ආසවට්ඨානීය ධර්ම

1963

භාග්‍යවතුන් වහන්සේ දොළොස්වන වස් කාලය වේරඤ්ජාවෙහි වැඩවසන කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරදුන් වෙත පැමිණ මෙසේ විමසුවේය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කවර බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පවතීද, කවර බුදුවරුන්ගේ ශාසනය බොහෝකල් නොපවතීද?” සාරිපුත්තයෙනි, විපස්සී, සිඛී, වෙස්සභූ යන බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නොපැවතුණි. කකුසඳ කෝණාගම, ශාක්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය බොහෝකල් පැවතුණි. එසේ වන්නට හේතු කාරණ වූයේ මේවාය.

විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරාජාණන් වහන්සේලාගේ ශාසනය චිරස්ථායි නොවීමට හේතු වූයේ

ඕවාද ප්‍රාතීමෝක්‍ෂය පමණක් දේශනා කිරීම

ශ්‍රාවකයන් වහන්සේලාට ශික්‍ෂාපද නොපැනවීම

ආණා ප්‍රාතිමෝක්‍ෂය දේශනා නොකිරීම

ශ්‍රාවකයන් වහන්සේලාට විස්තර විභාග වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සහ නොකිරීම

නවාංග ශාස්තෘ ශාසනය ඉතා ස්වල්ප වීම

මල් ආසනයක තැන්පත් කරන ලද මල් නූලකින් නොගොතන ලද කල්හි සුළඟින් ඒ මේ අත විසිරෙන්නේ යම්සේද, එපරිදිම ඉහත කරුණු හේතුවෙන් ඒ බුදුරජාණන් වහන්සේලාත් උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවන් පෑ කල්හි නොයෙක් නම් ඇති ගෝත්‍රවලට ජාතිවලට කුලවලට අයත් පසුකාලීන ශ්‍රාවකයෝ ඒ බුදුසසුන අතුරුදන් කළෝය.

නමුත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළේය.

ශ්‍රාවකයන් වහන්සේලාට ශික්‍ෂාපද පැනවූයේය.

ආණා ප්‍රාතිමෝක්‍ෂය දේශන කළේය.

ශ්‍රාවකයන් වහන්සේලාට විස්තර වශයෙන් ධර්මය දේශනා කළේය.

සුත්ත, ගෙය්‍ය වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බහුල කොට දේශනා කළේය.

මල් ආසනයක නූලකින් අමුණන ලද මල්, මල් ආසනයේ විසිර යා නොදී රැඳෙන්නේ යම් ආකාරයකින්ද ඒ බුදුරජාණන් වහන්සේලාත්, සම්මුඛ මහ රහතන් වහන්සේලාත් පිරිනිවන් පා වදාළ කල්හි නොයෙක් නම් ගොත් ඇති ඒ ඒ ජාතී කුලවලට අයත් ශ්‍රාවකයෝ ශ්‍රද්ධාවෙන් බුදු සසුනේ පැවැත්ම චිරස්ථායී කළෝය.

එවිට සාරිපුත්තයන් වහන්සේ “ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය දිගුකල් පවතින්නේ වේද එසේ නම් ස්වාමීනි සසුන බොහෝකල් පැවතීම උදෙසා ශික්‍ෂාපද පනවනු මැනවියි ආරාධනා කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයිනි එයට සුදුසු කාලය මෙය නොවන්නේය. යම් කාලයක ශාසනයෙහි ආසවට්ඨානීය ධර්මයන් පහළ වන්නේද එකල්හි ශ්‍රාවකයන් වහන්සේලාගේ පහසුව පිණිසත් ආසවට්ඨානීය ධර්ම නැසීම පිණිසත් ආණා ප්‍රාතිමෝක්‍ෂය දේශනා කරන්නෙමියි වදාළහ.

ආසවට්ඨානීය ධර්ම යනු මෙලොව වශයෙන් ගර්හාවට, වධබන්ධනයට, පසුතැවිල්ලට හේතුවන පරලොව වශයෙන් සතර අපායට ගොදුරු වන විතිත්කම දෝෂයි. එනම් ශාස්තෘත්වය ඉක්ම යන ක්ලේශ ධර්මයන්ගේ පහළ වීමයි. එනම්

රත්තඤ්ඤු මහත්තතා

වෙපුල්ල මහත්තතා

ලාභග්ග මහත්තතා

බාහු සචච මහත්තතා

ශාසනය ආරම්භ වී බොහෝ කල් ගතවීමත්, ස්ථවිර, මධ්‍යම, නවක වශයෙන් පැවිදි ශ්‍රාවික පිරිස විශාල වීමත්, සිව්පසය ආදී ලාභයන් විශාල වීමත්, උගතුන් විශාල වීමත්ය. මෙම ආසවට්ඨානීය ධර්ම හතර සාරිපුත්තයන් වහන්සේට වේරඤ්ඡාවේදී දේශනා කළේය. මජ්ඣිම නිකායේ භද්දාලි සූත්‍රයේද ආසවට්ඨානීය ධර්ම පහක් වශයෙන් වදාරා ඇත. ඒ අතර “යසග්ගං” යසසින් හෙවත් පිරිවර සේනාවෙන් අග්‍ර බවට පැමිණීමද ආසවට්ඨානීය ධර්මයන් ලෙස දේශනා කොට ඇත.

ශාසනයේ දිගු පැවැත්මත් ශ්‍රාවකයන් වහන්සේලාගේ සාමග්‍රියත්, පහසුවත්, පිණිස පාරාජිකා සංඝාදිසේස, අනියත, පාචිත්තිය, නිස්සග්ගිය පාචිත්තිය, පාටිදේෂනීය, අධිකරණ සමථ, සේඛියා කියන විනය නීති 227 ක් ආණා ප්‍රාතිමෝක්‍ෂය ලෙස වදාළේ සසුනෙහි අර්බුද හටගත් නිසාය. බුද්ධත්වයෙන් විසිවසක් ඉක්ම ගිය තැන ඉහත ආසවට්ඨානීය ධර්ම පහළ විය.

බුද්ධත්වයෙන් මුල් වසර විස්ස තුළ ශ්‍රාවකයන් වහන්සේලාට කළ අනුශාසනාව වූයේ ඉවසීම ඇති තපස උතුම්ය. ශාන්ත ලක්‍ෂණ නිර්වාණය උතුම් යයි බුදුවරු දේශනා කරති. අනුන්ගේ ජීවිත නසන තැනැත්තා පැවිද්දෙක් නොවේ. අනුත් පෙළන නැතැත්තා මහණෙක් නොවෙයි කායාදී තිදොරින් ප්‍රාණඝාතාදී සියලු අකුසල් නොකළ යුතුය. සියලු ලෞකික ලෝකෝත්තර කුසල් කළ යුතුය. පංච නීවරණයන්ගෙන් සිත පිරිසිදු කළ යුතුය. මේවා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි.

අන් අයට වචනයෙන් අක්‍රෝෂ පරිභව නොකළ යුතුය. අතින් පයින් අන් අය හට හිරිහැර නොකළ යුතුය. අන් අය ඝතනය නොකළ යුතුය. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් සංවර විය යුතුය. ආහාරයෙහි පමණ දැනගත යුතුය. ජනශූන්‍ය සේනාසනවල ඇලිය යුතුය. සමථ විදර්ශනා භාවනා වැඩිය යුතුය. සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

ප්‍රථම සම්බෝධි සමයේ මෙම අනුශාසනාව සංඝ සමාජයේ දියුණුවට උපකාරී විය. නිවන් අවබෝධ කළ ශ්‍රාවකයෝ එකල බොහෝ වූහ. නමුත් ආසවට්ඨානීය ධර්ම ශාසනයේ පහළ වූ කළ සංඝ සමාජය පිරිහී ගියේය. නිවන් අවබෝධ කරන පිරිස ද ඉතා අල්ප වූහ.

දඩල්ල වාලුකාරාම වෙහෙර වැසි ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment