ආසියානු ක්‍රීඩා උළෙලට  – සුදුස්සන් සෙවූ හොකී තරගාවලියේ වැඩිම ගෝලලාභියා ධනුෂ්ක

163

රටවල් 09 ක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් අගනුවරදී ක්‍රියාත්මක කෙරුණු මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ පිරිමි හොකී තරගාවලියේ වැඩිම ගෝල් රැස්කිරීමේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු සමත් විය.

තරග 05 ක් ආශ්‍රිතව විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු රැස් කළ ගෝල් සංඛ්‍යාවේ එකතුව 07 කි. සිංගප්පූරුවට එරෙහිව වාර්තා කළ ගෝල් ත්‍රිත්ව අවස්ථාව ද ඒ අතරේ වීම කැපී පෙනේ.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සෙකු වීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම ගන්නා ලද අවසන් උත්සාහය සාර්ථක කර ගනිමින් සෙනසුරාදා (14දා) හොංකොං දේශය ද ඉරිදා (15දා) උස්බෙකිස්ථානය ද පරාජයට පත් කරමින් 05 වැනි ස්ථානය තහවුරු කර ගත්තේය.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ ගෝල් 05 – 02 ක් ලෙසද ඉන්දුනීසියාව හමුවේ 03 – 01 ක් ලෙසද පරාජය ලැබීම හේතුවෙන්

අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමි වුණු ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කිරීමේ වටයට එක්වෙමින් හොංකොං දේශයට එරෙහිව ගෝල් 05 – 02 ක ජයග්‍රහණයක් සටහන් කර ගත් අතර ඉරිදා (15දා) උස්බෙකිස්තානය දඬුවම් ප්‍රහාර (08 second Penalty Shoot Out) ආශ්‍රිතව ගෝල් 03 – 01ක් දෙස පරාජය කරමින් 05 වැනි ස්ථානය හිමි කර ගත්තේය.

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තරඟය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල 03 – 03 ක් ලෙස සම තත්ත්වයක පසු විය.

මෙවර තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී බංග්ලාදේශය පරදා ගෝල 06 – 02 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ඕමානයට හැකි විය.

අවසන් පූර්ව වටයේදී ඕමානය හමුවේ ගෝල 02 – 00 කින් ඉන්දුනීසියාව ද බංග්ලාදේශය හමුවේ තායිලන්තය ගෝල 04 – 01 ක් ලෙස ද පරාජය ලැබීය.

2018 වසරේ පවත්වන ලද අවසන් වර තරඟාවලියේ ශූරතාවය ඕමානයටද අනුශූරතාව බංග්ලාදේශයටද ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවටද සිව් වැනි ස්ථානය තායිලන්තයටද හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment