ආශ්චර්යමත් ක්‍රයිස්චර්ච් ටෙස්ට් සටනින් සත්කාරකයෝ තියුණු ජයක් ලබති

240

ටෙස්ට් තරගයක ආශ්චර්යය මෙය යැයි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි සිට ලොවට හඬගා කියා පෑ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූර නවසීලන්තයට එරෙහිව දින පහක් පුරා හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ කළ සටන අවසන් පන්දුවේදී නවසීලන්තය ලබාගත් ‘බයි‘ ලකුණක් සමග තියුණු පරාජයකින් යුතුව ඊයේ (13 දා ) නිමා වූයේ ය.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ අසිත ප්‍රනාන්දු හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 08ක් ලබා ගැනීම ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි ශතක ලාභී කේන් විලියම්සන් සහ පළමු ඉනිමේ ප්‍රචණ්ඩකාරී ඉනිමක් ක්‍රීඩා කළ මැට් හෙන්රි හමුවේ තිබූ අභියෝගය විය.

ආශ්චර්යමත් ක්‍රයිස්චර්ච් ටෙස්ට් සටනින් සත්කාරකයෝ තියුණු ජයක් ලබති

ඒත් මුල් පන්දු තුන ඇතුළත නවසීලන්තයට ලකුණු තුනක් එකතු වෙද්දී මැට් හෙන්රි දුවද්දී දැවී යෑමට හසු වූ අතර ඉන් පසුව පිටියට පැමිණියේ මීට පෙර එංගලන්තයට එරෙහිව තරගයේ නවසීලන්තයට එක ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා දුන් නීල් වැග්නර්ය.

ඒ වන විටත් පන්දු යවන්නා සහ කඩුලු රකින්නා හැර සියලු දෙනා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට යොදවමින් විලියම්සන්ගේ අවසන් පන්දුවාරයේ ප්‍රහාරය නැවැත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම කඳවුරු බැඳ තිබුණි.

එහෙත් එම අවසන් පන්දුවාරයේ හතරවෙනි පන්දුවේදී විලියම්සන් පොයින්ට් කලාපයෙන් පන්දු රකින්නන් දෙදෙනකු අතරෙන් එල්ල කළ පහර නැවැත්වීමට කිසිදු ජගතෙකුට නොහැකි තරම් වූ අතර එම හතරේ පහරත් සමග ශ්‍රී ලංකාවේත් නවසීලන්තයේත් ලකුණු සම මට්ටමට පැමිණියේ ය.

ආශ්චර්යමත් ක්‍රයිස්චර්ච් ටෙස්ට් සටනින් සත්කාරකයෝ තියුණු ජයක් ලබති

ඒ සමගම එතෙක් වේලා හතරේ සීමාව ආසන්නයේ සිටි සියලු පන්දු රකින්නන් පිතිකරුවා සමීපයට පැමිණ දැලක් ආකාරයෙන් විලියම්සන්ට එක ලකුණ ලබා ගැනීම වැළැක්වීමට ස්ථාන ගතවිණි.

එම පස් වැනි පන්දුව විලියම්සන්ගේ හිසට ඉහළින් ලකුණු ලබා ගැනීමට නොහැකි ආකාරයෙන් යොමු කළ අසිත ප්‍රනාන්දු තරගයේ තීරණය අවසන් පන්දුව වෙතම ගෙන යෑමට සමත් වූයේය.

අසිතගේ අවසන් පන්දුව ද පෙර පරිදිම මැද කෙටි තරමක් ඉහළ එන ආකාරයෙන් යොමු කළ අතර විලියම්සන්ගේ පිත්තේ හරියට නොගැටුණු පන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට ගිය ද ඒ අතරවාරයේදී ලකුණක් සොයා තමා අන්තයට දිව ආ වැග්නර් ව දුවද්දී දවා ගැනීමට කඩුලු රකින දික්වැල්ලට නොහැකි විය. වහා එම පන්දුව රැගත් අසිත ප්‍රනාන්දු පන්දු යවන්නාගේ කඩුල්ලටම යොමුකළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුණේ විලියම්සන් පමණක් නොව මුළු නවසීලන්තය ම දෙලොවක් අතර තනි කරමිනි. තමන් ලකුණු සම්පූර්ණ කරා ද නැද්ද යන්න නොදැන එම අන්තයේ එලෙසම විලියම්සන් බිම වාඩිවී සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විලියම්සන් දැවී ගිය යැයි සිතා සතුට සැමරූහ.

එහෙත් තෙවැනි විනිසුරු එය නොදැවී යෑමක් ලෙස සනිටුහන් කරද්දී නවසීලන්තයට එම තරගයේ ජයග්‍රහණය කඩුළු දෙකකින් හිමිවූ අතර ශ්‍රී ලංකාවට ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ද මඟ හැරී ගියේය.

පස්වැනි දින ආරම්භයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා නවසීලන්ත පිලට ජයග්‍රහණය සඳහා ලබාගත යුතු වූ ලකුණු 257 සඳහා පන්දුවාර 52 ක් ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූයේ කඩුලු 9 ක් දවා ගැනීම පමණි. කෙසේ වෙතත් දිනයේ වාසනාව සංචාරකයන්ට වඩා සත්කාරකයන් සතුවීම නිසා තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමේ හැකියාව නවසීලන්තයට උදාවිය.

නවසීලන්ත ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි කේන් විලියම්සන් ලකුණු 121 ක් ලබා ගනිමින් දිනයේ වීරයා බවට පත්විය. ටොම් ලේතම් (24) සහ හෙන්රි නිකොල්ස්ව (20) අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දවා ගිනිමන් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණත්, නිරෝෂන් දික්වැල්ල අතින් විලියම්සන්ගේ උඩ පන්දුවක් අතහැර දැමීම, මෙම වේදනාකාරී පරාජයට ප්‍රධානම හේතුව බවට පත්විය.

ලකුණු 30 ක් ඇතුළත කඩුලු 2 ක් දැවී යෑම නිසා ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියට පැමිණියේය. එම පීඩනයද නවසීලන්ත කණ්ඩායම වෙත දෝලනය වී තිබූ නිසා විලියම්සන් පන්දුවට පහර දුන්නේ තැති ගැන්මකිනි. එය වාසියකට හරවා ගනිමින් පන්දු යැවූ ළහිරු කුමාරගේ පන්දුවකට පිත්තේ පිටත දාරයේ වැදී නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී යන විට විලියම්සන් ලබාගෙන සිටියේ ලකුණු 33 ක් පමණි. එම උඩ පන්දුව රැක

ගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගය මීට හාත්පසින්ම වෙනස් වී ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකට පත්වනු ඇත.

ඒ හැරුණු විට අවසන් ලකුණ ලබා ගැනීමේදීද දික්වැල්ලට දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට තිබූ අවස්ථාවටද ඔහුට අහිමි විය. යම් ලෙසකින් දික්වැල්ල විසින් යොමු කරන ලද පන්දුව කඩුල්ලේ වැදුණේ නම් සමව අවසන් වූ ටෙස්ට් තරගයක් ලෙස අද ටෙස්ට් තරගය නිමාවට පත්වනු ඇත.

උඩ පන්දුව ගලිහී යෑමෙන් වරම් ලබා ගත් විලියම්සන්, ඩැරල් මිචෙල් සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 142 ක සම්බන්ධතාවක් පවත්වමින් ගිලිහුණු තරගයේ වාසිය නවසීලන්තය වෙත ගෙන දුන්නේය. ඒ අතරතුර සිය 27 වැනි ටෙස්ට් ශතකය විලියම්සන් වාර්තා කරගත්තේ මුහුණ දුන් 177 වැනි පන්දුවේදීය.

විලියම්සන් තැන්පත් අයුරින් පන්දුවට පහර දෙන විට ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු පළමු ඉනිමේ ශතක ලාභියා වූ ඩැරල් මිචෙල් ලකුණු 81 ක් ලබා ගත්තේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණු මිචෙල්ගේ ඉනිම පන්දු 86 කින් සමන්විත විය. ඔහුගේ වේගවත් ඉනිම නිසා තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයෙන් අවසන් ලකුණු 40 රැස් කර ගන්නා ලද්දේ පන්දු 50 ක් පමණක් වැය කරමිනි. මෙම වේගවත් පිතිහරඹය, නවසීලන්ත ජයග්‍රහණයට ප්‍රධාන ලෙසින් ඉවහල් වුණු ඉනිමක් ලෙසින් සැලකිය හැක. මෙම කඩුලු සම්බන්ධතාවයේ තවත් දැක ගත හැකි සුවිශේෂත්වයක් වූයේ දැවැන්ත පහර මෙන්ම කඩුලු අතර දිව යෑමද ඉතා ඉහළ මට්ටමක පැවැතීමයි. ඔවුහු මෙම සම්බන්ධතාවයේදී ලකුණු 2 බැගින් 19 වතාවක් රැස් කරගනිමින් පීඩනය පන්දු යවන්නන් වෙතට යොමු කිරීමටද සමත්වූහ. පළමු ඉනිමේ ලද ලකුණු 102 ත් දෙවැනි ඉනිමේ ලද ලකුණු 81 ත් නිසා තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ඩැරල් මිචෙල් වෙතය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 92.4 කදී 355 යි.

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 107.3 කදී ලකුණු 373යි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 105.3 කදී ලකුණු 302යි.

නවසීලන්තය දෙවෙනි ඉනිම පන්දු වාර 70 කදී

කඩුලු 8 ක් දැවී ලකුණු 285යි

advertistmentadvertistment
advertistmentadvertistment