ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැමිණෙති

117

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (08 වැනිදා) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි මෙරටට පැමිණියහ.

මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් නගරයේ දී පසුගිය 04 වැනිදා සිට පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගි වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.

වලල ඒ. රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියාය. එයට අමතරව මීටර් 400 ජවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගෙන තිබුණි.

තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03 ක් දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව, මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපළේ දී පැවසීය.

තරුෂි සිය අදහස් පළ කරමින් තමන් මීට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොදුරු වී සිටි බවත්, මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරග වලදී තමන් වාර්තාවක් තැබීමට උත්සාහ ගත්ත ද, තමන්ට අභියෝග කිරීමට තරගකරුවන් නොමැති වී තිබීම නිසා තමන්ට එම අවස්ථාව අහිමි වී ගිය බව ද පැවසුවාය.

මීට අමතරව ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ, ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පදක්කම් දිනා ගෙන තිබුණි.

ඔවුන් පෙරේදා දින රාත්‍රී 09.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයා ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීහූ, මෙම සිසුන් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරු, ගුරු භවතුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ එම පාසල් වල ඉගෙනුම ලබන සිසුහු ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment