ආවා නායකයා කියමින් යාපනය කැළඹූ අරුන් සිද්ධාර්ථන් අත්අඩංගුවට

703

‘ආවා’ කණ්ඩායමේ නායකයා තමන් බව කියමින් යාපනයේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් කළ අරුන් සිද්ධාර්ථන් නමැත්තා යාපනය පොලිසිය විසින් අපරාධ කීපයක් සම්බන්ධයෙන් 20දා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුට විරුද්ධව පොලිසියට ලැබී තිබුණු පැමිණිලි මත ඒවා විභාග කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මේ පුද්ගලයා අධිකරණය හමුවට කැ`දවන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණද අරුන් සිද්ධාර්ථන් අධිකරණය මගහැරීම නිසා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කොට තිබුණි. අනතුරුව ඔහු විසින් සිදු කරන ලද අපරාධ කීපයක් හා යාපනයේ මාධ්‍යවේදිනියකට මරණීය තර්ජන එල්ල කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව යාපනය පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ට යම් කිසි බලයක් ලැබුණහොත් යාපනයේ නල්ලූර් කෝවිල කඩා එම ස්ථානයේ පොදු මහජන වැසිකිළියක් ඉදි කරන බවට අරුන් සිද්ධාර්ථන් ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලයද පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබිණි.

අත්අඩංගුවට ගත් අරුන් සිද්ධාර්ථන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment