‘ආශාවරී’ තහනම් කළ කතාව බොරු

304

වයස අවුරුදු 16 ට අඩු දැරියන්ගෙන් සමන්විත පොළොන්නරු, මැදිරිගිරියේ “ආශාවරී” නම් වූ සංගීත කණ්ඩායම තහනම් කළ බවට පැතිර යන කථාවල සත්‍යතාවක් නැතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා “දිවයින”ට ඊයේ (10 දා) පැවසීය.

මෙම සංගීත කණ්ඩායම තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු කීය. ළමයින්ගේ කලා හැකියාවන් ප්‍රගුණ කිරීමට අනතුරුදායක නොවන පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් පාසල් සංදර්ශන වලදී රඟදැක්වීම් කිරීමටත් ළමයින් සේවයේ යෙදවීමේ පනත මගින් බාධාවක් නොමැති බවත් ඒ මහතා කීය.

ළමා ශ්‍රමය මෙරටින් තුරක්කිරීමේ කාර්යභාරය පැවරී ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත ක්‍රියාත්මක කරනු ලබන බවත් ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ළමා ශ්‍රමය යෙදවුම් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම දෙපාර්තමේන්තුවට පැවැරී ඇති ප්‍රධාන කාර්යයක් බවත් චන්ද්‍රකීර්ති මහතා කීය.

2022 සැප්තැම්බර් 23 වැනිදා රාත්‍රී කාලයේදී ආශාවරී සංගීත කණ්ඩායමේ වයස 16 ට අඩු ළමයි සිටින බවට දෙපාර්තමේන්තුව වෙත වාර්තාවීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් සිදුකිරීමට දෙපාර්තමේන්තු නිලධාරීන් ගිය බවත් එහිදී නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් සමාජ මාධ්‍යවල සාවද්‍ය ප්‍රචාරයක් ගෙනගිය බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් මෙම සංගීත කණ්ඩායම තහනම් කිරීමක් සිදුකර නැතැයි ද චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment