ආසියානු කුසලාන ගේන්න අපේ කෙල්ලෝ යති

190

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට  සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පිල ඊයේ (28 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වෙති.

 කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ සිව්වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලිය ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ වන අතර 15 වැනිදා දක්වා බංග්ලාදේශයේ සිලට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

 සත්කාරකත්වය හොබවන බංග්ලාදේශ පිලට අමතරව රටවල් 7 ක් තරගාවලිය නියෝජනය කරනු ලබන අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම රටවල් වෙති. සමස්ත තරගාවලිය තරග 24 කින් සමන්විත වන අතර අවසන් මහ තරගය ලබන 15 වැනිදා පැවැත්වේ. ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය යටතේ ශ්‍රී ලංකාව තරග 6 කට සහභාගි වන අතර ලබන 01 වැනිදා ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන අරඹනු ඇත.

 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන දෙවැනි තරගය ඔක්තෝබර් මස 02 වැනිදාද, තායිලන්තයට එරෙහි තරගය ඔක්තෝබර් මස 04 වැනිදාද, මැලේසියාවට එරෙහිව පැවැත්වෙන තරගය ඔක්තෝබර් 08 වැනිදාද, බංග්ලාදේශයට එරෙහි තරගය ඔක්තෝබර් 10 වැනිදා ද සහ පාකිස්තානයට එරෙහි තරගය ඔක්තෝබර් 11 වැනිදා ද ශ්‍රී ලංකා පිල සහභාගිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment