ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ක්‍රීඩා 17 ක් ඉලක්ක වෙයි

120

මාස හතරකින් බත් පැකැට්ටුව නැහැ – ක්‍රීඩකයන්ගෙන් මැසිවිලි
ක්‍රීඩා සංගම් හැමදේටම ජාත්‍යන්තරය හමුවට යෑම ඇමැති හෙළා දකියි

එළඹෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී කණ්ඩායම් ක්‍රීඩා තුනක් සහ තනි ක්‍රීඩා දාහතරක් ඉලක්ක කර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට දැනට තීරණය කර ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21 වැනිදා ) පැවති හමුවකදී අනාවරණය විය.

චීනයේදී ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන එම තරගාවලිය සඳහා සහභාගී කරවන අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතය තව සති දෙකකින් පමණ එළිදකිනු ඇති බවද එහිදි ප්‍රකාශයට පත් කෙරිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ක්‍රීඩා සභාව සහ ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය මත එම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති එම හමුවේදී සඳහන් විණි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා තේරීම් සභාවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් වන මයියා ගුණසේකර, විශ්‍රාමික ජෙනරාල් රජිත අම්පේ මොහොට්ටි, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපාල් සිරිබද්දන ආදි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම හමුව සඳහා ජාතික තලය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් සහභාගි වූහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සිය ප්‍රශ්න හා යෝජනා එහි දී ඇමැතිවරයා ප්‍රමුඛ මූලාසනය වෙත යොමු කිරීමට අවසර තිබුණි.

ඒ අනුව මාස හතරක පමණ කාලයක සිට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශයෙන් පොරොන්දු වූ බත් පැකැට්ටුව නොලැබෙන බවද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ චෝදනා මුඛයෙන් සඳහන් කර සිටියහ.

ඒ සඳහා අවශ්‍ය මුදල් ක්‍රීඩා සංවර්ධන අරමුදලෙන් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත දැනුම් දෙන ලදී.

ස්කොෂ්, බැඩ්මින්ටන් ආදී ක්‍රීඩා සඳහා නිසි පුහුණුකරුවන් නොමැති වීම පිළිබඳව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙහිදී අවධානය ලක් කරන ලද අතර ඒ පිළිබඳව සොයා බලා විසඳුම් සෙවීමට එහිදී එකඟතාවයකට පැමිණිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතරම් අපහසුතාවයන්ට ලක් වීමට ප්‍රධාන හේතුව ක්‍රීඩා සංගම්වල තිබෙන අකාර්යක්ෂමතාව බවත් තමන්ට කළ හැක්කේ ක්‍රීඩා සංගම් නියාමනය කිරීම පමණක් බවත් ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සදහා ජාතික ක්‍රීඩා සභාව හමුවට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණ ද එම සංගම් අතරින් මේ දක්වා ජාතික ක්‍රීඩා සභාව හමුවට පැමිණ ඇත්තේ අතේ ඇඟිලි ගාණට සමාන ක්‍රීඩා සංගම් කිහිපයක් බවත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

රග්බි ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව රැක ගැනීම පිණිස අමාත්‍යාංශයක් ලෙස හැකි පමණින් කටයුතු කරමින් සිටින බව ද එහෙත් අමාත්‍යාංශයට දොස් පවරමින් හිටපු පරිපාලකයින් කටයුතු කරමින් සිටීම කනගාටුවට කරුණක් බව ද ඇමතිවරයා පැවසීය.

තමන්ට අවශ්‍ය පරිදි ක්‍රීඩා සංගම් පරිපාලනය කරන ඇතැම් පරිපාලකයෝ රටේ නීතියට එරෙහිව වැඩ කරද්දි ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට යෑමේදී දේශපාලන බලපෑම් යැයි කියමින් ජාත්‍යන්තරය හමුවට යෑමෙන් ක්‍රීඩාවට විශාල හානියක් සිදු වී ඇති බවද ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කළේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment