ආරෝග්‍යා පරමා ලාභා… හැබැයි රටේ බේත් නැත:

194

ශ්‍රී ලංකාව මේ වනවිට විශාල ආනයනික ඖෂධ හිඟයකට සහ මිල ඉහළ යෑමේ විශාල අර්බුදයකට මුහුණ පා සිටියි. බෙහෙත් පමණක් නොව සෞඛ්‍ය සේවාවද බරපතල අර්බුදයකට මේ වන විට මුහුණ පා ඇත. ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් 80% ක් පමණ විදෙස් රටවලින් ගෙන්වයි. ඉතා අඩු ප්‍රතිශතයක් අමුද්‍රව්‍ය ගෙන්වා මෙරට ඖෂධ නිෂ්පාදනය කෙරේ.ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉටු කිරීම රජයේ වගකීමකි. මිනිසුන්ට ජීවත්වීමට සඳහා සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය දෙයකි. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ සපයාදීමට මේ වන විට රජය අපොහොසත් වී තිබේ.

කලින් පැවැති රජයේ වෛi ඇමැතිවරු හා සෞඛ්‍ය අමාත්‍යවරු මිනිසුන් නොමඟ යවමින් ඇත්ත වසන් කර බොරු මවා පෑම් කරමින් ජනතාව රවටමින් මුලා කරමින් ඖෂධ හිඟයක් නැතැයි බොරු පුරාජේරු දොඩවමින් සිටියහ. එහෙත් අද වන විට වෛi ක්‍ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ල වී ඇත.ඉදිරියේදී රට තුළ ඇතිවන ඖෂධ හිඟයක් පිළිබඳවත්, ඖෂධ මිල ඉහළ යෑමෙන් සාමාන්‍ය ජනතාවට වන පීඩාවන් සම්බන්ධවද මුල් අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් ජනතාව සහ අදාළ බලධාරීන්ද සෞඛ්‍ය වෘත්තීය සමිති මඟින් දැනුවත් කළද ඔවුන් ජනතාව තුළ අනියත බියක් ඇති කර නොමඟ යවන බව පවසමින් එම වෘත්තීය සමිති මර්දනය සඳහා සෘජුව හා වක්‍රව පාලකයන් කටයුතු කර ඇත.එසේ සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළත් කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට හෝ උත්සුක නොවූ එවකට පාලකයන් හා සෞඛ්‍ය බලධාරීන් අවසානයේ දැන් වර්තමාන අගමැති ඉදිරියේ මෙම සත්‍ය පිළිගැනීම සමස්ත මහජනතාවගේම වාසනාවක් ලෙස අප පිළිගත යුතුය.

සෞඛ්‍ය සේවාවේ මෑත කාලයේ බරපතළ ඛේදනීය සිදුවීමක් සිදු විය. එනම් විදේශ රටවලින් අඩු මිලට ලබාගත හැකිව තිබූ කොවිඩ් එන්නත ඉතා වැඩි මුදලක් දී ලබා ගැනීමට සිදුවීමය. කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ වැඩි මුදලක් ගෙවා ලබා ගැනීමත් PCR සහ antigen කට්ටල වංචාව සහ පසුගිය වර්ෂ දෙකක කාලසීමාවේදී හදිසි ඖෂධ මිලදී ගැනීම් හා ඖෂධ නිෂ්පාදන ක්‍ෂේත්‍රය සම්බන්ධව ක්‍රියාවලදී රටට විශාල මුදලක් අහිමි විය. එම අහිමි වන අතිවිශාල ධනස්කන්ධය සම්බන්ධව වර්තමානයේ සිටින පාලකයන්ගේ අවධානය යොමු නොකළහොත් මෙම අර්බුදය තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අර්බුදයකට ලක් වී කඩා වැටීම පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වන බව නියතය.වර්තමානයේ ඖෂධ හිඟය සහ මිල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එජාප නියෝජ්‍ය නායක රුවන් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේදී බොහෝ දේ සාකච්ඡාවට භාජනය කර ඇත. ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝහල් ආහාර සැපයුම්කරුවන්ට මාස 04 කින් ගෙවීම් සිදුකර නැත. මේ වන විටත් ඔවුන්ට රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් ගෙවීමට ඇත.

එමෙන්ම නම්කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් ඖෂධ දෙකක දැඩි හිඟයක් වර්තමානයේ රෝහල් තුළ පවතී. ඉන් එකක් හෘද රෝග සම්බන්ධව භාවිතා කරන ඖෂධයකි. මෙයට විකල්ප තිබෙන නමුත් අනෙක් හිඟ ඖෂධය වන ප්‍රතිජලභීතිකා එන්නත මේ වන විට අවසන් වී ඇත. නමුත් එයට විකල්ප නොමැත. එයට විකල්ප ඖෂධ පෞද්ගලික රෝහල්වල තිබෙන නමුත් අධික මිල ගණන් යටතේ ඒවා සාමාන්‍ය ජනතාවට ගැනීමට තරම් වත්කමක් නොමැත. රෝහල් තුළ භාවිතා වන ශල්‍ය උපාංග 7854ක් තිබෙන අතර ඉන් නිතරම භාවිතා කරනු ලබන උපකරණ 2048ක් ක් තිබිය යුතුයි. නමුත් එයිනුත් 1155ක් නොමැත. අනුපූරක උපකරණ 3416ක් පැවැතිය යුතු අතර ඉනුත් 1405ක් නොමැත. රසායනාගාර ද්‍රව්‍ය 3900ක් තිබෙන අතර ඉන් සාමාන්‍යයෙන් 800ක් තිබිය යුතු වුවත් එයිනුත් 250ක් නොමැත. එමෙන්ම අනුපූරක උපකරණ 3100ක් තිබිය යුතු අතර ඉන් 600ක්ම නොමැත.

මෙයින් ගම්‍යවනුයේ ගෝස් කැබැල්ලේ සිට සේලයින් බෝතලය දක්වා ඖෂධ හා උපකරණ නොමැති වීමේ අවදානමක් අද ලංකාවේ පවතින බවයි. මේ හේතුවෙන් මහජනයාට දැඩි අපහසුතාවයන්ට ලක් වීමට සිදු වේ. එමෙන්ම විදුලි කප්පාදුව නිසා ජෙනරේටර් සඳහා අවශ්‍ය ඩීසල් නොමැති කම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල පවා ඖෂධවල ගුණාත්මක භාවය අඩු වීමට හේතු වේ. “ඉන්සියුලින්” ඖෂධය ඒකාකාරී නියමිත උෂ්ණත්වයක ගබඩා කළ යුතුය. එසේ නොවුන හොත් එය වතුර බවට පත් වන ඉඩ කඩ බොහෝ දුරට වැඩිය. මේ හේතුවෙන් රෝහල්වල අධි සත්කාර හා දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් දැඩි අපහසුතාවයන්ට ලක් වනු ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ආනයනය කිරීම දැඩි ගැටලුවක්ව පවතී.

චීනයෙන් ඩොලර් මිලියන 28.36 ප්‍රදානයක් මේ වන විට ලැබී ඇති බවත් එමෙන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන මිලියන 400 ක් ඖෂධ සැපයීම වෙනුවෙන් වෙන්කර ඇත. ඉන් මිලියන 126 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටත් මිලියන 4 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවටත් මිලියන 45 ක් පෞද්ගලික අංශයටත් ඖෂධ ආනයනයටත් මිලියන 25 ක් දේශීයව ඖෂධ නිෂ්පාදන ආයතනවලටත් වෙන් කර ඇති බව පැවසෙයි.ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන හැට හයක් වෙන්කර තිබියදී ඖෂධ ආනයනය නොකිරීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවා තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන හතළිස් පහක් සහ ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන විසි එකක් ඖෂධ මිලදී ගැනීම සඳහා ලබා දී තිබේ. රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදී මෙලෙස ඖෂධ ආනයනය නොකිරීම පිළිබඳව අගමැති කාර්යාලය මෙම වාර්තාව කැඳවා ඇත.අද වෙළෙඳපොළේ තිබෙන පැරසිටමෝල්, ඇස්ප්‍රීන් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සීයක පමණ මිල ගණන් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ළදරුවන්ට දෙන සිරප් වර්ගත් අවසන් වෙමින් යන බවක් පෙනේ. අද වනවිට ඖෂධද මිල ඉහළ ගොස් තිබේ.

විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් මසකට අවශ්‍ය බෙහෙත් වියදම් අද 80% පමණ වැඩි වී තිබේ. ඒ වියදම පමණක් නොව ඔවුන්ගේ අනෙක් වියදම් ගෑස්, කිරිපිටි, අහස උසට මිල ගණන් ගොසිනි. ඔවුන් මේ නිසා දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.අගෝස්තු 19 දා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බෙහෙත් වර්ග 60 ක හා වෛi උපකරණ හා ශල්‍ය උපකණ 42 ක මිල ගණන් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. එයට අදාළව ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතුළු රෝගාබාධ රැසක් සඳහා භාවිත කරන බෙහෙත් වර්ග 60 ක් මිල වැඩි කර තිබිණි. මේ හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩනයකට ලක්ව තිබේ.

දැනට ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කෙරෙන්නේ 2019 දී මෙරටට ගෙන් වූ ඖෂධයි. 2019 දී ගෙන් වූ බෙහෙත් ඖෂධ 2020 කොවිඩ් වසංගතය සමඟ ඉතිරි විණි. 2020-2021 වර්ෂවල කොවිඩ් නිසා වෙනත් රෝගවලට බෙහෙත් ගැනීමට රෝගීන් රජයේ රෝහල්වලට පැමිණීම අඩු වුණ නිසාවෙන් 2019-2020 ගෙන් වූ ඖෂධ ඉතිරි විය.

පිළිකා රෝගීන් ඇතුළු අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරක පවතී. මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් කොරෝනා වසංගතයෙන් සිදු වූ ජීවිත හානිවලට වඩා ජීවිත හානි සිදුවිය හැකිය. ලංකාව තුළ රෝගී ජනතාවගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පවතී.සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වර්තමානයේ මුහුණ පා ඇති සත්‍ය තත්ත්වය ජනතාවට හෙළිදරව් කිරීම ගැන වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත විය යුතුය. රටේ ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තුන්වේල කා නොමැරී හිඳීමේ අවශ්‍යතාව පමණක් බව සමස්ත දේශපාලනඥයාම අවබෝධ කරගත යුතුය.

සුජානි ගුරුගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment