ආසාදිතයන් හා මරණ ප‍්‍රතිශතයෙන් ශ‍්‍රී ලංකාව ලෝකයේ අංක එකට පත්වෙලා…. කොරෝනාව අස්සේ ආණ්ඩුවට බල උන්මාදය වැළඳිලා

251

තත්ත්වය මෙතරම්ම උග‍්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව භාරගත යුතු බව අපි අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 එම නිවේදනය මෙසේය.

 කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් වෙත අපේ රට පත්ව ඇති බව කනගාටුවෙන් වුවත් පිළිගත යුත්තකි. සත්‍ය දත්ත මීට වඩා භයානක අගයක් ගන්නවා විය හැකි අතර තත්ත්වය මෙතරම්ම උග‍්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව භාරගත යුතු බව අපි අවධාරණය කරමු.

 එහෙත් ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරයෙක් ප‍්‍රකාශ කොට ඇත්තේ ඉදිරිය දෙවියන්ට භාරදිය යුතු බවය. මෙතරම් අමනෝඥ ලෙසත්, මෙතරම් වගකීම් විරහිත ලෙසත් ආණ්ඩුව හැසිරෙන්නේ මරණ සහ ආසාදිතයන් හමුවීමේ ප‍්‍රතිශතය අතින් ලෝකයේ අංක එකට ශ‍්‍රී ලංකාව පත්ව තිබියදීය.

 සමස්ත රටේ ජනතාව කෙසේ වෙතත්, තමන්ට ඡුන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ ජනතාවගේ බුද්ධියට ද නිගාදෙන මට්ටමේ ප‍්‍රකාශ නිකුත් කිරීමට තරම් ආණ්ඩුව පිරිහී තිබීම කනගාටුදායකය.

 කොරෝනා ව්‍යසනය මෙරට ආක‍්‍රමණය කරන බව අප කල්තියා දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ ආණ්ඩුව කොරෝනා ව්‍යසනය මෙරට ආක‍්‍රමණය කළ විටද හැසුරුණේ අතිශය උන්මත්තක, වගකීම් විරහිත විලාසයෙනි.

 මුල සිටම මේ කොරෝනා ව්‍යසනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කර ගත්තේ ආණ්ඩුවය. තමන් විසින් කොරෝනා පරාජය කළ බවට පුරසාරම් දොඩමින් ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.

 වහාම මෙරටට කොරෝනා එන්නත කල්තියා ඇනවුම් කරන ලෙස පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනේක වාරයක් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් විවිධ තානාපතිවරු හමු වූ සෑම අවස්ථාවකම අප ඉල්ලා සිටියේ මෙරටට අවශ්‍ය කරන එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසය.

 නමුත් මේ සියල්ල උපහාසයෙන් යුතුව බැහැර කළ ආණ්ඩුව ඒ වෙනුවට ධම්මික පැණිය ප‍්‍රචලිත කළ අතර එය පාර්ලිමේන්තුවටම රැුගෙන ආවේය. පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමැතිවරුන්ම ඊනියා පැණි ප‍්‍රචාරක නියෝජිතයන් බවට පත්වූහ. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ගංගාවලට මුට්ටි දැමීම ජනගත කළ අතර මිථ්‍යාවේම ලැග ගෙන සිටියෝය.

 එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මූල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප‍්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් අප විසින් නිරන්තරයෙන් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවට එවැනි සැලැස්මක් තිබුණේ නැත. ඒ පිළිබඳව තැකීමක් කළේ ද නැත.

 කැනඩාව වැනි රටවල් එක් පුරවැසියකුට එන්නත් මාත‍්‍රා කිහිපයක් වෙන් කරගත් අතර අදත් එම රටවල එන්නත් අතිරික්තයක් තිබේ. නමුත් අපේ රටේ පළමු එන්නත හෝ නොලද පිරිස් තවමත් සිටී.

 අප එදා සිට මේ දක්වා කල්තියා කියන ලද සියල්ල නිවැරදි වී ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ වහාම එන්නත් තුන්වෙනි මාත‍්‍රාව ඇණවුම් කිරීමය.

 මේ වනවිටත් අපේ රටේ කොරෝනා ව්‍යසනයෙන් මියගිය 80%ට වැඩි ප‍්‍රතිශතය වයස 60 ඉක්මවූවන් ය. සෞඛ්‍යමය රෙගුලාසි ප‍්‍රකාරව එන්නත්කරණයේදී ප‍්‍රමුඛත්වය දිය යුතුව තිබුණේ ඔවුන්ට ය. ආණ්ඩුව එය සාහසික ලෙස පැහැර හැරියේ වයස 60 ඉක්මවූ පිරිස්වල ජීවිත නොසලකා හරිමින් ය.

 ජර්මන් චාන්සලර් මර්කල් මහත්මිය කියා සිටියේ තමන් හෝ කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය හෝ විද්‍යාව නොදන්නා බවත් කොවිඞ් පාලනය කිරීමට වෛද්‍ය විශේෂඥයන්ට සහ වෛද්‍ය විද්‍යාඥයන්ට භාර දී ඇති බවත්ය. ඔස්ටේ‍්‍රලියාවේ අගමැතිවරයා පවසා ඇත්තේ ද එවැන්නක්ය. ලෝකය එවැනි ආදර්ශ ලබා දෙද්දී අපේ රටේ තත්ත්වය සහමුලින්ම වෙනස් ය.

 රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය, පුහු මාන්නය, උද්දච්චකම සහ වගකීම් විරහිතකම නමැති රෝගයන් ය. අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවටය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment