ආසියානු කුසලානය සොයා යෞවනයෝ පිටත් වෙති

241

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පෙරේදා (21 දා) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලිය මෙහෙයවීම දුනිත් වෙල්ලාලගේ විසින් සිදු කරනු ඇත.

කණ්ඩායම විශේෂඥ පිතිකරුවන් හත් දෙනෙකු, වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු, දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු සහ කඩුලූ රකින්නන් දෙදෙනකු ඇතුළත්ව සිටිති. මේ අතර නායක දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ සහ යසුරු

රුද්‍රගෝ තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. අභිෂේක් ලියනආරච්චි, සදීෂ රාජපක්ෂ, ෂෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රවීන් ද සිල්වා, රනුද සෝමරත්න සහ සකුණ ලියනගේ පිතිකරුවන් වන අතර, චමිඳු වික්‍රමසිංහ, යසිරු රුද්‍රගෝ, විනුජ රන්පුල් සහ මතීෂ පතිරණ වේග පන්දු යවන්නෝ වෙති. දුනිත් වෙල්ලාලගේ, වනුජ සහන්, මල්ෂ තරුපති සහ ට්‍රවේන් මැතිව් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වද්දී අන්ජල බණ්ඩාර සහ සදීෂ් යසවර්ධන කඩුලූ රකින්නන් ලෙස එක්ව සිටිති.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉකුත් මාස කීපය මුළුල්ලේම නේවාසික පුහුණු සැසි ගණනාවකට සහභාගිවූ අතර ලෝක ශ+ර බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහිව එක්දින තරගාවලි 2 කට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පියවර ගනු ලැබීය. එහිදී බංග්ලාදේශ පිලට එරෙහිව 5-0 ක් සහ එංගලන්තයට එරෙහිව තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට අවිශ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලබන ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

‘බී’ කාණ්ඩය යටතේ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 24 වැනිදා කුවේට් කණ්ඩායමට එරෙහිව පළමු සටන දියත් කරනු ඇත. 26 වැනිදා නේපාලනයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල 28 වැනිදා නැවතත් බංග්ලාදේශ පිල සමඟ තරග කරනු ඇත. ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ තරගාවලියෙන් අනතුරුව ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වැනිදා අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment