ආසියානු කුසලානයෙන් ලෝක කුසලානයට…

251

ක්‍රිකට් ක්‍රීඩාවට පෙම්බඳින ලෝකවාසී ප්‍රේක්ෂකයන්ගේ මනfදාල පිනවමින් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලෝක ශූරයෝ සොයන 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරැඹීමට ඇත්තේ හරියටම තව දින 14කි. 2014 වසරේදී ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරත් එම බලපොරොත්තුව කරපින්නා ගනිමින් ලෝක කුසලානය සුරතට ගැනීමේ සටනට කඳවුරුලෑම සඳහා මේ වනවිටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටී.

වසර 6කට පසු ආසියානු ක්‍රිකට් ශූරයින් ලෙස පසුගියදා කිරුළු පැළැඳි ශ්‍රී ලංකාව වසර 8කට පසු විස්සයි විස්ස ලෝක ශූරයෝ ලෙසද මෙවර කිරුළු පළඳිනු ඇතැයි මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ දමා තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් තරුණ ජවයෙන් සමන්විත නවක කණ්ඩායම ඊට උත්තේජනය සපයද්දී ක්‍රිස් සිල්වර්වුඩ් සහ නවීඩ් නවාස්ගේ පුහුණුකාරීත්වය කෝටි දෙකක් වූ ලක්වාසීන්ගේ බලාපොරොත්තු ඉහළ දමා තිබේ.

ඊයේ (01 වැනිදා) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ලබන 16 වැනිදා සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ නැමීබියානු කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතව තිබේ. අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නෙදර්ලන්තය සමගින් තරග කර සුපිරි 12 දෙනාගේ වටයට ඇතුළත් විය යුතුය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත්වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත් සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ සුදුසුකම් ලැබීමේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවේ. යම් කිසි හේතුවකින් සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වුවහොත් සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවැනි කාණ්ඩයට ඇතුළත් වී ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.

මෙවර ලෝක කුසලානයට පිටත්ව ගිය ශ්‍රී ලංකා බලඇණිය පිළිබඳ විමසීමේදී පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක කෙරේ වැඩි බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ චරිත් අසංලක සහ දනුෂ්ක ගුණතිලකටද සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකාවට එය මහත් වාසි සහගත කරුණක් බවට පත්වේ.

තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණු කඳවුරකට සහභාගි වී තම මානසික මට්ටම මෙන්ම ක්‍රීඩා කෞෂල්‍ය මුවහත් කරගත්තේය. මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගගේ උපදේශනය මත සිදු කෙරුණු එම පුහුණු සැසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරද කණ්ඩයමට එක්විය. ආසියානු කුසලාන තරගාවලියේදී ආබාධයන් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සේවය ශ්‍රී ලංකාවට අහිමි වුවද ප්‍රමෝද් මදුශාන් සහ ඩිල්ශාන් මදුසංක එම අඩුව පිරවීය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේදී දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරගේ ආගමනය සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු බලඇණිය තවත් ශක්තිමත් වී තිබේ. කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා දෙස බැලීමේදී වනිදු හසරංග, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිලවාගේ දායකත්වය ඊට නොඅඩුව ලැබෙනු ඇත.

තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, ජිලෝන් සයිමන්ඩ්ස්, හෝබාර්ට් බෙල්රිව් ඕවල්, පර්ත්, මෙල්බර්න්, බි්‍රස්බේන් සහ ඇඩිලේඩ් යන ක්‍රීඩාංගණ 7ක ක්‍රියාත්මක වේ. ඕනෑම රටක තණතීරු තමන්ගේ කණ්ඩායමට වාසිවෙන අයුරින් නිර්මාණය කරනු ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ තණතීරු තුළ සත්කාරක වාසිය ලබා ගන්නවා නොඅනුමානය. ආසියානු තණතීරුවලින් පිට වසර
ගණනකින් ඔස්ට්‍රේලියානු තණතීරුවල ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකාවට මෙම කටයුත්ත යම් අවාසිදායක ස්වභාවයක් වුවද වත්මන් කණ්ඩායම දෙස බැලීමේදී එම අභියෝගය පහසුවෙන් ජය ගනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිය.

තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් දෙස බැලීමේදී සුපිරි කණ්ඩායම් 11 දෙනාගෙන් එක් කණ්ඩායමක් හෝ අවතක්සේරු කළ නොහැකිය. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවෙද්දී සුපිරි 12 දෙනාගේ වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා නොසිටින්නේ එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව හැරුණුකොට ශ්‍රී ලංකාවට ඉහළින් සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් පමණි.

කෙසේ වෙතත් ආසියානු ශූරතාවට යද්දී තරගාවලිය ජය ගැනීමේ සියයට 0ක ප්‍රතිශතයක් සහිතව පිටත්ව ගිය ශ්‍රී ලංකාව නොසිතූ පෙරළියක් කරමින් ආසියාවටම පාඩමක් කියා දුන්නේය. ඒ අනුව ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටිමින් ඊට ඉහළින් ඇති ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත් කරන තුරු අපි බලා සිටින්නෙමු.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment