ආර්ථික සමාජ දේශපාලනික වෙනසකට මුල පිරීම මෙවර නත්තලේ පැතුමයි

101

අප ස්වාමීන් වන ජේසු සමිඳාණන්ගේ මාංශවත් වීම සමරන නත්තල් දිනය උදා වී ඇත. සැමවිට ම සුබාරංචි ගෙන එන්නා වූ ගාබියෙල් දේවදූතයා විසින් කන්‍යා මරියාවන්හට ගෙන ආවා වූ පණිවිඩය නම් ‘මරියාවෙනි බිය නොවන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් වරප‍්‍රසාද ලද්දෙහිය.

මේ බලන්න ඔබ පිළිසඳගෙන පුත‍්‍රයකු ලබන්නෙහි ය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න.’ ගාබි‍්‍රයෙල් දේවදූතයා සකරියස් හා මරියතුමියට පමණක් හෙළිදරව් නොවූ අතර ඊට අවුරුදු 500කට පෙර දානියෙල්තුමාට ද හෙළිදරව් විය. සෑම අවස්ථාවකම ගාබි‍්‍රයෙල් දේවදූතයා දෙවියන් වහන්සේගෙන් සුවිශේෂී පණිවිඩයක් ජනතාව වෙත රැගෙන ආවේය.

ගාබි‍්‍රයෙල් දේවදූතයා විසින් මේ පණිවිඩය ගෙන ආවිට කන්‍යා මරියාවන් බියට පත් විය. එබැවින් කන්‍යා මරියහට බිය නොවන ලෙස දේවදූතයා ප‍්‍රකාශ කරන ලද්දේ ය. ගාබි‍්‍රයෙල් දේවදූතයා විසින් ජේසු සමිඳාණන් පිළිබඳව අනාවැකි කිහිපයක් ප‍්‍රකාශ කරන ලදී.

  • උන් වහන්සේ ශ්‍රේෂ්ඨවන සේක.
  • පරමෝත්තමයාණන්ගේ පුත‍්‍රයාණෝ යැයි කියනු ලබන සේක.
  • උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ප‍්‍රදානය කරන සේක.
  • උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොවන්නේය.

එදා ගාබි‍්‍රයෙල් දේවදූතයා ප‍්‍රකාශ කළා වූ මෙම අනාවැකි වර්තමානය දෙස බලනවිට සත්‍යය වී ඇත.

ගාබි‍්‍රයෙල් දේවදූතයා මෙසේ ප‍්‍රකාශ කළවිට ‘‘මට පුරුෂයකු නොමැති බැවින් මෙවැන්නක් කෙසේ සිදුවිය හැකි දැයි කන්‍යා මරියාවන් විචාළේය. සාමාන්‍යයෙන් කෙනෙක් අසන්නා වූ ප‍්‍රශ්නය නම් මෙයයි. පුරුෂයෙකු නොමැතිව කාන්තාවක් දරුවකු පිළිසඳ ගන්නේ නම් සමාජය විසින් ඇය අනාචාරයේ නිරත වූ ස්ති‍්‍රයක ලෙස සලකමින් ඇය ප‍්‍රතික්ෂේප කර නින්දාවට ලක් කරනු නියතය. ඒ මොහොතේ ගාබි‍්‍රයෙල් දේවදූතයා විසින් මරියතුමියට ප‍්‍රබල සාක්ෂියක් අනාවරණය කර ඇත. එනම් ඔබේ සහෝදරිය වන එළිසබෙත් ඇගේ මහලූ වයසේදී දරුවකු පිළිසඳගත් බවය. වඳ යැයි පැවසූ ඇයට දැන් සයවැනි මාසය බව ප‍්‍රකාශ කළේය. දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නොමැති බව ඔහු ප‍්‍රකාශ කළේය. දරුවන් නොමැතිව වසර

ගණනාවක් වේදනාවෙන් සිටි අයට උන්වහන්සේ දරුඵල ප‍්‍රදානය කර ඇත. අබ‍්‍රහාම් සහ සාරාට උන්වහන්සේ දරුඵල දුන්නේය. එමෙන්ම වඳ යැයි පැවසූ එළිසබෙත් සහ සකරියස්ට උන්වහන්සේ දරුඵල දුන්නේය. ඒ අවස්ථාවේ මරියතුමිය ගාබි‍්‍රයෙල් දේවදූතයාහට ප‍්‍රකාශකර ඇත්තේ, ‘‘මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙස මට ඉටු වේවා’’ යනුවෙනි. එසේ නම් කන්‍යා මරියාවන් ලෙස මෙවර නත්තලේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතය තුළ ඉටුවන පිණිස දෙවිසමිඳුන් වෙත කැප විය යුතුය.

නාසරෙත් නුවර මරියතුමියගේ සහ ජුසේතුමාගේ ගමවන අතර ජෙරුසලමේ සිට බොහෝ දුරින් පිහිටා තිබුණා වූ ගම්මානයකි. ජෙරුසලම ජුදෙව්වරුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් මෙන්ම නමස්කාර කටයුතුවලට ප‍්‍රසිද්ධ ස්ථානයකි. අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ උපත ලබන්නේ බෙත්ලෙහෙම් නුවර වුව ද උන්වහන්සේ හැදීවැඩි වර්ධනය වන්නේ නාසරෙත් නුවරය. එනමුදු නාසරෙත්හි ජනතාව උන්වහන්සේ මෙසියස් වහන්සේ ලෙස පිළිනොගෙන ප‍්‍රතික්ෂේප කළේය. කන්‍යා මරියාවන් 16 වියැති දිළිඳු කාන්තාවකි. දෙවියන් වහන්සේට කීකරු වීමේ ප‍්‍රතිමූර්තියක් ලෙස දෙවි සමිඳුන් විසින් ජේසු සමිඳුන්ගේ උපත සඳහා ඇය තෝරා ගන්නා ලදී. එකිනෙකාගේ හැකියාවන්, අධ්‍යාපනය ආදිය අප දෙවියන් වහන්සේගේ සේවයෙන් ඉවත් කරනු ඇත. එබැවින් මරියතුමිය ප‍්‍රකාශ කරන ‘‘මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි. ඔබගේ වචනය ලෙස මට සිද්ධ වේවා’’ යන වදන අප සැමට ඉමහත් ආදර්ශයකි.

සාගර පෙරේරා පියතුමා
අධ්‍යක්ෂ
ලංකා සභා සන්නිවේදන අංශය

ආර්ථික සමාජ දේශපාලනික වෙනසකට මුල පිරීම මෙවර නත්තලේ පැතුමයි
advertistmentadvertistment
advertistmentadvertistment