත්වයට පත්ව තිබිණි. ඒ වන විට පැවති ද්‍රවශීල සංචිත ප්‍රමාණයෙන් විදේශ ණය වගකීම් ගෙවීම කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබිණි. ඒ නිසා අපට වැටහෙන පරිදි ඉතිරි වී පැවතියේ විකල්ප දෙකක් පමණකි. ඒ මෙසේයි.

  1. විදේශ ණය ගෙවීම නොකියාම පැහැර හැරීම
  2. විදේශ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීම

මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩ භාර ගත්තේ අප්‍රේල් 07 වැනිදාය. ඒ වන විට පැවති තත්ත්වය නම් නුදුරු විදේශ ණය පියවීම්වලට සාපේක්ෂව භාවිතා කළ හැකි සංචිත තත්ත්වය ඉතාම අවම තත්ත්වයට පත් වී තිබූ බවයි. 2022 අප්‍රේල් 07 වැනිදා වන විට පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 19 ක් වැනි සංචිත ප්‍රමාණයකි. එහෙත් 2022 අප්‍රේල් 18 දින වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 182 ක විදේශ ණය පියවීමට අපට සිදුව තිබිණි. එසේම ඒ වන විටත් අපගේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විසින් විදේශ විනිමය පැහැර හැරීම් සිදුකර තිබුණි. ඒ බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් නොයෙක්වර සිය කරුණු පැහැදිලි කිරීම්වලදී සඳහන් කර ඇත. මේ පසුබිම තුළ අප මුලින් සඳහන් කළ විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට බලධාරීන්ට සිදුව තිබිණි. එනම් විදේශ ණය ගෙවීම නොකියාම පැහැර හැරීමට ( ෘැf්මකඑ) හෝ විදේශ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට (ෘැඉඑ ිඒබාිඑසකක) සිදුව තිබිණි. මේ අනුව විදේශ ණය විධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශ කිරීම මගින් 2022 වසරේ අප්‍රේල් මස 18 වැනි දින පෙර දැනුම්දීමකින් තොරව සිදු කෙරෙන ස්වෛරීත්ව ණය පැහැර හැරීම වළක්වා ගැනීමේ විකල්පයට මහ බැංකුවේ ද නිර්දේශ ඇතිව ඒ අවස්ථාවේ පැවති රජය යොමු විය. එනම් බ්රේක් නැතිව පාලනයකින් තොරව වේගයෙන් පල්ලමට ඇදී ගිය ශ්‍රී ලංකා ආර්ථිකය නම් වාහනය ප්‍රපාතයෙන් පහළට ඇදවැටී චප්ප චපිරි වීම නවතාගත හැකිව ඇත. එහෙත් අප සිටින්නේ හොඳ තත්ත්වයක නොවේ. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් අප ගනිමින් සිටිමු. එහෙත් ඒ ක්‍රියාමාර්ග නිවැරදි නොව වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ග විය යුතුමය. එහෙත් මේ සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවා ද යන ප්‍රශ්නය අපට තිබේ. පල්ලමේ තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය නම් වාහනය අමාරුවෙන් තැනිතලාවකට ගෙන ගොස් නැවත එතන සිට හරි මාර්ගයේ ධාවනය ආරම්භ කළ යුතුව තිබේ. ඒ සඳහා වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් තැලෙන්නේ පොඩි වන්නේ අපහසුවට පත්වන්නේ ඔබත් අපත් ඇතුළු මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාවයි. රජය ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන පවා නැවත නැවත විමසා බැලීම ද කළ යුතුය. අපට මේ වන විට ඉතිහාසයේ බොහෝ වැරදීම් සිදුව ඇත. රටේ ආර්ථිකය ඝාතනය වී ඇති මේ මොහොතේ ඒ වැරදි නැවත නැවත සිදු වීමට ඉඩ දුනහොත් වන්නේ අපේ බංකොලොත් ආර්ථිකය හරි පාරට දමා ගැනීම පවා තවත් වඩාත් දුෂ්කර තත්ත්වයට පත් වීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment