ආසියානු කලාපයේ ආතතිය කොයිබටද…?

292

චීන තායිවාන ගැටලුවට ඇමෙරිකාව අතපෙවීම කලාපය පුරා යුද බියක් ඇතිකිරීමට හේතුවක්ව පවතී, චීනය සහ තායිවානය දේශපාලන හා මිලිටරි ගැටුම්වල දිගු ඉතිහාසයක් ඇති අතර, මෙම තත්ත්වය එක් එක් කාලවලට අදාළව ඒ ඒ රටවල අභ්‍යන්තර දේශපාලන ප්‍රතිපත්තිවල වෙනස්කම්වලට සාපේක්ෂව චලනය වෙමින් පවතී. චීනය විසින් තායිවානය යනු තම රටට හිමි පළාතක් ලෙස සලකන අතර තායිවානය ඇතුළත චීන පාලනය නැවත ස්ථාපිත කිරීමට දිගු කලක් තිස්සේ උත්සාහ කරමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන් තායිවාන රජය සිය ස්වෛරීත්වය පවත්වා ගැනීමට උත්සාහ කරමින් පවතී. මේ වනවිට චීනය දකුණු චීන මුහුදේ සිය මිලිටරි ආධිපත්‍ය වැඩි කර ඇති අතර තායිවානය යනු චීනයේ ප්‍රධාන භූමියේ කොටසක් ලෙස පිළිගැනීමට අනෙකුත් රටවලටද බලපෑම් කිරීමට උත්සාහ කරමින් පවතී.

මේ වනවිට චීනය සහ තායිවානය අතර ගැටුමට ඇමෙරිකාව ද ඍජුවම සම්බන්ධ වී ඇත. එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ තමන් තායිවානයේ ආරක්ෂකයකු ලෙස සලකයි, එය 1979 දී ඇතිකර ගනු ලැබූ තායිවාන ඇමෙරිකා සබඳතා පනතේ පවා ඇතුළත් කර ඇත. මෑත වසරවලදී, එක්සත් ජනපදය ද කලාපය තුළ සිය මිලිටරි ආධිපත්‍ය වැඩිකරමින් තායිවානයට හමුදා සහාය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. යුක්රේන – රුසියා යුද්ධයේදී කලාක් මෙන් තායිවානයට ආයුධ සහ විශ්වාසය ලබාදීමට එක්සත් ජනපදය උත්සාහ කරයි. එමන්ම ඇමෙරිකාව පිලිපීනය, ඉන්දුනීසියාව වැනි අනෙකුත් රටවලද විශ්වාසය දිනා ගනිමින් චීනයට එරෙහිව නැඟී සිටීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටී. මෙම තත්ත්වය ඉතා පරෙස්සමින් කළමනාකරණය නොකළහොත් ආසියාව දරුණු ඛේදවාචකයක් දක්වා ගෙන යෑමට හැකියාව පවතී.

ආසියානු කලාපයේ ආතතිය කොයිබටද…?

2018 දී එක්සත් ජනපදය චීනයේ අසාධාරණ වෙළෙඳ භාවිතයන්වලට ප්‍රතිචාරයක් ලෙස චීන ආනයන සඳහා තීරුබදු පනවන ලදී. එතැන් සිට, දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඇමෙරිකා – චීන සබඳතා පළුදු විය. මේ වනවිට එක්සත් ජනපදය හා චීනය වෙළෙඳ යුද්ධයක සිරවී ඇති අතර, දෙපාර්ශ්වයම තවදුරටත් තීරුබදු සහ වෙළෙඳපොළ තුළ විවිධාකාර අන්දමින් දෙපාර්ශ්වයටම තර්ජන මතු කරමින් සිටී.

කලාපයේ මිලිටරි ගැටුම්වලට අදාළ උණුසුම වැඩිවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද පීඩනයක් එල්ල කිරීමට හේතුවක් වේ. ගැටුමක තර්ජනය ආයෝජකයන් සහ විදේශ ආයෝජන අඩුවීමට හේතුවේ. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට අහිතකර ලෙස බලපෑම තුළින් ආර්ථික වර්ධනය අඩුවීමට සහ රැකියා අවස්ථා අඩුවීමට හේතුවක් වනු ඇත.

මෙම යුද්ධයක් ඇතිවීමේ බලවත් අන්තරායකාරී වාතාවරණය හැරුණු කොට කලාපයේ තව රටවල්ද විවිධ ආරවුල්වලට ලක්වීම හේතුවෙන් ආසියාවේ වත්මන් භූ දේශපාලනික තත්ත්වය තවදුරටත් නොසන්සුන් කිරීමට හේතු වී ඇත. මෙම රටවල්වලට ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ උතුරු කොරියාව ඇතුළත් වේ. දෙරටටම හිමිකම් කියන අක්සායි චින් කලාපය සම්බන්ධයෙන් චීනය ඉන්දියාව සමඟ දීර්ඝකාලීන දේශසීමා ආරවුලක පැටලී සිටී. මීට අමතරව, නැගෙනහිර චීන මුහුදේ සෙන්කාකු දූපත් සම්බන්ධයෙන් චීනය ජපානය සමඟ ආරවුලක පැටලී සිටී. ඉන්දියාවද පකිස්ථානය සහ චීනය සමඟ දිගින් දිගටම ගැටුම් පවතී. අක්සායි චින් කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර ගැටුම් කිහිපයක් ඇති වී තිබේ. මතභේදයට තුඩු දී ඇති කාශ්මීර ප්‍රදේශය සම්බන්ධයෙන් පාකිස්තානය ඉන්දියාව සමඟ දීර්ඝකාලීන ගැටුමක පැටලී සිටී. දෙරට අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාවක් වන ඩුරන්ඩ් රේඛාව සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය සමඟ පාකිස්තානය ද අඛණ්ඩ ගැටුමක පැටලී සිටී.

ආසියානු කලාපයේ ආතතිය කොයිබටද…?

කලාපයේ පවතින අස්ථාවරත්වය රටේ භාණ්ඩ හා සේවා සඳහා මිල ඉහළ යෑමට ද හේතු වී තිබේ. එමන්ම ගැටුමක් ඇතිවීමේ හැකියාව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු විය හැකි අතර එතුළින් සංචාරක ක්ෂේත්‍රයට සහ රටේ සමස්ත ආර්ථිකයට හානියක් වී වැඩි ඉඩකඩක් පවතී. දැඩි ආර්ථික හානියක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ගැටුමේදී මධ්‍යස්ථව සිටීම ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යයෙන්ම කළයුතු කරුණක් වේ. ශ්‍රී ලංකාව තම ආර්ථිකය සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා දෙරට සමඟම ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ද උත්සාහ කළ යුතුය. එමන්ම ශ්‍රී ලංකා රජය විසින්; තත්ත්වය සමනය කිරීමට සහ කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට කලාපීය ආරක්ෂක සංවාදයක් ඇතිකිරීමට පාර්ශ්ව දිරිමත් කිරීම තුළින් කලාපය තුළ වඩා හොඳ ආරක්ෂිත පරිසරයක් ගොඩනැඟීමට උපකාර කළ හැකි වේ. රටවල් අතර සංවාදයන් සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීමට මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීම. චීනය, තායිවානය සහ එක්සත් ජනපදය අතර භේදය සමනය කිරීමට උපකාරී වන මධ්‍යස්ථ තෙවන පාර්ශ්වීය පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියා කිරීම යන කාර්යයන් ශ්‍රී ලංකා රජයට කළ හැකි කාර්යයන් වේ.

පසුගියදා පිලිපීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ මෙම ආරවුලට මැදිහත් වන ලෙසයි. දකුණු චීන මුහුද සම්බන්ධයෙන් ඉන්දුනීසියාව ද චීනය සමඟ අමනාප වී ඇත. කලාපය තුළ චීනයේ ආක්‍රමණශීලී ස්ථාවරය පිළිබඳව ඉන්දුනීසියාව සිය කනස්සල්ල පළ කර ඇති අතර ඉන්දුනීසියානු ස්වෛරීත්වය උල්ලංඝනය කරන බවට චීන ජාතිකයන්ට චෝදනා කර තිබේ. ඉන්දුනීසියාව ද එක්සත් ජාතීන්ගේ ආරවුල සමතයකට පත් කිරීමට උදව් කරන ලෙස ඉල්ලා තිබේ. චීනය සමඟ ගැටුමකට බෲනායි ද සම්බන්ධ වී ඇත. දකුණු චීන මුහුදේ චීනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බෲනායි සිය කනස්සල්ල පළ කර ඇති අතර කලාපය තුළ තම අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර තිබේ. මෙම ආරවුල විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ විය යුතු බවට බෲනායි රාජ්‍යයද ඉල්ලීමක් කර ඇත.

යුද්ධයක් ඇති වූ විට පීඩාවට පත්වන්නේ යුද බිමේ සිටින සෙබළුන් පමණක් නොවේ. යුද්ධයේ ප්‍රතිවිපාක සටන් අවසන් වී බොහෝ කාලයක් පුරා අප අතර රැඳෙන යුද්ධය තුළින් මානව වර්ගයා කෙරෙහි ඇතිකරන පීඩනය මැනිය නොහැකි තරම් ඉහළ තලයක පවතී. තම රටේ යුද්ධයක් දැක ඇති ජාතියක් ලෙස, යුද්ධයක විනාශකාරී බලපෑම ගැන ශ්‍රී ලාංකිකයන්ට විශාල අවබෝධයක් පවතී. යුද්ධය යනු විසඳුමක් නොවන බවත් එය අවසානයේ ජයග්‍රාහකයන් ගෙන එන්නේ නැති බවත් ශ්‍රී ලංකාවේ ජනතාව තේරුම් ගෙන සිටිති.

ප්‍රවීන පර්යේෂකයෙක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයට අනුයුක්ත මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “චීනය, තායිවානය සහ එක්සත් ජනපදය අතර යුද්ධයක් ඇතිවුවහොත්, එයට සම්බන්ධ වූ සියල්ලන්ටම විනාශකාරී තත්ත්ව උදා වනු ඇත, යුද්ධයක තර්ජනය සැහැල්ලුවට නොගත යුතු අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ප්‍රවේශමෙන් තත්ත්වයට ප්‍රවේශ වී සාමකාමී විසඳුමක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. සාමය සැමවිටම හොඳම විකල්පයයි. යුද්ධය ජයග්‍රාහකයින් ගෙන එන්නේ නැත.

ආසියානු කලාපයේ ආතතිය කොයිබටද…?

ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ

advertistmentadvertistment
advertistmentadvertistment