ආලෝකයේ රණකාමියාගේ අත් පොත: පාවුලෝ කොයියෝ

394

Manuel du Guerrier de la Lumiere
ප‍්‍රංශ බසින් සිංහලට නැගුවේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කළ හැකි බලයකින්, ජවයකින් හෙබි කෘතියක් දශක කීපයකට වරක් පළ වන බවත් එලෙස පාඨක මනස ග‍්‍රහණය කර ගැනීමට තරම් බලවත් වූ පොතක් වන The Alchemist පොත රචනා කර මුළුමහත් සාහිත්‍ය ලෝකයේ ම අග‍්‍රගණ්‍ය නමක් හිමි කරගෙන ඇති සුවිශේෂී ලේඛකයකු වන පාවුලෝ කොයියෝ ගේ තවත් එවන් වූ දාර්ශනික කියවීමකි, ”ආලෝකයේ රණකාමියා ගේ අත් පොත” නම් වූ මෙම විශිෂ්ට ග‍්‍රන්ථය.

වරක් දෙවරක් නොව කීප වාරයක් ම විමසා බලා මසැසින් මෙන්ම මනසින් ද විඳ විග‍්‍රහ කොට අවබෝධ කරගත යුතු දාර්ශනික කියවීමක් සහිත මෙම පොත මම ද කීප වරක්ම කියවමින් සිටිමි.

ප‍්‍රංශ මහා ලේඛක අන්ද්‍ර සිද් ගේ සාදු සංධ්වනිය නම් වූ විශිෂ්ට කෘතිය පරිවර්තනය කරන, එමෙන්ම ඛලීල් ජිබ්රාන්ගේ මුනිවරයා ඇතුළු අති විශිෂ්ට කෘතින් රැසක් ද ”යතිවර තිව් ඤතාන් තුමාගේ” ”ශුන්‍යතා වාදය නොහොත් සාපේක්ෂතා වාදය ද” යන ලෝ ප‍්‍රකට විශිෂ්ට කෘතිය ද ඇතුළු ව ලෝකයේ ශ්‍රේෂ්ඨ දාර්ශනික කෘතීන් රැසක සිංහල පරිවර්තකයා ද වන පරිවර්තන සාහිත්‍යය තුළ ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දාර්ශනික පරිවර්තකයා ද වන මණ්ඩාවල පඤ්ඤාවංස හිමිගේ තවත් එවන් වූ විශිෂ්ට කාර්යයක අනගි ප‍්‍රතිඵලයකි මෙම පොත.

ආලෝකයේ රණකාමියාගේ අත් පොත: පාවුලෝ කොයියෝ

මෙම පොත ගැන මා කියන දෙයට වඩා මෙම පොත ට අගනා හැඳින්වීමක් සපයන ප‍්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන මහත්මිය පවසන දෙය බලමු.

උපුටා ගැනීම

විෂයාතික‍්‍රාන්ත වූ මනුෂ්‍යත්වය උත්කර්ෂයට නගන අතර මිනිස් සිතෙහි ක‍්‍රියාකාරීත්වය විවරණය කිරීමට උත්සාහ දන්න ලේඛකයන් අතර ඉදිරියෙන්ම සිටින නිර්මාණකරුවකු ලෙස අද මුළු මහත් ලෝකයේම පිළිගැනීමට ලක්ව සිටින්නේ පාවුලෝ කොයියෝ නම් වූ විශිෂ්ට ලේඛකයා ය. ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය ඇත්තේ ද බ‍්‍රසීලයේ උපන් පෘතුගීසි බසින් නිර්මාණකරණයේ යෙදෙන මේ අපූරු ලේඛකයාගේ කෘතීන් බව ද ප‍්‍රකට ය.

පෘථිවි තලය මත නිවුන් සොහොයුරන් ලෙස උපත ලැබූ ”යහපත” හා ”නපුර” පිළිබඳව නව අරුත් සපයන පොත මුල්ම වතාවට කියවන පාඨකයාට හැඟී යනු ඇත්තේ වංකගිරියක, වනගහනයක අතරමං වූ ස්වභාවයකි. එහි සතර අතට විහිදුණු මාවත් දකින ඔහුගේ සිත ක්ෂණිකවම විමසන්නේ තමා පියමං කළ යුතු වන්නේ කවර නම් මාවත දැයි කියාය. නිෂ්ඨාව නොදකින මේ අවස්ථාවේදී පවා වනගහනය පිස හමන නවමු සුමිහිරි මල් සුවඳක් ඔහුට දැනෙයි. ගමනාන්තයේ මග සලකුණු ඔහුට බොහෝ දුරට හඳුනාගත හැකි වන්නේ දෙවන වරටත් යෝනිසෝමනසිකාරයෙන් යුතුව කියැවීමෙනි. ඉන් පසුව පොත කියවන කියවන වාරයක් වාරයක් පාසා ඔහුට කලින් නුදුටු නොඇසූ ඉසව් හමු වේ.

මේ ”රණකාමියා” කවරෙක් ද? විස්මයාවහ අභිරහසකින් පිරී පවත්නා ජීවිතය නම් වූ ”පුණ්‍ය බිම” යනුවෙන් මේ එක් තැනක සඳහන් වන වදනින් කුමක් නම් අරුත් ගැන්වේ ද?

”රණකාමියා” යැයි ඇසූ සැනකින් කෙනෙකුගේ සිතේ ඇඳී යන්නේ සෙන්පතියෙකි, නැතහොත් යුද සෙබළෙකි. යුද සෙබළෙක් තුළ මේ සෙන්පතියා, රණකාමියා පසුවන්නේ හිස් අතින් නොවේ. ඔහු සිතින් අවිය පිළිබඳ විශ්වාසය දරා සිටී. ඔහුගේ ඒකායන අරමුණ වන්නේ සටනේ ජයග‍්‍රහණයයි. ඒ සඳහා ඔහු සතුරන් හඳුනා ගත යුතු ය. සතුරු ප‍්‍රහාරයට මුහුණ දීමට පරිස්සමින් වගබලා ගත යුතුය. ඔහුගේ ”ජයටැඹ” පිහිටා ඇත්තේ සතුරාගේ බල ප‍්‍රදේශයෙහි ය. ”ජයටැඹ” කරා යන ඔහු සාර්ථකත්වයට පත් වන්නේ සතුරන් වනසන තරමටය.

ආලෝකයේ රණකාමියාගේ අත්පොත නම් වූ මේ අන්දරේ රණකාමියා කවරෙක් ද? සතුරා කවුරුන් ද සටන් බිම කුමක් ද? ඔහුගේ ජයටැඹ පිහිටා ඇත්තේ කොතැන ද ?

මෙය කියවන පාඨකයා විසඳාගත යුතු වන්නේ මේවාය. මෙය ඉතා පහසුවෙන් ග‍්‍රහණය කරගත හැකි වන්නේ සූක්ෂමතාවයකින් යුතු පාඨකයාටය. රණකාමියා සටන් වදින්නේ ආලෝකය සොයා යයි කී පමණින් ම ඔව් එහි සංඥාව හඳුනා ගනී. තවත් පාඨකයකුට අභියෝගයක් විය හැකි වන්නේ ද මේ ”ආලෝක සංඥා” නිශ්චිත ව ග‍්‍රහණය නොකළ ද ප‍්‍රහේළිකාවක් තුන් තේරවිල්ලක් තේරීමේදී ලබන වින්දනය මේ ප‍්‍රයත්නයේ දී ඔහුට අත්පත් වෙයි. පොදුවේ ගත් කල මෙය කියවන්නාට හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක හා අද්භූත යනාදී විවිධ රසයන් ද නො අඩුව ලද හැකිය. පොත් පිළිබඳව ඊට අනුරූපව අදහසක් ශ‍්‍රී ලංකාවේ අද්විතීය ලේඛක කේ. ජයතිලකයන් විසින් පළ කරනු ලැබ තිබේ.

”ඇතැම් පොතක් කෙලින්ම හදවතට ඇතුළු වී නටයි, ගයයි පෙරළි කරයි. ඇතැම් පොතක් හදවතටත් මොළයටත් ඇතුළු වෙයි. තවත් පොතක් මොළයට ඇතුළු වී තෝන් ලණුව අතට ගනියි.” – කේ. ජයතිලක

පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන් විසින් ප‍්‍රංශ බසින් සිංහලට නගන ලද මේ කෘතිය ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එවැන්නකි. මෙහි දී තෝන් ලණුව අතට ගන්නේ, සිය අසිපත චලනයන් කෙරෙහි නිරන්තර ව එළැඹි සිහියෙන් සිටින එසේම අසිපත තමාගේ චලනයන් දෙස බලා සිටින බව අමතක නො කරන ආලෝකය රණකාමියා ය.

නවකතාව මුලින්ම කිය වූ අවස්ථාවේ මට සිතුනේ පාවුලෝ කොයියෝ නම් වූ මේ ලේඛකයා හුදු නවකතාකරුවෙක් පමණක් දැයි කියාය. නවකතාකරුවා යන දාර්ශනික ඉසව් ස්පර්ශ කරන්නකු බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. පවුලෝ කොයියෝ ගේ වෙනත් කෘතීන් තුළ ද කවර ප‍්‍රතිශතයකින් වුව හමුවන්නේ මේ දාර්ශනික ස්වභාවය ය. කොයියෝ ගේ කථා කලාවට අනන්‍ය වූ ලිංගික සෞන්දර්ය උත්කර්ෂයට නගන විට දීත් සදාචාර විරෝධියකු ගැන ලියන විට විටත් අපට ඔහුගේ මේ දාර්ශනික ආස්ථානය ස්පර්ශ කළ හැකිය.”

මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන් පරිවර්තන කාර්යය සඳහා තෝරාගෙන සිටි කෘතීන් ඔස්සේම ඒ චින්තනය ගැඹුර පිළිබඳව කිසියම් පූර්ව නිගමනයකට එළඹීමට මට හැකි වූයේය.

මෙම පරිවර්තනය කළ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් මට පෙනුනේ, උන්වහන්සේ සොයා යන්නෙක් ලෙසය. සොයා යන්නේ කුමක්ද? නිෂ්ටාව තෙක් අවසන් ප‍්‍රතිඵලය දක්වාම සොයන්නා ද මේ ප‍්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නො දන්නා බව මගේ හැඟීමයි.

පෙර අපර දෙදිග පුරාතන නූතන දාර්ශනිකයන් මෙම සංචාරයේ යෙදුණේ ද නිශ්චිත නිගමනයකින් යුතු විය නොහැකිය. ”වරක ඔහුට නිෂ්ඨාව වැරදි යන්නේ ද, එම වැරදි තෝරා ගැනීම වෙනුවෙන් මැසිවිල්ලකින් තොරව මිල ගෙවා දමන්න” යැයි ආලෝකෙ රණකාමියා ද කියයි.”

මෙම විශිෂ්ට කෘතියේ පරිවර්තකයා වන මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ සටහනකට ද අවධානය යොමු කරමු.

දෙවන උපුටා ගැනීම

”බ‍්‍රසීල, පෘතුගීසි බසින් රචිත මෙම ගැඹුරු නිර්මාණය ප‍්‍රංශ ස්පාඤ්ඤ වැනි එම පවුලේ ම බසකට පරිවර්තනය කිරීම වඩා අපහසුවකින් තොරව සිදු කළ හැකි වනු පමණක් නොව එහි දී අර්ථයට හානියක් ද නොවන ලෙස කළ හැකිය. වොෂින්ටන් විහාරයේදී මම පරිවර්තනය පටන් ගත්තේ ඉංග‍්‍රීසි පරිවර්තනය උපකාරයෙනි. එහෙත් එහි ගැටලූවක් පවතින බව මට ඉක්මනින්ම වැටහුණි. අනතුරුව මම මෙම කෘතියේ ප‍්‍රංශ පරිවර්තනය පැරීසියෙන් ගෙන්වා ගතිමි. ඉන්පසුව මම පරිවර්තන දෙකම ආශ‍්‍රය කරගෙන මගේ කාර්යය කරගෙන යන්ඩ වෑයම් කළෙමි. ඒ අතර මා දුටු දෙයක් නම් ඉංග‍්‍රීසි පරිවර්තනයේ බරපතළ අඩුපාඩු තිබෙන බවයි. ඉන්පසු මම ප‍්‍රංශ පරිවර්තනය උපකාරයෙන් මෙම මුළු පරිවර්තනයම නිම කළෙමි.

මේ වරක් කියවා පසෙක තැබිය යුතු පොතක් නොවෙයි. කොටසක් කියවා අනතුරුව එහි අරුත් සතියෙන් යුතුව මෙනෙහි කළ යුතුය. ඒ පිළිබඳව භාවනා කළ යුතුය. මෙම පොත කියවීමේ දී තර්කය හෝ බුද්ධිමය ව්‍යායාම අදාළ නොවන බවද සිහියේ තබා ගත යුතුය. එසේ වන්නේ සත්‍ය තර්කයට එපිටින් පවත්නා බැවිනි. මෙය පරිශීලනයේදී සෙන් දහමේ පැනෙන ”කොආන්” කෙරෙහි ශ‍්‍රාවකයා දක්වන ප‍්‍රතිචාරය හා සමාන වන ආකල්පයකින් යුතුව කියවාගෙන යා යුතුය. කොටින්ම මෙය කියවීම භාවනායෝගී වීමක් සේ සලකනු මැනවි. මෙතැනදී ”මේ දැන් හෙවත් අවකාශ-කාල වෙන් කිරීමකින් තොරව මේ ඵල නෙළා ගත යුතු වන්නේ ය. මෙම කෘතියෙන් උපරිම ඵල ලැබෙන්නේ ඒ ආකාර කියවීමක් තුළින් බව අවධාරණය කරමු.”

මාලිගාවත්ත Print and Print ග‍්‍රැෆික්ස් ප‍්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් මුද්‍රණය කර ප‍්‍රකාශනය කර ඇති මෙම පොත දැනට මුද්‍රණයේ පවතී දැ යි නො දන්නා නමුත් පොත් හල් පීරා ගොස් සොයා කියවිය යුතුම කොයියෝ ගේ තවත් එක් විශිෂ්ට කෘතියකි. මිනිත්තු එකොළහේ කතාව, පියෙද්රා ගඟ අසබඩ සිට වැලපුනෙමි, වෙරෝනිකා මැරෙන්නට තීරණය කරයි, යක්ෂයා හා ප‍්‍රයිම් මෙනවිය, සන්තියාගෝ නම් සැරිසරන්නා වැනි පවුලෝ කොයියෝ ගේ විශිෂ්ට සිංහල පරිවර්තන කියවීම් අතරට මෙම විශිෂ්ට පොත ද ඔබත් එක්කර ගන්න.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

ආලෝකයේ රණකාමියාගේ අත් පොත: පාවුලෝ කොයියෝ
advertistmentadvertistment
advertistmentadvertistment