ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඈතට යන ලකුණු

290

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඈතට යෑමේ වැඩි ප්‍රවණතාවක් දැන් මතුව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු ‘දිවයින’ පුවත්පත සමඟ ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කර සිටියේය.

මෙරට තුළ පවතින බලශක්ති අර්බුදය ප්‍රධාන කොටගෙන ශ්‍රී ලංකාවේදී මෙම තරගාවලිය පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැන් මැලිකමක් දක්වමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන නොමැතිව පෝලිම්වල සිටින ජනතාවත් ඒ සඳහා ඔවුන් කරන අරගලත් මෙරට රූපවාහිනි මාධ්‍යයෙන් පෙන්වන දර්ශන පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිරන්තර අධීක්ෂණයෙන් පසුවෙන බව ද ඒ මහතා කීය.

කෙසේ වෙතත් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු උත්සාහ දරමින් සිටින බවත් එහෙත් රට තුළ දැනට පවතින වාතාවරණය අනුව කිසිදු කැළලක්, අඩුපාඩුවක්, අතපසුවීමක් නොවන ලෙස තරගාවලිය පැවැත්වීමට හැකි වේදැයි යන අවදානම තමන් හමුවේ පවතින බවත් ඒ මහතා පැවසීය.

මෙවැනි තත්ත්වයක් රටේ පවතින වකවානුවකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔස්ටේ්‍රලියාව සහ පකිස්තානයට එරෙහිව සාර්ථක තරගාවලි දෙකක් සංවිධානය කළ බවත් එහෙත් ද්විපාර්ශ්වීය තරගාවලියක් සංවිධානය කරනවට වඩා කණ්ඩායම් කීපයකින් යුත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි පුළුල් තරගාවලියක් මෙරට තුළ පැවැත්වීම භාරදූර කාර්යයක් බවත් ඒ මහතා පැවසීය.

කණ්ඩායම් කීපයක ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට, පුහුණුකරුවන්ට, අනුග්‍රාහකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් අවශ්‍යතා අඩුවක් නොවන ලෙස සැපයීම මෙන්ම තවමත් අවසන් වී නැති විදුලි කප්පාදුව මෙන්ම විදුලි බල හිඟය ද ඊට හේතුවී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය විසි වෙනිදා නව ජනාධිපතිවරයකු පත් වීමෙන් රට තුළ යම් ස්ථාවරත්වයක් ඇති වන ලකුණු පෙන්නුම් කිරීම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් යම් සුබදායී ලකුණක් වී ඇති බවද ඒ මහතා කීය.

තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපැවැත්වෙයි නම් ඩුබායි සහ සාජා හි එම තරගාවලිය පැවැත්වීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු වී තිබෙන අතර එසේ වෙනත් ස්ථානයක තරගාවලිය පැවැත්වුවද එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා වනවිට ප්‍රකාශයට පත් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 27 වෙනිදා සිට සැප්තැම්බර් මස 11 වෙනිදා දක්වා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment